ජනපීඩක දේශපාලන, සමාජ ප්‍රතිපත්තීන්ට එරෙහිව පීඩිත ජනතාව විසින් අහිංසාවාදී සමාජ ව්‍යාපාර හරහා ලබාගත් විවිධ ජයග්‍රහණවලින් ඉතිහාසය පිරී පවතී.
චෙකොස්ලොවැකියාවේ හටගත් “වෙල්වට්” විප්ලවය, මගින් 1989 දෙසැම්බර් 29 වැනිදා ජනප්‍රිය චෙකොස්ලොවැකියානු නාට්‍යකරු වැක්ලෙව් හැවෙල් බලයට ගෙන එන්නට ජනතාව සමත් වූ විප්ලවය මෑතකාලයේ ඇති හොඳම නිදසුනයි. ඒ හේතුවෙන්, 1993 ජනවාරි 1 වැනිදා සිට චෙකොස්ලොවැකියාව නිල වශයෙන් චෙක් ජනරජය සහ ස්ලොවැකියාව යන රටවල් දෙක බවට පත්වුණි. මේ අන්දමට ප්‍රචණ්ඩත්වයට නොවැටී අරමුණු ජයග්‍රහණය කළ වෙල්වට් විප්ලවය මෙන්ම එබඳු විවිධ නම්වලින් හැඳින්වුණු විප්ලව රාශියක් පසුගිය සමයේ ලෝකය පුරා දැකගත හැකිවිය.
18 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ පැවති වහල් සේවය නවතා දැමීම වූ කලි ඉතා අමානුෂික වූ පීඩාකාරී තත්ත්වයකට විරුද්ධව සිවිල් කණ්ඩායම් හඬ නැගීමේ ප්‍රතිඵලයකි. එසේම 20 වැනි ශතවර්ෂයේදී ජනගහනයෙන් හරි අඩක් වූ ස්ත්‍රීන්ට දේශපාලන අයිතිවාසිකම් ලබාගැනීම සඳහා ස්ත්‍රීවාදී සහ සිවිල් කණ්ඩායම් විසින් කරන ලද අරගල හේතුවිය.
20 වැනි සියවස පුරාද ඕනෑතරම් ජන නැඟිටීම් වාර්තාවේ. 1967 දී ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වන ඇබොරිජින්වරුන් පුරවැසියන් වශයෙන් පිළිගැනීමට සහ ඔවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ගෙනගිය නිර්ප්‍රචණ්ඩ ව්‍යාපාරය මෙන්ම 19 වැනි සියවසේ ඔස්ට්‍රියානු ග්‍රහණයෙන් හංගේරියාව මුදවාගත් නිර්ප්‍රචණ්ඩ විප්ලවය, 1988දී චිලීහි ඒකාධිපති පාලක ජෙනරල් පිනෝෂේ බලයෙන් පහකළ “NO” ව්‍යාපාරය, එසේම 1989දී පෝලන්ත ඒකාධිපති කොමියුනිස්ට් පාලනය බිඳ දැමූ “සොලිඩැරිටි” ව්‍යාපාරය, 1986දී පිලිපීනයේ ජනපීඩක ඒකාධිපති පාලක මාර්කෝස් පලවා හැරි “People’s Power” ව්‍යාපාරය, 2001 දී නැවත පිලිපීන දූෂිත පාලක එස්ට්‍රාඩා පලවා හැරි “People’s Power 2” ව්‍යාපාරය, 1989දී නැගෙනහිර ජර්මනියේ හටගත් අහිංසාවාදී ක්‍රියාවලියත් සමඟ බර්ලින් තාප්පය බිම දමා ජර්මනිය ඒකාබද්ධ කළ Friedliche විප්ලවය, 2003 දී ජෝර්ජියානු ජනාධිපති එඩුවාඩ් ෂර්වර්නාඩ්සේ බලයෙන් පහකළ ‘රෝස’ විප්ලවය, 2004 දී යුක්රේනයට නිදහස ගෙනා ‘ඔරේන්ජ්’ විප්ලවය, 2000 දී සර්බියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලෙසොවිච් බලයෙන් ඇද දැමූ විප්ලවය, 1989 දී නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරගැනීමේ අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ එම්කුසේලි ජැක් නම්වූ 27 හැවිරිදි තරුණයා විසින් නායකත්වය දෙනු ලැබූ Buying Power නම් වූ පාරිභෝගික වර්ජන ව්‍යාපාරය ආදි ව්‍යාපාර ලෝකයේ සිවිල් ජනතා නැගීටීම් අතර අමුතුම ආරක් ගත් විරෝධතා අතර ප්‍රධාන තැනක් ගන්නා අපට කිසිදා අමතක කළ නොහැකි අහිංසාවාදී සමාජ ව්‍යාපාරයන් ලෙස ඉතිහාසගතව ඇත.
ඉතාමත් මෑත කාලයේ අපට දක්නට අසන්නට ලැබුණු අපූරුම ජනතා විරෝධය නැතිනම් සිවිල් විප්ලවය වාර්තා වූයේ මියැන්මාරයෙනි. එය මියැන්මාර කතුන්ගේ මෙහෙයුමකි. ඔවුන් එය හඳුන්වා ඇත්තේ “සරම්” විප්ලවය ලෙසිනි.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හදිසියේ පෙරළා දමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුර මාවතට බැස්සේ අමුතු සටන් සංකේතයක් රැගෙනය. ඒ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි. වයස් භේදයක් කුලමල භේදයක් නැතිව සමාජයේ සෑම තරාතිරකම කතුන් අඳින සාම්ප්‍රදායික මේ ඇඳුම එම කාන්තාවන් විසින් හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන නිහඬ සාමකාමි අවියක් විය.
මියැන්මාරයේ හටගත් විරෝධතාව අපේ කාලයේ තවත් සුවිශේෂී විප්ලවයක් අපට සිහිපත් කරදෙයි. ඒ හොංකොංහි පැවැති චීන අත පෙවීමට එරෙහි මහා විරෝධතාවයි. ලෝකයේම අවධානය දිනාගත් මේ ජනතා විරෝධය තවමත් අළු යට ගිනිපුපුරු මෙන් දලුලන්නකි.
1842 වසරේ සිට බ්‍රිතාන්‍ය යටතේ පැවති හොංකොං, චීනය විසින් පවරා ගන්නේ 1997 වසරේදීයි. එතැන් පටන් චීනය විසින් හොංකොං රාජ්‍ය පාලනය වන අතර එම ක්‍රමය හඳුන්වන්නේ “එකම රටක් - පාලන ක්‍රම දෙකක්” ලෙසටය. චීනය විසින් හොංකොං වෙත සිදුකරන අනවශ්‍ය දේශපාලන අතපෙවීම්වලට එරෙහිව එරට ජනතාව අවස්ථා ගණනක දී විරෝධතා ව්‍යාපාර මෙහෙයවා ඇති අතර මේ මෑතකදීද එවැනි විරෝධතා ව්‍යාපාරයක් දරුණු ලෙස ක්‍රියාත්මක විය. ඒ හොංකොං ව්‍යවස්ථාදායකය විසින් එරටට හඳුන්වා දුන් උදර්පණ නීතියකට එරෙහිවය. මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ මෙම නව නීතිය හරහා චීනයට අවශ්‍ය කෙරෙන හොංකොං වැසියන්ව චීනයට ගෙන්වාගෙන අවශ්‍ය දඬුවම් ලබාදීමට හැකියාව පවතින බවය.
චීන කොමියුනිස්ට් රජයට විරුද්ධව මහා ජනගඟක් මාවත් පුරා අතුරු සිදුරු නැතිව රැස්කළ මහා විරෝධයක් හොංකොංහි පැතිර ගියේ 2014 වසරේදීය. එය ලෝකයේම අවධානය දිනා ගත්තේ “කුඩ අරගලය” ලෙස මහා ප්‍රසිද්ධියක් ලබා ගනිමිනි. මෙලෙස “කුඩ අරගලය” ලෙස එයට නම් තැබීමට හේතුව වන්නේ බොහෝ විරෝධතාකරුවන් කහ පැහැ හා වෙනත් පැහැ කුඩ ඉසලාගෙන හා විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ විරෝධතාවයට එක් වී සිටීම නිසාය. පසුව එය ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නේ කහ කුඩ විරෝධතාවය ලෙසටය. බහුතරය කහකුඩ රැගෙන පැමිණීම නිසාය.
2014 වසරේ සැප්තැම්බර් 22 වැනි දින මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ විය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ හොංකොංහි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකි. ඔවුන්ගේ සංවිධානය වන්නේ හොංකොං ශිෂ්‍ය ෆෙඩරේෂණයයි. පසුව එරට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු පාර්ශව දහයකට වඩා වැඩි පිරිසක්ද එක්වීමත් සමග කුඩ විරෝධයට සහභාගී වූ මුළු විරෝධතාකරුවන් ප්‍රමාණය මිලියන 1.2ක් දක්වා ඉහළ නැංගේය.
“කුඩ විප්ලවය”, හෙවත් Umbrella Revolution, ලෙස මේ විරෝධතාවයට මුලින්ම නම දැම්මේ බටහිර මාධ්‍යවේදියෙකු වෙන ඇඩම් කොටම් විසිනි. ඔහු විසින් නිකුත් කෙරුණු ට්විටර් පණිවුඩයක එය මුල්න්ම එලෙස සටහන්ව තිබුණි.
මෙම විරෝධතාවලට හොංකොං පොලීසියෙන් නිරන්තර බාධා එල්ල වූ අතර විශේෂයෙන් ඔවුන් එල්ල කරන ගම්මිරිස් දියර ස්ප්‍රේවලින් ගැලවීමට තම මුහුණ වසා ගැනීම සඳහා විරෝධතාකරුවන් විසින් මුලින්ම කුඩ භාවිතා කැරිණි. ඉන්පසු අධික හිරු රැසෙන් ආරක්ෂා වීමත්, ඇඩම් කොටම්ගේ අපූරු භෞතිස්මයෙන් පසු සිය විරෝධතාවය නිර්මාණාත්මක අන්දමින් පවත්වාගෙන යාම හා විරෝධතාවය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ලබා ගැනීම, මෙම කුඩ භාවිතා කිරීමේ අරමුණු ලෙස ඉදිරියට ආවේය.
හොංකොං වැසියන්ගේ මෙම අමුතු පන්නයේ විරෝධතා අරුමෝසම 2014 වසරේ ඔක්තෝබර් මාසය වනවිට ලෝකය පුරා නගර 64ක වැසියන් කොපි කර තිබුණි. ඔවුන්ට සිය සහාය පල කරමින් මේ නගර වැසියන්ද කුඩ අමෝරාගෙන වීදි ආක්‍රමණය කළහ.
නමුත් සැප්තැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා දින 79ක් පුරා පැවති උද්ඝෝෂණය අවසන් වන්නේ කිසිදු ජයග්‍රහණයකින් තොරවයි. ඒ හොංකොං රජයේ ආරක්ෂක අංශයන් දිගින් දිගටම කළ දැඩි මර්දන හමුවේය. ඒ සඳහා චීනය කළ බලපෑමද අති විශාලය. ඒ වුවද හොංකොං පාලනයට එරෙහි උද්ඝෝෂණ තාම නිමාවක් නොවී ඇත.
මෑතකාලීන තවත් එබඳු අපූරු විප්ලවයක් වාර්තා වන්නෙ අසල්වැසි ඉන්දියාවෙනි. චිත්‍රපට ලෝකයත් නාට්‍ය වේදිකාවත් ආක්‍රමණය කළ මේ විප්ලවය ඇවිල යන්නේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයට එරෙහිවය. එයට මුල් වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බන්දල්ඛාන්ද් පළාතේ දිළිඳු, නූගත් පවුලක සාමාජිකාවක වන සම්පත් පාල් නමැති කාන්තාවකි. 12 හැවිරිදි වියේදී ළමා විවාහයකට පත් කෙරෙන ඇය, 15 වැනි වියේදී සිය පළමු දරුවා බිහි කරන්නීය. ඒ හේතුවෙන්, ඇය උගත් පාසලෙන්ද නෙරපනු ලබයි. ඉන්පසුව, සම්පත් පාල් තවත් දරුවන් සිවුදෙනකු බිහිකරයි.
ඇගේ අසල්වැසි නිවසේ සිටි මිතුරියක නිතරම වාගේ සිය සැමියාගේ වධ හිංසනයට ලක්වෙනු දුටු සම්පත් පාල් තම මිතුරිය සමඟ පොලීසියට යයි. පොලීසියෙන්ද කිසිදු සැලකීමක් නොලැබෙයි. අවසානයේදී මෙම අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට තීරණය කරන සම්පත් පාල්, අසල්වැසි ස්ත්‍රීන්ද කැඳවාගෙන තම මිතුරියගේ සැමියාට පහර දෙයි. “රෝස සාරි කල්ලිය” යන අරුත් දෙන “ගුලාබ් ගෑන්ග්” (Gulaab Gang) නමැති කාන්තා සංවිධානය ඇරැඹෙන්නේ එම සිද්ධිය පදනම් කර ගනිමිනි. “ගුලාබ් කල්ලියට” එම නම වැටෙන්නේ ඔවුන් තම “නිල ඇඳුම” වශයෙන් තද රෝස පැහැති සාරිය තෝරා ගැනීම නිසාය. පෙළපාලි යනවිට රෝස පැහැති යෂ්ටියක්ද රැගෙන යති. යුක්තිය, අසාධාරණය, වංචා දූෂණ හා කුල පීඩනය මුල්කොට සිදුවීම්වලදී නීති මාර්ගයෙන් ක්‍රියා කරන ලෙස පොලිසියට බලපෑම් කරන “ගුලාබ් ස්ත්‍රීහු” එය ඉටු නොවන තැන “කැලෑ නීතිය” ක්‍රියාත්මක කළහ. කිසිවකුගෙන් පිහිටක් නැතිව අසරණව සිටි ස්ත්‍රීන්, සම්පත් පාල්ගේ නායකත්වය වටා එක්රොක් වන්නට වූ අතර, එහි සාමාජිකත්වය දෙලක්ෂය ඉක්මවා ගියේය.
සම්පත් පාල්ගේ මෙම කාන්තා සංවිධානයට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලැබෙද්දී, එය හැඳින්වෙන්නට වූයේ “රෝස සාරි විප්ලවය” (Pink Sari Revolution) නමිනි. “රෝස සාරි විප්ලවය” පොතකටත් නාටකයකටත් චිත්‍රපටයකටත් වස්තු බීජය බවට පත්වන්නේ ඒවා සම්මානනීය කෘති බවටද පත්කරමිනි.
සුගත් පී. කුලතුංගආරච්චි