2022 අප්‍රේල් 10 වන ඉරිදා

ශ්‍රීලනිපයේ අඬහැරය

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 47

පවතින දේශපාලන අර්බුද තුළ තීරණාත්මක දේශපාලන සාධකයක් වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන භාවිතයන් සමීපව නිරීක්ෂණය කිරීමට අප උත්සාහ කළෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දාහතර දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මේ වනවිට පාර්ලිමේන්තු තුළ ස්වාධීන වී සිටිති. ඔවුන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ තවදුරටත් නිරවුල්ව අවබෝධයක් ලබාගැනීම පහසු නැත.

වර්තමාන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වූයේ පසුගිය මාර්තු 31 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ආශ්‍රිතව සිදුවූ ගැටුමත් සමඟයි. මෙම සිදුවීමත් සමඟ ආණ්ඩුව කෙරෙහි ක්‍රමිකව වර්ධනය වෙමින් පැවති මහජන විරෝධය පුපුරා යෑම ඇරඹුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට නිල ප්‍රතිචාරයක් දැක්වූයේ අප්‍රේල් පළමු වැනිදාය. එදින පස්වරුවේ ශ්‍රීලනිපය හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවා සාකච්ඡා කළේය. එහි අවසන් එකඟතාව වූයේ ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමය.

එම යෝජනාව ලිපියක් මඟින් ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු සකස් විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ශ්‍රීලනිප ඉල්ලීම් ඇතුළත් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන බවත් එය අවසන් ලිපිය වනු ඇති බවකි. සිය ඉල්ලීම්වලට කන් නොදේ නම් නැවත මධ්‍යම කාරක සභාව රුස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බවද ඔහු පැවසීය. මේ අතර අප්‍රේල් තුන්වැනිදා පැවැත්වීමට නියමිත වූ විරෝධතා වළකාලමින් ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළ අතර මහජන හදිසි තත්ත්වයක් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර රට තුළ මහජන විරෝධතා අරගලයක් බවට පරිවර්තනය වූයේය. එවර පෙරට පැමිණියේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරය. ඔහු අප්‍රේල් 3 වැනිදා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කළේය. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් දරුණු අරාජිකත්වයක් කරා ගමන් කර ඇති අතර ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී හමාර බව ඔහු එහි සඳහන් කර තිබුණි. මෙවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ආණ්ඩුවේ වගකීම් හෝ තනතුරු දැරීම සම්බන්ධයෙන් තමා තුළ ඇත්තේ දරුණු සදාචාරාත්මක පසුබෑමක් බවද ඔහු කීවේය.

මේ අතර භාරකාර ආණ්ඩු ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොවීම හේතුවෙන් ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී රුස්වූහ. මේ අතර විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය සහ ප්‍රියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරුද සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කළහ.

මේ අතර කාලය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව කැඳවා තිබුණි. ශ්‍රීලනිපය ඊට සහභාගි වීම මඟහැර ගියේ තමන්ට කණ්ඩායම් හමුව පැවැත්වෙන බව පවසමින්ය. අනතුරුව 4 වැනිදා පස්වරුවේ කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දුන්හ. මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වීමේ තීරණයට එළඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ෂාන් විජයලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රාඝවන්, අන්ගජන් රාමනාදන් හා සම්පත් දසනායක යන මන්ත්‍රීවරු මෙසේ ස්වාධීන කණ්ඩායමක් බවට පත්වූහ.

මෙහිදී හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාව තව තවත් පීඩනයට පත්වන බවත් එමෙන්ම ඒ පිළිබඳව විදෙස් අවධානයද යොමු වී තිබෙන බවත්ය. මෙම ස්වාධීන වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තමන් හමුවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළේය. ඒ අනුව අප්‍රේල් පස්වැනිදා පස්වරු 4.30ට පමණ එම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි.

ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ පිරිසක් ලෙස ආණ්ඩුවෙන් ඉවත් නොවී ආණ්ඩුව තුළ තවදුරටත් රුඳී සිටින ලෙස ජනපති ඔවුන්ගෙන් ඉල්ලීමක් සිදුකළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එසේම හදිසි නීති ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු නොවන බවද ජනපති පවසා තිබුණි. මෙම සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවති අතර ආණ්ඩුවෙන් ඉවත් වුවද ආණ්ඩුවට අවශ්‍ය මොහොතකදී සහයෝගය ලබාදීමට සූදානම් බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති හමුවේ අවධාරණය කළ බවටද තොරතුරු වාර්තා විය.

මේ අතර  නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර කර තිබුණි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස රන්ජිත් සියඹලාපිටිය කටයුතු කරන අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අන්ගජන් රාමනාදන් කටයුතු කරයි. ඔවුන් දෙදෙනා එම තනතුරුවලට පත්වූයේ ඡන්දයෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ, ඔවුන් දෙදෙනාද මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

 චමිඳු නිසල් ද සිල්වා