2022 අප්‍රේල් 03 වන ඉරිදා

හිටපු ඇමැතී පණ්ඩුත් මාට්ටු වූ ගජමුතු ජාවාරම

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 105

ගජමුතු ජාවාරමකට කට්ටියක් සෙට් වෙනවා. ගජමුතු දෙක තුනක් විකුණන්න තමයි ලෑස්තිය. ගනුදෙනුව කරන්න කට්ටියක් කොළඹින් අම්පාරේ එන්නයි ලෑස්තිය. කලින් පාර වගේම මේ කට්ටියත් අල්ලන්න පුළුවන්. වුවමනා විස්තර මම හොයලා දෙන්නම්..

දැඩි විශ්වාසයකින් යුතුව මෙම තොරතුර ඔත්තුකරුවකු විසින් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලබා දී තිබුණේ මීට දින දහයකට පමණ ඉහතදීය. විශ්වාසවන්ත ඔත්තුකරුගේ තොරතුර සම්බන්ධයෙන් අණ දෙන නිලධාරී චන්දන කුමාර මහතාට සැකයක් නොතිබිණි.

අම්පාර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් කැඳවා තොරතුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අණ දෙන නිලධාරිවරයා කටයුතු කර තිබිණි. ගජමුතු ජාවාරමකට පිරිසක් සැරසෙන බව කීවද ඔවුන් කවුද? කොතැනක සිට පැමිණෙන්නේද? යන්න තහවුරු වී නොතිබිණ. මේ අනුව කඩිනමින් සංවිධානය වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් අදාළ කාරණය පිළිබඳව සෙවීමට යොදවනු ලැබිණි. ඒ අනුව එම පිරිස අම්පාර නගරය ආශ්‍රිතව හා පිට පළාත් කිහිපයකම මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

මේ අතර අම්පාර විශේෂ කාර්ය බලකා කඳවුරේ අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට තොරතුර ලබාදුන් ඔත්තුකරු වැඩිදුර කරුණු කිහිපයක් පවසා තිබුණි. ඒ සමඟ ජාවාරම්කරුවන්ගේ බවට විශ්වාස කරන ජංගම දුරකථන අංකයක්ද ලබා දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරියකු උපයා දූතයකු වශයෙන් පෙනී සිට දුරකථන ඇමතුමක් හරහා සබඳතාව ගොඩනගාගෙන තිබුණි. උපාය දූතයා විසින් ගජමුතු මිලට ගැනීම සඳහා සාකච්ඡා කොට ඇත. ගජමුතු තුනක් විකිණීමට ඇතැයි පවසා ඇති පිරිස ඒ සඳහා රුපියල් කෝටියක් මිල කර තිබුණි.

මහා පරිමාණ ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටි උපාය දූතයා රුපියල් කෝටියක් හෝ ඊට වඩා වැඩියෙන් ගෙවා ගජමුතු ලබාගැනීමට කැමැත්ත පළ කර ඇත. ඊට ඉහමුදුනින් කැමැති වූ ජාවාරම්කරුවෝ කොළඹ සිට අම්පාර දක්වා හැකි ඉක්මනින් පැමිණීමට හැකි බවද කියා සිටියහ. ගජමුතු මුල්‍යමය වශයෙන් කොපමණ වටිනා දෙයක් වුවත් එය අතැතිව සිටින කෙනකුට ගජමුතු විකුණා මුදල් කර නොගන්නා තෙක් එහි නිශ්චිත වටිනාකමක් හෝ අගයක් නොමැත. එබැවින් එහි අගය ලබාගැනීමට නම් ගජමුතු අලෙවි කළ යුතුමය. මේ අදහසින් ජාවාරම්කරුවන් පිරිස අම්පාරට පැමිණ ගජමුතු අලෙවි කිරීමට සූදානම් වී තිබිණි.

මේ අනුව විස්තර කතා කරගත් දෙපිරිස අතර ජාවාරම්කරු කියා තිබුණේ තමුන් ඇතුළු පිරිසක් මෝටර් රථයක නැගී අම්පාරට එන බවය. ඒ පිරිසේ පස්දෙනකු පමණ සිටින බවත් එසේ පැමිණෙන්නේ කිසිවකුට සැකයක් ඇති නොවන අයුරින් හා අනාරක්ෂිත උපක්‍රමයක් ලෙස බවත් කියා ඇත. මෙසේ කරුණු සාකච්ඡා කරගනු ලැබූ නමුත් එම පිරිස ඉන්නා ඉසව්වක් හෝ පිටත් වන ස්ථානයක් පිළිබඳව හෝඩුවාවක් ලබා දී නැත. මේ නිසා විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියහ. එහි වැඩි පිරිසක් රුඳී සිට තිබුණේ අම්පාර නගරය ආශ්‍රිතවය.

දින කිහිපයක් මේ කරුණු සාකච්ඡා කෙරුණු පසුව ඉකුත් 25 වැනිදා දිනය තුළ අනිවාර්යයෙන්ම පිරිස අම්පාර නගරයට පැමිණෙන බවත් එහිදී ගනුදෙනුව සිදු කරන බවත් ප්‍රකාශ කර ඇත. මේ අනුව 25 වැනිදා අලුයම් කාලයේදී ගම්පහ ප්‍රදේශයෙන් ගමන් අරඹා තිබූ මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකි. ඊට යක්කල ප්‍රදේශයෙන් අයකු ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ කාන්තාවක හා තවත් දෙදෙනෙක් මෙන්ම මහර ප්‍රදේශයේ පුද්ගලයෙක්ද ගොඩවී ගමනට එකතු වූහ
මෙසේ ගම්පහ ප්‍රදේශයෙන් අලුයම පිටත් වූ පිරිස පස්දෙනෙකි. ඔවුන් අතරමග ස්ථාන කිහිපයක නැවතී සිට අම්පාර නගරයට සමීප වී තිබුණේ සවස් වරුවේය. මේ අතර කිහිප අවස්ථාවක්ම ගජමුතු ගැනුම්කරු හා අලෙවිකරුවන් අතර දුරකථන සංවාද සිදු වී ඇතැයි කියති. එම කාලය තුළද දෙපාර්ශ්වය අතර මනා විශ්වාසයක් ගොඩනංවාගෙන තිබුණි.

ගම්පහ ප්‍රදේශයෙන් පිටත් වූ පිරිස අම්පාර නගරය ආසන්නයට පැමිණ තමන් පැමිණෙන්නේ මොන්ටේරෝ වර්ගයේ රථයක බව දන්වා ඇත. එහි වර්ණය හා වාහන අංකයද පවසා තිබිණි. ඒ වනවිට නගරය පුරා ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ඔත්තුකරුගේ තොරතුරු සනාථ වෙමින් පැවතිණ. මේ අතරතුර අම්පාර නගරය ආශ්‍රිතව පවත්වාගෙන යන නවාතැන්පොළකි. නිදහස් පරිසරයක පිහිටි එහිදී ගනුදෙනුව සිදු කිරීමට සුදුසු බව ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි උපාය දූතයා පවසා ඇත. ඊට එකඟ වූ පැමිණි පිරිස අදාළ නවාතැන්පොළ පරිශ්‍රයට මොන්ටේරෝ රථය ඇතුළු කර තිබිණි.

ඒ වන විටත් අවම ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් අතර නවාතැන්පොළේ රුඳී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසකි. මෝටර් රථය එහි පැමිණෙනවාත් සමඟ එම නිලධාරී පිරිස ක්ෂණිකව රථය වට කිරීමට කටයුතු කළහ. එහිදී රථය පරීක්ෂාවට ලක් කිරීමට සූදානම් වනවාත් සමඟ රථයේ පසු අසුනකින් බැසගත් පිරිමි අයවලුන් දෙදෙනෙකි. &ඇයි ඇයි මොකක්ද ප්‍රශ්නෙ.. අපි වැදගත් වැඩකට ආවේ. මේ හිටපු ඇමැතිතුමත් එක්ක ආවේ* යැයි ඔවුන්ගෙන් අයකු පවසා ඇත. එසේ කියන අතරතුර රථයේ ඉදිරිපස අසුනේ සිටි අයකු එහි දොර විවෘත කර තිබිණි. මුහුණ පුරා රුවුල වවාගත් මැදිවියේ පුද්ගලයකු එහි සිට ඇත. ඔහු අන් කිසිවකු නොව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාය. පුද්ගලයා හඳුනා ගත්තද විශේෂ කාර්ය බලකාය දිගටම සිය මෙහෙයුම සිදු කරන්නට විය.

හිටපු ඇමැතිවරයා රථයෙන් බස්සවා පරීක්ෂා කිරීමේදී ඔහු අත වූ ගිනි අවියකි. එය CS 85 වර්ගයේ පිස්තෝලයකි. මේ අතර නිලධාරීන් ප්‍රශ්න කර තිබුණේ කොහෙද බඩු තියෙන්නේ.. ගන්න එළියට* යැයි කියමිනි. මේ අතර පසුපස අසුනක සිටි කාන්තාවකි. ඇය සෝදිසි කිරීම නිලධාරීන්ට ගැටලුවක් වූයෙන් ඔවුහු වහාම අම්පාර පොලිස්ථානය දැනුම්වත් කර කාන්තා පොලිස් නිලධාරිනියක ගෙන්වා ගැනීමට කටයුතු කළහ. ඇයට පැවරුණේ මොන්ටේරෝ රථයේ සිටි කාන්තාව පරීක්ෂා කිරීමය. එම කාන්තාව අත වූ ගමන් බෑගයකි. එය විවෘත කර බැලීමේදී ගජමුතු තුනක් සඟවා තිබියදී හමුව තිබිණි. එම ගජමුතු අතර තිබියදී මැණික් ගලක් බවට අනුමාන කරන හඳුනා නොගත් පාෂාණයක්ද හමු වී තිබිණි.

එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් ගජමුතු හා පාෂාණය විකුණා දෙන ලෙස ඉල්ලීම් කළ බවය. මෙම කාන්තාව හා සෙසු පිරිමි තිදෙනා හිටපු ඇමැති පණ්ඩු බණ්ඩාරනායකගේ මැතිවරණ කටයුතු සඳහා මනා සහයෝගය දැක්වූ පිරිසකි. ගජමුතු ජාවාරම සිදුකිරීම සඳහා ඒවා ගම්පහ සිට අම්පාර දක්වා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මෙම කාන්තාව හිටපු ඇමැතිවරයාගෙන් සහාය ඉල්ලා ඇත. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා සිය රථය සමඟ ඔහුද එක්ව තිබුණි.

එම මෝටර් රථය හිටපු ඇමැතිවරයාගේ බිරියට අයත් එකකි. ඇමැතිවරයා සතුව තිබූ ගිනිඅවිය ඔහු ඇමැතිව සිටි කාලයේ රජය විසින් ලබාදුන් එකක් වන අතර එය නැවත බාර නොදී නීති විරෝධීව ළඟ තබාගත් එකක් බවද හෙළිවිය.
ඉකුත් 25 වැනිදා පස්වරුවේ අම්පාර නගරයේදී ගජමුතු ජාවාරමක් සඳහා ගිය පණ්ඩු බණ්ඩාරනායක සමඟ අත්අඩංගුවට පත් සෙසු පිරිස අම්පාර පොලිසිය වෙත බාර දී තිබිණි. එහිදී ඔවුහු අධිකරණ කටයුතු සඳහා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී නීතිඥ වර්ණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.එස්.පී. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකා ප්‍රාදේශීය අණ දෙන නිලධාරී අටවැනි සේනාංකය සහකාර පොලිස් අධිකාරී කේ.පී. නලින් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් අම්පාර කඳවුරේ අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් රත්නායක ඇතුළු පිරිසක් වැටලීමට දායක වූහ.

■  සමන්ත ප්‍රදීප් විල්තෙර