ඉන්ධන අර්බුද මේ දැන් විසඳෙතැයි සතිය පුරා මහ ජනතාව බලා සිටියහ. ඉන්ධන නැව්ද පැමිණියේය. එහෙත් තවදුරටත් බලන බලන අත ඉන්ධන පෝලිම්ය. එනිසාවෙන්ම පොදු ප්‍රවාහන සේවාව සේම විදුලි බලය සැපයුම උපරිම ධාරිතාවයකින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රාජ්‍යයට තවදුරටත් නොහැකි වී තිබේ. එනිසාම මහජන විරෝධතාවල සීඝ්‍ර වර්ධනයක්ද නිරීක්ෂණ කළ හැකිය.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා වනවිට ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් ලැබී ඇතැයි තොරතුරු අනාවරණය විය. ඒ අනුව බදාදා දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබුණි. මේ වනවිට එහි ගොඩබෑමේ කටයුතු අවසන්ව තිබේ. ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග අනුව අදාළ බෙදාහැරීම සිදුවෙමින් පවතී. එහෙත් ප්‍රමාණවත් ඉන්ධන තොග පිරවුම්හල් වෙත නොලැබෙන බව ඉන්ධන පිරවුම්හල් අසල සිටින ජනතාව පවසා සිටිති. පිරවුම්හල් ඉදිරිපිට පැවැති රථවල පෝලිම් හේතුවෙන් එය සත්‍යයක් බව පැහැදිලි වුණි.
ඉකුත් සතියේ කොළඹ සහ තදාසන්න නගර රැසක ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් ආශ‍්‍රිතව දිගු පෝලිම් දැකගත හැකිවිය. එසේම රටපුරා ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ විවිධ සිදුවීම්ද වාර්තා වූයේය. මස්කෙළිය විවිධ සේවා සමුපකාර සමිතියට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ සිට ඩීසල් ලීටර් හයදහසක් පමණ රැගෙන යමින් තිබූ සංස්ථාවට අයත් බවුසර් රථයකට ධාවනය කිරීමට අවහිර කිරීමට පිරිසක් කටයුතු කළහ. අනතුරු එම ඉන්ධන තොගය නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලට ලබාදෙන්න යැයි පවසමින් පිරිස විරෝධතාවක නිරත වී තිබුණි. මෙහිදී කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවටද පත්වුණි.
මේ අතර යාපනයේ පුන්නලයිකඩ්ඩුවාන් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පෞද්ගලික බස් රථයකට යට වීම පිළිබඳ සිදුවීමක්ද වාර්තා විය. එම පුද්ගලයා ඉතා දීර්ඝ වේලාවක් පෝලිමේ රැඳී වෙහෙස වී පෝලිමේ එක් ස්ථානයක වාඩි වී සිට තිබේ. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පෞද්ගලික බස් රථයක් ඔහුගේ සිරුර මතින් ධාවනය වී ඇත්තේ එවිටය. මීට අමතරව තවත් සිදුවීම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර කලහකාරී සිදුවීම්ද ඒ අතර විය. ඒ අනුව දින තුනක සිට ඉන්ධන නොලැබීම හේතුවෙන් කෝපයට පත් බස් රථ රියැදුරන් පිරිසක්ද කොළඹ – මහනුවර මාර්ගය කඩවත පොලීසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හල අසලින් අවහිර කර තිබුණි.
මෙවන් සිදුවීම් අතරේ බැරල් සහ කෑන්වලට ඉන්ධන පිරවීමට නොහැකි බවට ඉන්ධනහල්වලට පනවා ඇති නීතියක් නිසා පාරිභෝගිකයින් රැසක් අසීරුවට පත්වූහ. රථ වාහන අතරමඟ නැවතී තිබියදී ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිස් මෙසේ අපහසුතාවට ලක්විය. කෙසේ වෙතත් රට තුළ උද්ගතව පවතින තත්ත්වය සහ කූඨ ව්‍යාපාරිකයන්ගේ කටයුතු හේතුවෙන් මෙම නීතිය පනවා ඇතැයි කියැවුණි. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අත්සන සහිත ලිපියක් තිබේ නම් පමණක් කෑන් සහ බැරල් වෙත ඉන්ධන පිරවිය හැකි බව ඇතැම් පිරවුම් හල් පාරිභෝගිකයන්ට දන්වා ඇත. කෙසේ වෙතත් මෙම නීතිය ප්‍රායෝගික නොවන බව බොහෝ පාරිභෝගිකයෝ පැවසූහ.
ඇතැම් ආයතන සිය සේවකයන් ප්‍රවාහනය කිරීම නවතාලීමටද ඉන්ධන හිඟය මත තීරණය කළේය. කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අප්‍රේල් 7 වැනිදා සිට නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේය. ඔවුන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැතිවීම හේතුවෙන් මේ පියවර ගත් බව කියැවුණි. කෙසේ වෙතත් ගුවන් තොටුපළ රේඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කළේය. එහෙත් ඉකුත් බ්‍රහස්පතින්දා වනවිටත් ඇණවුම් කළ ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන ලැබී නොලැබුණු බව ඔවුන් එහි උප සභාපතිවරයා පවසා තිබුණි.
තත්ත්වය එසේ වුවද ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉදිරි දින කිහිපයකට අවශ්‍ය ඩීසල් තොග තමන් සතුව පවතින බව ඉකුත් සතියේද පවසා තිබුණි. ගුවන් යානා ඉන්ධනද ප්‍රමාණවත් පරිදි පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය. එහෙත් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට රට තුළ කලක පටන් පවතින ඉන්ධන හිඟයට හේතුව අධික ඉල්ලුම සහ රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත නිසි වැඩපිළිවෙළක් යටතේ ඉන්ධන තොග බෙදා නොහැරීම බවයි. වෙනදාට මුතුරාජවෙලට පැමිණි ඩීසල් රුගත් නැවකින් රටට සතියකට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබාගත හැකිමුත් විදුලි අර්බුද සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුද හේතුවෙන් එම ප්‍රමාණය ඉතා කඩිනමින් අවසන් වන බව එම ආරංචි මාර්ග අනුව කියැවුණි.
මේ අතර තවත් ඩීසල් මෙට්‍රික් ටොන් තිස් දහසක් රුගෙන මෙරටට පැමිණි නෞකාවට ඩොලර් මිලියන පනස් දෙකක මුදලක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් එය දිවයිනට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති බව වාර්තා මාධ්‍ය වාර්තා කළේය. පවතින ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරභාවය මත මෙම නැව පිළිබඳ අවධානය සේම ඉන්ධන අර්බුදට හේතූ ඩොලර් හිඟයට විසඳුම් සෙවීමද මේ වනවිට අතපසු වෙමින් පවතියි. කෙසේ වෙතත් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉදිරියේදී ඉන්ධන ගැටලුව විසඳෙනු ඇතැයි මේ වනවිට බොහෝ දෙනෙක් අපේක්ෂා පළකරති. මැයි මාසය වනවිට ඉන්ධන අර්බුද මුලින්ම නිමාවනු ඇතැයි ඔවුහු කියා සිටිති.
■ චමිඳු නිසල් ද සිල්වා