(අවසාන කොටස)
නගරය ඒ වෙලාවේ බොහොම නිශ්ශබ්දවයි පැවතුණේ. කොටේජ් එකෙන් එළියට ඇවිත් තක්කිගේ අවන්හල ඉදිරිපිට මහ මැයි ගහ යට නැවතුණු මං බලාගෙන හිටියා කළපුවෙන් එහා පැත්තේ ඈතින් පේන දේවස්ථානේ සුරුවම් කොත දිහා. මිනිස්සු තම තමන්ගේ වැඩ කරගන්න එහෙ මෙහෙ ගියා. ඒ අස්සෙන් වාහන කඩසාප්පු කරත්ත තල්ලු කරගෙන බඩු පටවගෙන ගිය මිනිස්සුත් හිටියා. ඒ හැම දෙයක්ම කිසිම හඬක් නොනගා ඉතා සන්සුන්ව හැසිරෙන විදියකුයි තිබුණේ.
අදාරතී... කොහෙද ඔය යන්නේ... මේ මෙහෙට වෙලා හිටපං.
ආච්චි කෑගැහුවා. මාත් එයාට කෑ ගහල කිව්වා...
මං කොහෙවත් යන්නේ නෑ. අද ඉඳන් මං ඔය කොටේජ් එකේ පදිංචිය අතඅරිනවා. අද ඉඳන් මගේ ගෙදර තමයි මේ කඩේ...
මං හිතන්නේ ඒක නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවටත් ඇහුණා. එයා මිනර්වා කොටේජ් එකේ වහළට නැගල වැඩකරන මිනිහෙකුට යමක් කියමින් ඉඳලා ඩස් ගාලා මා දිහා බැලුවා... මං ගැස්සුවා එයාට. නිකං නෙවෙයි කඩේ ඇතුළට ගිහින් දෙපැත්තෙන්ම දොරවලුත් වහ ගත්තා. රූ වෙනකොට මගේ ඇඳුම් කැඩුම් ටික අරගෙන මේක ඇතුළෙම මං මගේ පදිංචිය හදාගන්නවා කියලා හිතුවා... ඒත් ටික වෙලාවකින් මට ඇහුනා කඩේ ඉදිරියේ වාහනයක් නවත්වනවා. ඒකේ දොර ඇරෙනවත් ඇහුණා. මං හෙමීට හෙමීට කිට්ටු කළා කඩේ ඉදිරිය වහලා දාලා තිබුණු ලෑලි තීරු අතරට. ඒ තීරුවකින් මට පෙනුණා එළියේ නවත්තපු වාහනේ හා ආපු අය.
දෙවියනේ ලුසේන්...
ඔව් මට එහෙම කියැවුණා. එයා තමයි ඒ කාර් එකේ රියදුරු අසුනේ හිටියේ. ඇත්තටම එයත් අද නිල් ඇස් කණ්නාඩි ජෝඩුවක් දාලා හිටියා. අර මං කලින් කියපු හික්මීම එහෙමම එයා ළඟ තිබුණත් මෙහෙ ඉඳපු කාලයට වඩා එයා පුදුමාකාර කඩවසම් ගතියක් ඉහිලුවා... මං තවත් ළං වුණා... දොර තීරුවට. ඒ මොකද එයා කතා කළේ බොහොම සෙමෙන්... මට පෙනුණු විදියට එයා අණ නිකුත් කරනවා වගේ එයා එක්ක ආපු අනිත් පුද්ගලයට කිව්වා.
තමුසේ අද ඉඳන් දවස් කීපයක් මෙහේ නවතිනවා. ඒ මොකද මෙතන තියෙන වැඩ ටික සචින්ට විතරක් තනියෙන් බලාගන්න බෑ. මොකද මිනිහට මේ ටිකේ වැඩ වැඩියි. පාලම ඉවර කරන වැඩ ටික කළාට පස්සේ ඊළඟට ටවුන් එක. මිනර්වා කොටේජ් එකේ අලුතින් වෙන වැඩ ටික හරියටම වෙන්න ඕන. මොකද තව දවස් දහයකින් එනවා මං එයාට වෙච්ච පොරොන්දුව ඉටුකරන දවස. මට ඒක හරියටම කරගන්න ඕන... ඕකේ?
ඕකේ සර්.
මං හිතන්නේ මගේ කකුල් දෙක පණ නැතිව ගියා. අතේ ඇඟලි පවා සෙලවුණා මට නොදන්වා... ලුසේන් ආපු වටිනා කාර් එක ආයිත් යන්න ගියත් මං හිටගත් තැනම ඒ විදියටම හිටගෙන හිටියා. මට ඇහුණා වාහනෙන් බැහැපු මනුස්සයා අපේ කඩේ අයිනෙන් මිනර්වා කොටේජ් එක දිහාට යන අඩි සද්දේ...
ලුසේන්... එතකොට එයා කවුද? එයා අර මිනිහට වැඩ වැඩියි කියලා කිව්වේ නිල් ඇස් කණ්නාඩිකාරයාට නේද? එතකොට ලුසේන් එයාගේ කවුද? ලුසේන් කියන්නේ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවටත් වඩා ලොකු කෙනෙක්ද? අනික මේ අය කලින් ඉඳන් දැන අඳුනන අයද? මට හිතුණා දුවගෙන ගිහින් මේ අලුත්ම රහස තක්කිට කියන්න. ඒත් මට එළියට යන්න හිත දුන්නේ නෑ. ඒ ගමන ආයිමත් ඇහුණා කවුරු හරි කෙනෙක් ඇවිත් වාහනයකින් බහින සද්දේ. මං නිහඬ වුණා උන් තැනම. දොර තීරුව මට සපයලා දුන්නා ආලෝකය හා ඒ තුළ බලන්න පුළුවන් හරි අපූරු කවුළුවක්.
රෑමි... ඔයා මං එක්ක තරහද?
දෙයියනේ මීට සතියකට පෙර වෙනතක පදිංචියට ගිය මිනර්ලිනී ආපහු ඇවිත්. එතකොට කෝ සාශා? මිනර්ලිනී ඇවිත් තිබුණේ කුලී වාහනේකින්. ඒ එක්කම රෝමියෝත් ගෙදර එන්න ඇවිත් තිබුණා. ඒ දෙන්නා මේ සටහන් කරන්නේ සමුගැනීමක් බව මට වැටහුණේ. දෙන්නම අතරමගක මුණගැහිලා... රෝමියෝ විතරක් ගෙදරින් බහින්න කියලා හිතාන මිනර්ලිනීගේ කුලී වාහනෙන් ආ නිසා.
මිනර්ලිනී එහෙම අහනකොට අපේ රෝමියෝ බොහොම නිශ්ශබ්දව මිනර්වා කොටේජ් එක දිහාට අඩි තැබුවා. මිනර්ලිනී දුවගෙන ගිහින් රෝමියෝගේ අතකින් අල්ලලා නතර කරගත්තා.
මං දන්නවා ඔයාගේ හිත රිදෙන බව. ඒ මොකද මං මෙහෙන් යන්න ගිය එක ඔයාට උහුලන්න බැරි බව. ඒත් ඔයා දන්නවා. මගේ අරමුණ මොකක්ද කියන එක. ලුසේන් මහත්තයා මට උදව් කළා හුඟක්. මොකද ඔයාගේ අම්මා මිනර්වා කොටේජ් එක අස්සේ හංගගෙන හිටපු පරණ සාක්ෂි... මං ටික ටික නැවතත් ලුසේන්ට දුන්නු නිසා. ඒවා අයිති එයාලට... මං ඔයාට දවසක් කිව්වා... කවදාහරි දවසක මේ දෙවල් එළිවෙනවා කියලා. එදාට... ඔයාටත් අම්මටත් ප්‍රොන්තොටත් යන්න සිද්ධ වෙනවා කියලා.
ඔන්න ආයෙත් මගේ දෙපා වෙව්ලුවා... මං ඇස් අතගාලා කන් අතගාලා බැලුවා මේ මොකක්ද වෙන්න යන්නේ කියන එක. මිනර්ලිනීවත් රෝමියෝවත් දැනගෙන හිටියේ නෑ මං ඒ ගොල්ලන්ගේ කතාව ළඟම ඉඳන් මේ දේවල් අහගෙන ඉන්න බව.
අහන්න රෝමියෝ ඔයා මට හුඟක් උදව් කළා... සාශා එක්ක මං අතරමං වෙච්ච වෙලාවේ හැමෝම මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හැදුවත් ඔයා තමයි මාව බිරිඳ කරගෙන සාශාටත් තාත්තා වෙලා අපිව රුකගත්තේ. ඒ නිසයි මං ඔයාගේ පුතා ප්‍රොන්තෝටත් අර ළමයා අදාරතීටත් මගේම දරුවන්ට වගේ සැලකුවේ... ඒත් මං දැන් යන්න ඕන. මං ඔයාට බොරුවක් කළේ නෑ. ඔයා ළඟට එද්දිම මං කිව්වා... දවසක මං ආපහු යනවා කියලත්...
මිනර්ලිනී එහෙම කියලා රෝමියෝ දිහාම බලා හිටියත් රෝමියෝ සන්සුන්ව මිනර්වා කොටේජ් එක දිහාට ගියා. මිනර්ලිනී කතා නැතිව එයා ආපු කුලී වාහනේට නැග්ගා. ඒක පිටත් වුණා. දෙවියනේ එතකොට මම? මම කවුද? මම මිනර්ලිනීටවත්, රෝමියෝටවත්, තක්කිටවත්, ප්‍රොන්තෝ වගේම සාශාටවත් අයිති නැති කෙනෙක්ද? එතකොට මගේ අම්මා තාත්තා කවුද? මං අහසින් වැටුණු කෙනෙක්ද?
තවදුරටත් මට ඉවසුම් නැතිව ගියා... මං කෑගැහුවා මං දුවගෙන ගියා... තක්කි ඉන්නා තැනක් හොයාගෙන. ඒත් මගේ කලබලේට මං හැපුණා තවදුරටත් මිනර්ලිනීගෙන් සමුගත් රෝමියෝගේ ඇඟේ....
තාත්තා?
ඔව්. මට එහෙම කියවුණා. වැටෙන්න ගිය රෝමියෝව මං අල්ලගත්තා. එයා කෙලින් බැලුවේ නෑ මං දිහා. මං එයාට කිව්වා...
මං අහගෙන හිටියා ඔයාලා කතා කළ සියලු දේම.
රෝමියෝ ලෝකෙම අතඇරුණා වගේ බැල්මකින් මං දිහා බැලුවා. ඒ විතරක් නෙවෙයි. නිල් ඇස් කණ්නාඩිකාරයත් සේවකයන්ට අණ දෙන ගමන් ඒක නවත්තලා මං දිහා බැලුවා
මිනර්ලිනී මොකක්ද ඒ කිව්වේ... ඒ කතාව ඇත්තද? එතකොට ඔයයි මිනර්ලිනීයි මාගේ අම්මා තාත්තා නෙවෙයිද? තක්කි මගේ ආච්චි නෙවෙයිද? ප්‍රොන්තෝ, සාශා මගේ සහෝදරයෝ නෙවෙයිද?
රෝමියෝ නිරුත්තරව මං දිහා මොහොතක් බලා හිටියා. එයා මොකුත්ම කියන එකක් නෑ කියලා මං හිතුවට එයා මට තනි වචනෙකින් උත්තර දුන්නා.
මං කෑගැහුවා. මං ඇඬුවා... එහාට මෙහාට දිව්වා. මට දරාගන්න බැරිවුණා රෝමියෝ දීපු තනි වචනේ. ඒත් එයා නැවත කතා කළා...
මං නෑ කියලා කිව්වේ... ඒ ගොල්ලෝ කවුරුත් ඔයාගේ කවුරුත් නොවෙයි කියන එක. ඒ වුණත් ඔයා මගේ දුව... මගේ ලෙයින් උපන් දුව.
රෝමියෝ ඇඬුවා. මං දැක්කා නිල් ඇස් කණ්නාඩිකාරයා මං දිහා එක සැරයක් බලලා ආයිමත් එයාගේ නිල් ඇස් කණ්නාඩිය ගලවලා කාටද කෝල් කරනවා...
මට මේ මොකුත් තේරෙන්නේ නෑ. අනේ කවුරු හරි කියන්න මං කවුද? කෝ එතකොට මගේ අම්මා....?
මං දැක්කා තක්කි තරමක් ළඟක ඉඳන් එයාගේ ඇස් දෙක ඇඳගෙන හිටපු කිමෝනාවෙන් පිහා ගන්නවා. මට මේ කිසිම දෙයක් දරාගන්න බැරි වුණා... මං දිව්වා මිනර්වා කොටේජ් එකේ උඩුමහලට. මගේ පුංචි පුංචි ඇඳුම් කැඩුම් ටිකක් බෑග් එකක ඔතාගෙන මං ආයිත් ආවා ඒ අය අතරට...
මං යන්න යනවා මෙහෙන්... තවදුරටත් මෙහේ ඉන්න මං ඕන නෑ. හැමෝම මට බොරු කළා. ඒක පොඩි බොරුවක් නෙවෙයි. ඒක මහ විශාල බොරුවක්. මං කොහේ හරි යනවා. එන්න එපා මාව අල්ලන්න කවුරුත්...
ඒ එක්කම තක්කි බැරි බැරි ගාතේ මගේ පස්සෙන් දුවගෙන ආවා. එයා මගේ අතින් ඇල්ලුවා. මං ගසලා දැම්මා එයාගේ අත. අනේ එයා වැටුණා. දෙවියනේ මට දුක හිතුණා. ආයෙත් මං එයාව නැගිටෙව්වා....
ඔහොම හිටපං අදාරතී. මං උඹට ඇත්ත කියන්නම්...
මං දැක්කා ඒ එක්කම ආපහු ලුසේන් වාහනේක එනවා. ඇවිත් අපේ ගේ ඉදිරියේ නවත්තලා අපි ඉන්න දිහාට එනවා...
මගේ රෝමියෝ කවදටත් කළේ කාට හරි උදව්වක්. ප්‍රොන්තො කියන්නෙත් එයා ඒ විදියට හදාගත් ළමයෙක්... එහෙම ඉන්නකොට තමයි රෝමියෝගේ නාට්ටි බලන්න ආපු ලොකු පවුලක ගෑනු දැරිවියක් රෝමියෝට ලං වෙන්නේ... ඒක මටවත් නතර කරගන්න බැරිවුණා. ඒක අවසාන වුණේ මහ රූක. අපේ ගෙදරට ආපු එයා උඹව ලැබෙන්න අමාරු වුණා. එදා... එදා... අවසන් මොහොතේ උඹව අපිට දීලා එයා යන්න ගියා. මේ කොටේජ් එක එයාගේ. එයයි මේක නාට්ටි කරන්න පුහුණු වෙන්න හොඳයි කියලා රෝමියෝට දීලා තිබුණේ... ඒත් පස්සේ එයාගේ තාත්තා අපිට හුඟාක් වෛර කළා... උඹට විතරක් නෙවෙයි එයා මේ කොටේජ් එකත් අපිටම අයිතිවෙන්න දීලා එහෙම පිටින්ම එයාගේ දුවගේ කතාව අවසන් කරලා දැම්මා...
තක්කි හුඟාක් මහන්සියෙන් කතා කරනකොට ලුසේන් ඇවිත් එයාව නැගිටුවලා පුටුවක ඉන්දෙව්වා. ලුසේන් ළඟ අර මං දැකපු ලොකු හික්මීම මේ මොහොතේ තිබුණේ නෑ. එයා හෙමීට මං දිහා බැලුවා.
ඔව්. අදාරතීට ඒ කතාව දැනගන්නනේ ඕනේ. මං කියන්නම්.
මං මේ මොකුත් අදහාගන්න බැරිව තවදුරටත් ගැස්මෙන් හිටියා. මං දැක්කා ඉංජිනේරුවා... මෙතන මොකුත්ම සිදු නොවෙන ගානට එයාගේ වැඩවලම නිරත වෙනවා.
අදාරතී... ඔයා හුඟාක් තරහෙන් ඉන්න නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා මගේ මල්ලී.... අපි දෙන්න හුඟාක් ආදරේ කළා.... අපේ එකම නැන්දට.. ඒ කියන්නේ අපේ තාත්තට හිටපු එකම නංගිට. ඒත් උන්නු ගමන් එයා අතුරුදන් උනාම ඒ කාලේ බොහොම පුංචියට හිටපු අපි දෙන්නට එයාව හොයාගන්න පුළුවන් වුණේ නෑ. මට මතකයි නැන්ද නැති සාංකාව දරාගන්න බැරිව සචින් ලෙඩ වුණා. මගේ නැන්දගේ නම කැරොලිනා... සචින් කුඩා කාලේ අඬ අඬ බංග්ලෝ එක පුරා දිව්වා. කැරොලිනාව සොයාදෙන්න කියලා... ඒත් සීය පපා අපිට මේ කතාව කිව්වේ එයා අවසන් ගමන් යන්න සතියකට කලින්. අපි තීරණය කළා අපේ නැන්ද වෙනුවෙන් ඔයාව හොයාගන්න... අපි දෙන්නම මෙහෙට ඇවිත් රඟපෑමක් කළා... එහෙම නොකළා නම් අපිට ඔයාවත් මේ පවුලේ අයටවත් ළං වෙන්න ලැබෙන්නේ නෑ.... පස්සේ දවසක මං ඒ ඇත්ත තක්කිට කිව්වා. ඔයා වෙනුවෙන් සීයා පපා අයින් කරලා තියෙන සියලු දේ ඔයාට දෙන්න අපි දෙන්නම තීන්දු කළා.... එච්චරයි...
මගේ ඇස් බොඳවෙලා ගියා කඳුළින්.... ලුසේන් එකපාරටම මාව එයාගේ පපුවට තුරුලු කරගෙන හිස සිපගත්තා. ඒ විතරක් නොවෙයි, එයා කිව්වා....
ඔයා මගේ ආදරණීය නංගි අදාරතී...
මං දැක්කා ඒ සිද්ධිය දිහා ඉංජිනේරුවා එයාගේ නිල් කණ්නාඩි කුට්ටමත් ගලවලා බලන් හිටියා. මං යාන්තමට හිනාවුණා එයා එක්ක...
එතකොට ආයිත් ලුසේන් කිව්වා....
ඔව් එයා හැමදාමත් එයාගේ කැරොලිනාව හෙව්වා... එයා ආදරය කරන කැරොලිනා වෙන කවුරුත් නෙවෙයි අදාරතී... ඒ ඔයා... ඒ ආදරේ වෙනුවෙන් එයා හුඟාක් කැපවීම් කළා....
නිමි