වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමටත් ඒ සඳහා වෙනත් පක්ෂවල අදහස් ලබා ගැනීමටත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීම අනුව පසුගිය මාර්තු 23 දින සර්ව පාක්ෂික සමුළුවක් කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එයට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් සහ නියෝජිතයන් එක්ව සිටි අතර ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ. සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ආණ්ඩුව නියෝජනය කරන ලංකා වතු කම්කරු කොංග්‍රසය සහ තමිල් මක්කල් කුට්ටනි ඇතුළු ඇතැම් දෙමළ පක්ෂ එයට සහභාගී වූයේ නැත.
එහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ජනාධිපතිවරයාට කියා සිටියේ දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා සම්බන්ධීකාරකයකු ලෙස දෙමළ ජාතික සන්ධානයට සහය විය හැකි බවත්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි නමුදු විවිධ හේතුන් මත සාකච්ඡාවකට අවසරයක් ලැබුණේ නැත.
ඉන්දියාවේ එන්ඩී.ටීවි වෙබ් අඩවිය වාර්තා කරන පරිදි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ දිවයිනේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලමිනි. 23 වැනිදා පැවැති සර්ව පාක්ෂික සමුළුවෙන් පසු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් පසුගිය 25 වැනිදා දෙමළ පක්ෂ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළේය. එම සාකච්ඡාවට ආර් සම්පන්දන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යයන් රාජපුතිරන්, තවරාජා කලෙයිඅරසන්, සෙල්වම් අඩෛක්කලනාදන්, එස්. නොහාරතලිංගම් සහ ගෝවින්දන් කරුණාකරම් යන පිරිස එක්ව සිටියහ.
එම සාකච්ඡාවේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රුඳවුම් භාරයේ පසුවන පිරිස් සම්බන්ධයෙන් ඉදිරි කාලයේ ගන්නා පියවර සම්බන්ධයෙන්ද, වගා කටයුතු සඳහා යොදාගත් ඉඩම් යළි ඒ සඳහා නිදහස් කිරීම පිළිබඳවද, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම සහ උතුරු නැඟෙනහිර සඳහා සංවර්ධන අරමුදලක් පිහිටුවීම වැනි කරුණු පිළිබඳවද අවධානය යොමු වී තිබේ. එහිදී ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනික වශයෙන් කුමන ස්ථාවරයක සිටියද උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා එක්ව වැඩ කිරීමට තමන් හා එක්වන ලෙසටය. තමා සියලු ජනතාවගේ නායකයා බවත් සියලු ජනකොටස්වලට සමානව සලකන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි..
දෙමළ පක්ෂ මෙම සාකච්ඡාවට පැමිණීමට ප්‍රධානතම හේතුව දෙමළ ජාතික ගැටලුවට දේශපාලනමය විසඳුමක් සෙවීම සඳහා යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය. යළි මාස දෙකකින් රුස්වීමට නියමිත බවත් කරුණු හතරක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළේය. උතුරු නැගෙනහිර ජන සංයුතිය වෙනස් කරන ආකාරයට සිදු කරන සියලු ක්‍රියා නතර කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහතිකයක් දුන් අතර සර්ව පාක්ෂික සමුළුවේදී තමන් කළ යෝජනාව අනුව උතුරු නැඟෙනහිර පළාත සඳහා විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවා ඒ තුළින් දෙමළ ඩයස්පෝරාවට එම ප්‍රදේශවල ආයෝජනය කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරන බවට ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු ප්‍රකාශ කළේය... තමන් ජනාධිපතිවරයාට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බවත්, එහෙත් දෙමළ ඩයස්පෝරාව ආයෝජන සිදුකරන්නේ නම් කිසියම් දේශපාලන විසඳුමක් තිබිය යුතු බවත් දැනට සිදු කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය අනුව ඩයස්පෝරා සාමාජිකයන්ට රට පිළිබඳව විශ්වාසයක් ඇති වුවහොත් ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව උතුරු නැඟෙනහිර පළාත්වල ආයෝජනය කිරීමට ඉදිරිපත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
උතුරු-නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවා එයට දෙමළ ඩයස්පෝරාවට සෘජුවම දායක වීම සඳහා වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව රජය පවසයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ එවැන්නක් සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හා අනෙකුත් නීතිරීතිවලට අනුකූලව බවයි.
යුද්ධයෙන් පසු අපි විවිධ දිරිගැන්වීම් ලබාදුන්නා, උදාහරණයක් ලෙස ඔවුන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ආයෝජන මණ්ඩල කලාප වැනි නම් කරන ලද ප්‍රදේශයක හෝ ආයෝජන සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශවලට ආයෝජනය කරන්නේ නම් ලොව බොහෝ රටවල සිදුකරන ආකාරයට බදු සහන, රජයේ ඉඩම් දිගු කාලීන කල්බදු මත ලබාදීම වැනි දිරිදීම් සිදුකළා. යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුදු දෙමළ ඩයස්පෝරාවට ආයෝජන අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් කිසිසේත්ම එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. “එම අදහස දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ අතර රජය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වුණා... ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග සකස් කළ යුතුයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර දෙමළ ජාතික සන්ධානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරනවා* යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
එන්.ඩී.ටී.වී. වෙබ් අඩවිය සඳහන් කරන පරිදි දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙමළ සුළුතරයේ දේශපාලන අවශ්‍යතා විසඳීම සඳහා වන ක්‍රියාවලිය අර්ථවත් කර ගැනීමය. 13 වැනි සංශෝධනය එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් අත්සන් කරන ලද 1987 ඉන්දු - ලංකා ගිවිසුමේ ප්රතිඵලයකි. එය ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ ප්‍රජාවට බලය බෙදාහැරීම සඳහා විධිවිධාන සපයයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණය කඩිනමින් කැඳවීම සහ සංහිඳියාව ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති කැපවීම ඉන්දියාව දිගින් දිගටම යළි තහවුරු කර ඇත.
ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්පන්දන් මහතා කියා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමකින් රට සමෘද්ධිය කරා ගමන් කරනු දැකීම තම අපේක්ෂාව බවයි. &අපි රටක් ලෙස එක්විය යුතුයි. එකම රටක්, එකම ජාතියක් ලෙස වත්මන් අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමයි. යනුවෙනි.
කෙසේ වෙතත්, වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා දශක තුනක සන්නද්ධ ව්‍යාපාරයකට නායකත්වය දුන් එල්ටීටීඊය, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කළේ, ස්වයං නිර්ණය සඳහා බලය බෙදාගැනීමේ ස්වරෑපයෙන් ලබා දෙන්නේ ඉතා අල්පයක් බවට ප්‍රකාශ කරමිනි.
ශ්‍රී ලංකා රජයට වඩා වැඩි සම්පත් දෙමළ ඩයස්පෝරාවට ඇතත් ඔවුන්ට ආයෝජන සඳහා පැමිණිය හැක්කේ 13A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසුව බවට සුමන්තිරන් මහතා එන්.ඩී. ටීවී වෙබ් අඩවියට පැවසූ බව එහි සඳහන්ය. ඒ අනුව පැහැදිලි වන්නේ දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ලබා ගැනීමට නම් රජය ඔවුන්ගේ ඉල්ලීම් ලබාදිය යුතු බවයි.
ඉන්දීය විදේශ ආමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා පසුගිය 28 දා දිවයිනට පැමිණි අතර ඔහු ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා හමුවිය. ඉන්පසු ඔහු ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ කොළඹ නිල නිවෙසේදී දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද හමු විය. එම හමුවට එක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා පැවසුවේ තමන් රජයත් සමඟ පසුගියාදා සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවයි. රජය සමඟ එක්ව ගමනක් යාමට තමන්ට අවශ්‍ය නොමැති බවත්, පසුගියදා පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා කරුණු හතරක් සම්බන්ධයෙන් දෙමළ සන්ධානයට ලබාදුන් පොරොන්දුව පිළිබඳව තමන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධවට ජනාධිපතිවරයාද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇතැයි පැවසේ. 1983 සිට ඉන්දීය රජයේ සහය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හිමිවූ බවත් ඒ අනුව දෙමළ ජනතාවට ඇති ගැටලු විසඳාගැනීම සඳහා මැදිහත්වීමට ඉන්දියාවට වගකීමක් ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා තමන්ට ප්‍රකාශ කළේ යැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා එම හමුවෙන් පසු ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා