''ගමයි පන්සලයි වැවයි දාගැබයි'' අතීතකාමී රසවත් කතාවකට එය අපූරු මාතෘකාවකි. එහෙත් අප ඔබ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ එවන් රසවත් මාතෘකාවක් නොවේ. එහෙත් මෙයද ගමයි රටයි පන්සලයි පල්ලියයි කෝවිලයි පිළිබඳ කතාවකි.
පසුගියදා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිපනමක් විශේෂිත අදහසක් ජනගත කළෝය. උන්වහන්සේලා කියා සිටියේ මේ අර්බුදකාරී අවස්ථාවේ බෞද්ධ අබෞද්ධ සියලු ආගමික සිද්ධස්ථාන සතු මුදල්, රත්තරන් ඇතුළු ධනය රජයට පරිත්‍යාග කළ යුතු බවකි. තායිලන්ත උදාහරණ කොට දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කර තිබුණේ 2007 වසරේ තායිලන්තය මෙවැනි අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවේ එරට භික්ෂූන් වහන්සේලා තම විහාරස්ථාන සතු ධනය රජයට පරිත්‍යාග කරමින් රට නැවත ගොඩනැඟීමට එකතු වූ බවයි.
''බෞද්ධ අබෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් තියෙනවා, විශාල වශයෙන් ධන සම්පත් තියෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික වශයෙන් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා මහත් ධන සම්භාරයක් තියෙන. ඒ ධන සම්භාර තියෙන ආගමික ස්ථානවලින් මහා භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් ඉදිරිපත් කළොත්, යම් පරිත්‍යාගයක් පිරිනැමුණොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න යම් ප්‍රමාණයක පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා. විශේෂයෙන්ම රත්රන් වැනි සම්පත් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කිරීම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් පමණකට ශක්තියක් ලැබෙයි කියල විශ්වාසයක් අප තුළ තියෙනවා. සියලුම ආගමික නායකතුමන්ලා, සියලුම ආගම්වල නායක උතුමන් මේ ගැන කාරුණික අවධානය යොමුකොට විශේෂයෙන්ම සම්පත් තියෙන ආගමික ආයතනවල අනුග්‍රහය මේ වෙලාවේ මහා භාණ්ඩාගාරයට පිරිනැමුණොත් ජනතාවට යහපතක් වන ආකාරයේ පරිවර්ථනයක් දකින්න පුළුවන් වෙයි කියල අපිට අදහසක් තියෙනවා.''
මෙරට නම් දැරූ සීමිත ආගමික ස්ථාන ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපාරද පරයා යමින් ආදායම් ලබන බව රටම දන්නා ප්‍රසිද්ධ රහසකි. එවන් වටපිටාවක් තුළ මෙම ඉල්ලීමේ යම් සාධනීය බවක්ද පෙනී යයි. එසේම සිහිපත් කළ යුතු අනෙක් කරුණ නම් මෙරට ආගම භාවිතා කරමින් කෝටිපතීන් බවට පත්වූ ආගමික පූජකයන් රුසක් මෙරට බවයි. ඔවුන් සියල්ලෝම සිය ආගමේ නාමයෙන් මුදල් ඉපැයූවෝ වෙති. එම නිසාම භාණ්ඩාගාරය සිය ධනය ලබාදීම කෙසේ වෙතත් ආගමික ව්‍යාපාර තුළින් කෝටිපතීන් බවට පත්වූ පූජස්ථාන සංවිධාන පූජකයන් මෙරට අසරණව සිටින ජනතාවට පිළිසරණ වීමට ඉදිරිපත් විය යුතුය.
පසුගියදාක ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ද මෙරට කෝටි ගණන් තියෙන පන්සල් තිබෙන බව පවසා තිබුණි. ඒ අනුව ''මේ රටේ කෝටි ගණන් තියෙන පන්සල් තිබෙනවා. ඒ ධනස්කන්ධය වුණත් මේ ජාතික අර්බුද වෙලාවේ ආණ්ඩුවට හරි මහජනතාවට හරි පරිත්‍යාග කරලා කිසියම් වැඩපිළිවෙළකට එන්න පුළුවන් නම් මේ වෙලාවේ මේ රටට කරන කාර්යභාරය හා යුතුකමක් හැටියට මම දකිනවා'' යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ඕමල්පේ සෝභිත හිමිද වනවාසී රාහුල හිමිද මෙම ප්‍රකාශයන් සිදුකර ඇත්තේ සත්භාවයෙනි. එම නිසාවෙන් උන්වහන්සේලාගේ ප්‍රකාශය මේ මොහොතේ ආදී අපහට බැහැර කළ නොහැකිය. එහෙත් පූජස්ථාන සතු ධනය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමක් පිළිබඳ හෝ ඒ සඳහා අණ පනත් පැනවීම අප අනුමත නොකරමු. මන්ද යම් පූජස්ථානයකට හෝ පූජකයකුට බැතිමතුන් සිය ධන පරිත්‍යාග කරන්නේ සිය කැමැත්තෙන් වීමය. එසේ හෙයින් මෙහිදී සිදුවිය යුත්තේ පෙරළා යුතුකමක් ඉටුකිරීමයි.
ආගමික ස්ථාන හෝ ආගමික ධනවතුන් සෘජු ඉලක්ක කර ගනිමින් අණ පනත් නොපැනුවද මේ මොහොතේ රජය කළයුතු කටයුතු බොහෝය. රජය විසින් ආර්ථික අර්බුද හමුවේ උස්තැන්වල කලක පටන් ගොඩගසා ගත් ධනය පහළ දුක්විඳින ජනතාව වෙත ගලායෑමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතුව තිබේ. ඊට ආගමික ධනවතුන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයෝද ඇතුළත් විය යුතුමය. මෙරට නම් දැරෑ දේශපාලකයෝ යටිමඩි ගසාගත් ධනය කොටි ප්‍රකෝටි ගණනින් සිය පෞද්ගලික සේප්පු භාණ්ඩාගාරයක් කොට තැන්පත් කර ඇතැයි කියැවේ. එසේම දේශපාලනයේ නොමඳ ආශීර්වාදයෙන් ධනය ඉපැයූ එවන් සුවිසල් ධනස්කන්ධයක් පෞද්ගලික සඟවාගෙන සිටින ව්‍යාපාරිකයෝද වෙති. රජයට තිබිය යුත්තේ මෙම ධනස්කන්ධය ගොඩගන්නා වැඩපිළිවෙළකි.
කෙසේ වෙතත් ආගමික ස්ථාන සතු ධනය සම්බන්ධ ආණ්ඩු කටයුතු කළ යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතවය. යහපාලනය ආණ්ඩු සමයේ ඇතිවූ පිං කැට සීල් තැබීමේ සිදුවීම ඊට කදිම උදාහරණකි. එදා එම සිදුවීම අතිශය දේශපාලනික වූ අතර බල පෙරළියකට පවා හේතු විය. එහෙත් රජයේ මූල්‍ය පනත යටතේ විහාරස්ථාන විගණය කිරීමට විගණන නිලධාරීන් නීතිමය බලතලක් තිබේ. එහෙත් ඊට අවකාශයක් මේ වනතුරු නිසි පරිදි උදාවී නැතැයි අදාළ අංශ ඔස්සේ දැනගන්නට ලැබේ. එය තවදුරටත් තහවුරු වන්නේ පසුගිය වසරවලදී අවස්ථා කිහිපයකදී විගණන නිලධාරීන් ආගමික ස්ථාන විගණය කිරීමට යෑම හේතුවෙන් නිර්මාණය වූ පුවත් හරහාය.
වර්තමාන ආර්ථික අර්බුදයේ පරිමාව සැලකූ විට ආගමික ස්ථාන සතු ධනය රජයට පරිත්‍යාග කළද අර්බුදය විසඳේදැයි අපේක්ෂා කළ නොහැකි බව අවසානයේ අප පිළිගත යුතුය. එහෙත් ආගමික ස්ථාන සහ ධනවත් ආගමික නායක්ත්වය ජනතාවට පිළිසරණ වීමට ඉදිරිපත් වුවහොත් එය ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇත. එසේම ඒ හරහා නිර්මාණය වන සමාජ බලපෑමෙන් දේශපාලනඥයන් හට මිදීමටද නොහැකි වනු ඇත. මන්ද යත් ශ්‍රී ලංකාව යනු තවදුරටත් ආගමික දේශපාලන රාජ්‍යයක් බැවිනි.
■ චමිඳු නිසල් ද සිල්වා