මොන ප්‍රශ්න ගැටලු ආවත් රට දවසින් දවස අගාධයට ගියත් පාතාලයෝ තවමත් තමන්ගේ අරමුණුවලය. තැන් තැන්වල අහඹු ලෙස මිනිස් ඝාතන වෙන්නේ එකී පාතාලයන්ගේ ක්‍රියාකාරකම් තවමත් තිරෙන් පිටුපස හොඳ හැටි සිදුවන නිසාය. දැන් පාතලයේ ගෝඩ් ෆාදර්ලා නැත. එහෙම කියාගෙන හිටපු අයත් දැන් ඉන්නේ එලොව ගිහින්ය. එහෙත් ඒ අත්දැකීම් එසේ තිබියදී පවා තවමත් පාතාලයේ ගෝඩ් ෆාදර්ලා වීමට පිරිසක් සිහින දකිමින් සිටිති. පිරිසකටත් වඩා එකෙක් දෙන්නෙකි. ඉන් උඩින්ම ඉන්නේ දැන් නැවතත් සක්‍රීය වී සිටින මාකිලංගමුවේ සංජීව ඇතුළු කණ්ඩායමය.
සංජීව යනු මෙරට සිටින දැනට ඉතාම භයානක අපරාධකරුවෙකි. කුඩා හොර මැරකම් මතින් තටුගසා පැමිණි සංජීවගේ ජීවිතය තුළ ඉතිහාස ගතවන්නේ හැඳල කෙරවළපිටියේ සිදුවූ කෝටි හතේ මංකොල්ලයත් සමඟය. එම කෝටි හතේ මංකොල්ලයෙන් පසුව පැදුරටත් නොකියා රට පනින සංජීව නැවතත් කරළියට එන්නේ 2012 සිටය. ඒ සංජීව එවකට එක්ව කටයුතු කළ බ්ලුමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසය. එසේ පැමිණි කණ්ඩායමේ මූලික ඉලක්කය වන්නේ ඔවුන්ගේ ජාවාරම්වලට අභියෝගයක් වූ දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිස කොළඹ පාතාලයෙන් අතුගා දැමීමය. ඒ අනුව චමින්ද ඝාතනය කිරීමට කිහිප වතාවක්ම සංඛලා උත්සාහ කළහ. එක් වතාවක් දෙමටගොඩ මස්කඩේ ඉදිරිපිට වෙඩි තියාගත්හ. තවත් වතාවක් බන්ධනාගාරයට බස් රථයට වෙඩි තැබූහ. බන්ධානාගාර සිද්ධියෙන් පසුව පොලීසියට කොටුවුණ සංජිව එතනින් පසු දීර්ඝ කාලයක් සිටියේ බන්ධනාගාරය තුළය.
එසේ බන්ධනාගරයේ සිටිමින් සංජීව රටපුරා තමන්ගේ බලය විහිදුවමින් ඝාතන රැසක් කරන්නට පටන් ගත්තේය. විශේෂයෙන් සංජීව මත්ද්‍රව්‍ය ජාවාරමටත්, කප්පම් ගැනීමටත් හුරුවූ අතර ඔහු ඒ හරහා ලංකාවේ ගෝඩ් ෆාදර් වීමේ හීනය දැක්කේය. සංජීව ඉහත කී ජාවාරම් දෙකම ආරම්භ කරන්නට උත්සහ කළේ ගම්පහ නගරයෙනි. එහෙත් ඊට ගම්පහ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර ඉඩ ලබාදුන්නේ නැත. ඒ නිසාම ඔස්මන් ගුණසේකර ඝාතනයට 2018 වසරේ අප්‍රේල් මාසයේදී ඔහු උත්සාහ ගත්තේය. ඒ ගම්පහ කිරිඳිවිට කටුගස්තර පාරේ යමින් සිටියදී වෙඩි තබමිනි. එහෙත් සංජීවට එම ඝාතනය කරගැනීමට හැකිවුණේ නැත.
එතැනින් නොනැවතුණු සංජීව එම ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියෙක් සමඟ එක්ව දෙවැනි උත්සාහයක් ගත්තේය. ඒ මාර්ග බාධකයකදී නවත්වන විට පිරිසක් ලවා වෙඩි තැබීමටය. එහෙත් එයද හරි ගියේ නැත. තවත් වතාවක් ආයුධ පිටින්ම පැමිණියත් පොලීසිය දුටු නිසා ගිනි අවි සහ වාහන මග දමා පාතාලයෝ පැන ගියහ.
කෙසේ වෙතත් තවමත් සංජීව සිටින්නේ ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමේ උත්සාහයකය. සංජීව කෙතරම් නරුමයෙක්ද කියනවා නම් තමා සමඟ එකට සිටි උන්ටද ගේම දෙන්න ඔහු අමතක කළේ නැත. ඒ අතර වේයන්ගොඩ සමරේ සහ තමන්ගේ හොඳම වෙඩික්කරු වූ කළු අජිත් පවා ඝාතනය කරන්න තරම් සංජීව නරුම විය. කෙසේ වෙතත් සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරමට හොඳම උදාහරණය වන්නේ සංජීවගේ හොඳම ගෝලයා වන බටුවත්තේ චාමර විසින් මෙරට ගෙන ආ කුඩු කිලෝ 200 සමඟ 2021 වසරේදී අත්අඩංගුවට ගැනීමය. චාමරගේ බිරිඳට පකිස්තාන් භාෂාව හැසිරීමට හැකියාව තිබූ නිසා ඒ හරහා පාකිස්තානය හරහා මෙම කුඩු බෝට්ටුව ගෙන්වාගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම කුඩු තොගය හලාවත සිට ගණේමුල්ල දක්වා රැගෙන අවේ ගණේමුල්ල බොල්ලතේ ශාන්ත විසිනි. ශාන්ත යනු ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ළඟම ගෝලයාය. ශාන්ත අත්අඩංගුවට ගත්තත් සුරාබදු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්නය චාමර සහ සංජීව වෙත රුගෙන ආවේ නැත. එයට හේතුව සංජීවලා විසින් කරන ලද මරණ තර්ජන නිසාය. අවසානයේ සංජිව සහ චාමර බේරුනේ ජූඩ් ප්‍රියන්ත නැමති අයකු අත්අඩංගුවට පත්කරමිනි. කෙසේ වෙතත් එවැනි මත්ද්‍රව්‍ය තොගයකට අඩුම දවස් 90ක රුඳවුම් නියෝග ගතයුතු වුවත් ඔහු සැණින් බන්ධනාගරගත කරනු ලැබීය.
කෙසේ වෙතත් පූර්ණ බන්ධනාගාරය ආරක්ෂාවේ සිටි සංජීව අවුරුදු හයකට පසුව නිවෙස බලා යාමට තීරණය කරන්නේ මධූෂ්ගේ මරණයෙන් පසුව ආරක්ෂක අංශ විසින් පාතාල මර්දනයට පියවර ගැනීමෙන් පසුවය. ඔහු නිදහස් වන්නේ පුදුම සහගත ලෙසය. ඒ් 2021 දෙසැම්බර් 09 වැනිදා ඔහු වෙනුවෙන් පෙනී සිටියේ මෙරට නීතිය භාරව සිටි කලක දේශපාලනඥයකු ඇතුළු නීතීඥ මඩුල්ලකි. එම මඩුල්ල අධිකරණයෙන් කරන ලද ඉල්ලීම වූයේ සැකකරුට ඇප ලබාදීමෙන් පසුව තමන්ගේ භාරයට පත්කරන ලෙස කියාය. අධිකරණයෙන් කරන ලද ඉල්ලීම මත සංජීව භාර කෙරුණේ නීතීඥ මඩුල්ල වෙතය. ඔවුහු සංජීවට ආරක්ෂාව සපයා නිවසට ඇරලවා ගියහ. මේ රටේ පොලීසියත්, බන්ධනාගාර නිලධාරීනුත් පැත්තක දමා නීතීඥ ආරක්ෂාව ගත්තේ සංජීවට ඇති හොඳම ආරක්ෂාව එය නිසා විය හැක. එපමණක් නොව රටේ ඇතැම් ප්‍රබල දේශපාලඥයෙක් එදින සංජීවගේ ආරක්ෂාවෙන් පොලීසිය ඉවත් කරන ලෙසටද දන්වා ඇතැයි දැනගන්නට ඇත.
ගෙදර ආ සංජීව අඬු පඬු හකුලාගෙන සිටියේ නැත. වහාම සුපුරුදු ක්‍රියාව පටන් ගත්තේය. ඒ තමන්ගේ ගෝලයන් සමඟය. සුවිශේෂී පුද්ගලයන් භාවිත කරන ''නෝ නම්බර්'' සිම්පතක් ගත් සංජීව අද වනවිට කප්පම් ගැනීම ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත. ඇතැම් ව්‍යාපාරිකයන් මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් සමඟ සාකච්ඡා පවා කර ඇත. කෙසේ වෙතත් දැන් සංජීව ඉන්න තැනක් දන්නේ නැත. එහෙත් සංජීවගේ බූවලු අත පය හැමතැනම දිගුකර ඇත. ඒ අනුව සංජීව පැමිණ සුපුරුදු ඝාතන රුල්ල පටන් ගත්තේ පසුගිය සතියේ සිටය. ඒ කඩවත ප්‍රදේශයේ දෙදෙනකු මහමඟදී වෙඩිතබා ඝාතනය කරමිනි.
බැරල් සංඛගේ ගෝලයන් දෙදෙනකු වූ ඔවුන් දෙදෙනා මෙලෙස ඝතනය කිරීමට හේතු කීපයක් තිබුණේය. ඒ එකක් සංජීවට අභියෝග වෙමින් කුඩු ව්‍යාපාරයේ නිරත වුණු නිසාය. අනෙක සංජීවගේ හොර අඹුවගේ ස්වාමියා ඝාතනය කිරීම නිසාය. මේ නිසා සංජීව රිටන් එක දුන් බව පාතාලේ ප්‍රසිද්ධ රහසකි.
කෙසේ වෙතත් සංජීව දැන් ඉන්න තැනක් කිසිවකුත් දන්නේ නැත. සතියට වරක් පොලිස් පොත්වල අත්සන් කළ සංජීව දැන් අත්සන් කරන්න පොලීසි හතරමායිමේ යන්නේ නැත. ඒ නිසා සංජීව ඉන්නේ වරෙන්තු පිටය. එහෙත් සංජීව අද හෝ හෙට රටින් පලායනු ඇත. ඒ බෝට්ටුවක මාර්ගයෙනි. එසේ ගියොත් සංජීව ආයේ නවතින්නේ ඩුබායි වලය. එතැන් පටන් දෙවැනි මධූෂ් රටට බිහි වනතුරු නවතින්නේ නැත. ඒ නිසා තවත් සිදුවිය හැකි ඝාතන වැලක් නැවැත්වීම මෙරට ආරක්ෂක අංශවල වගකීමකි. යමක් සිදුවූ පසුව පරීක්ෂණ පැවැත්වීම පලක් වන්නේ නැත.
■ ගයාන් ගාල්ලගේ