2022 අප්‍රේල් 10 වන ඉරිදා

ඩොලර් ලක්ෂ තුනකට විද්ද තානාපති

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 61

2013 වසරේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයෙන් නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් සඳහා නව ගොඩනැගිල්ලක් මිලට ගැනීමට කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට එවක ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ 61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී වරද පිළිගෙන ඇත. ඒ සම්බන්ධයෙන් නීතීඥ මැතිව් එම්. ග්‍රේව්ස්, වොෂිංටන් ඩීසී ක්ෂේත්‍ර කාර්යාලය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ස්වදේශ ආරක්ෂක විමර්ශන අංශය භාර විශේෂ නියෝජිත රේමන්ඩ් විලනුවා සහ එෆ්.බී.අයි විශේෂ නියෝජිත වේන් ඒ. ජේකොබ් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.  මේ වන විට ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන්හි  පදිංචිව සිටින ජාලිය වික්‍රමසූරිය 2008 සිට 2014 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. 

ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත්තේ ඔහුට එරෙහිව ඇමෙරිකාවේදී සිදු කරන ලද විමර්ශනයකින් පසු පනවන ලද නඩුවකදීය. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයට අනුව 2013දී තානාපති කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා රජයට වංචාවක් සිදු කිරීමට ඔහු උත්සාහ කර තිබේ. තානාපති කාර්යාලය මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් 332,027ක මුදලක් ඔහුගේ අනුදැනුම මත දේපළ වෙළෙඳාමට කිසිසේත් අදාළ නොවන සමාගම් දෙකක ගිණුම්වලට බැර කර තිබේ. අවසානයේ ඔහු එම මුදලට සමාන මුදලක් යළි රජයේ ගිණුමට බැර කර ඇත. එහෙයින් ශ්‍රී ලංකා රජයට අලාබයක් සිදු නොවීය. 

එහෙත් ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා දෙකක්, වීසා වංචාවක් සහ තවත් වංචා දෙකක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලදී එම චෝදනා පත්‍රයේ මෙලෙස සඳහන්ව තිබී ඇත. “නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී නීත්‍යානුකූලව එයට සම්බන්ධවීමට රාජ්‍ය තාන්ත්‍රිකයකුට නිල වශයෙන් හැකියාවක් ඇතැයි සැලකිය හැකි නමුදු මෙහිදී සිදුවී ඇති වංචාව සහ මුදල් විශුද්ධිකරණය විත්තිකරුගේ නිල රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල කොටසක් ලෙස සැලකිය නොහැකිය. නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමකදී එයට තානාපතිවරයාගේ නිල සහභාගිත්වයක් අවශ්‍ය නොවන අතර, මෙම ක්‍රියාදාමය කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක වූයේද නැත. ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී එහි මිල සාවද්‍ය ලෙස ප්‍රකාශ කර ඇති අතර අතිරික්ත මුදල් ඔහුගේම ප්‍රයෝජනය සඳහා යොදාගැනීම වංචා සහගත ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය''.

ඔහුගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අවස්ථාවේ වික්‍රමසූරිය මහතා වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලබාදී තිබූ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉවත් කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළේ එම විමර්ශනයට සහාය වීම සඳහාය. ජාලිය වික්‍රමසූරිය 2019 ජනවාරි මාසයේදී කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තමා නිවැරදිකරු යැයි ප්‍රකාශ කළ අතර පසුව රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය මත අධිචෝදනා පත්‍රය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට මෝසමක් ද ඉදිරිපත් කළේය. 

මුක්තිය ඉවත් කිරීමෙන් පසු ඊට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, එය අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී. එක්සත් ජනපද රජය නියෝජනය කරන නීතිඥවරු වික්‍රමසූරිය මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය නැවත ස්ථාපිත කිරීමට දරන ප්‍රයත්නයට විරුද්ධ වූහ.  

කෙසේ වුවද කොළොම්බියා දිස්ත්‍රික් අධිකරණයේ පනවා තිබූ  නඩු විභාගයේදී  තමා  ශ්‍රී ලංකා රජයට වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුයැයි ජාලිය වික්‍රමසූරිය පසුගිය අප්‍රේල් 1 දින පිළිගෙන තිබේ. මෙම වරදට දඬුවම ලෙස වසර පහක උපරිමයකට යටත්ව සිරදඬුවමක් හෝ දඩයක් පැනවිය හැකිය. ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ටාන්‍යා එස්. චුට්කන් විනිසුරුවරිය විසින් ජූලි මස 20 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

ජාලිය වික්‍රමසූරිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙකි. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු, වික්‍රමසූරිය 2005 දී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කරන ලදී. 2008 අගෝස්තු මාසයේදී ඔහු එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් යළි පත් කරන ලද අතර බදු පැහැර හැරීම හේතුවෙන් එක්සත් ජනපද රජය වික්‍රමසූරිය ආපසු කැඳවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 ජූලි මාසයේදී වික්‍රමසූරිය ශ්‍රී ලංකාවට කැඳවනු ලැබීය. ශ්‍රී ලංකා රජයෙන් වංචා සහගත ලෙස ලබාගත් මුදල් තම දියණියට එක්සත් ජනපදයේ නිවසක් මිලදී ගැනීමට යොදා ගත් බවට ඔහුට චෝදනා එල්ල විය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් 2016 නොවැම්බර් 17 වැනි දින ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපළෙන් රටින් පලා යාමට තැත් කළ අවස්ථාවේය. මඳ කලක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඔහු තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය. යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත. 2018 ජනවාරියේ යළි නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි .

ඔහු ජුලි මාසයේද 2019 අත්අඩංගුවට ගන්නා ලෙසට විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි. අධිකරණයේ අවසරය පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ ඇපකාරියන් වූ ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද විදෙස්ගත වී සිටි අතර නැවත පැමිණ අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා අධිකරණය විසින් කළ නියෝගවලට පවා ඔවුන් අවනත වී නොතිබිණි. එහෙයින් ඔවුන් තිදෙනාම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබිණි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා