ආණ්ඩුව පසුගිය සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බවට දැඩි ස්ථාවරයක සිටියේය. විදේශ ණය ගෙවීමට ඇති තරම් මුදල් තිබෙන බවද මෙතෙක් කිසිදු විදේශ ණය වාරිකයක් හිඟ නොතබා ගෙවා ඇති බවටද පම්පෝරි ගැසූ බව අපට මතකය. ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයන් සහ දේශපාලන හා ජාත්‍යන්තර විෂය පිළිබඳ ප්‍රබලයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම අත්‍යවශ්‍ය බවට බලපෑම් කළද රජය ඒ කිසිවක් තඹ සතයකට මායිම් කළේ නැත. ඇතැම් පැසුණු ඇමැතිවරුන් පවා අභියෝග කළේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් තමන් රජයෙන් ඉවත්වන බවටයි. එහෙත් වැඩිකලක් නොගොස් එම තත්ත්වය රජයට පාරා වළල්ලක් බවට පත්විය. රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර අන් සරණක් නොමැති බව මේ වනවිට පසක් වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ රජය නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන්නේ 2021 දෙසැම්බර් මස 7 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළදීය. එහෙත් මේ පිළිබඳ එතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ නැත. එයට හේතුව රජය මුලින් දැක්වූ ස්ථාවරයට මෙය පටහැනි වූ නිසා විය හැකිය. දෙසැම්බර් මස පැවැති සාකච්ඡාවලට එවකට මුදල් ඇමැති, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිද සහභාගි වී තිබේ. මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ වාර්තාව එළිදක්වා ඇත්තේ 2022 පෙබරවාරි 25 වැනිදාය. ඒ පැවැති සාකච්ඡා සමාප්ත වීමෙන් පසුවය. එහිදී රටේ ආර්ථික තත්ත්වය හා එයින් මිදිය හැකි ක්‍රමවේද පිළිබඳ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
රටේ නිර්මාණය වී ඇති අර්බුද රුසක් එහිදී ඔවුන් හඳුනාගෙන ඇත. ඩොලර් හිඟය ඉන් ප්‍රධානය. අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කර ගැනීමට ඩොලර් නොමැති වී ඇති අතර, ඒ හේතුවෙන් රටේ අස්ථාවරභාවයක් ගොඩනැගෙමින් පවතින බව ඔවුන් අනාවරණය කරගෙන ඇත. මෙම තත්ත්වය දිගටම පැවතීම නිසා රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත්විය හැකි අතර ඉන් ගැලවීමට ජාත්‍යන්තර මැදිහත්වීමක ඇති අවශ්‍යතාව පෙන්වා දී තිබේ. ප්‍රථමකොටම පවතින ඩොලර් අර්බුදය විසඳා ගැනීම, රජයේ අයවැය හිඟය පියවා ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම මෙන්ම ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමටද ඉක්මනින් මැදිහත් විය යුතු බවට අවධාරණය කර ඇත.
රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කළයුතු බවට අරමුදල තවත් නිර්දේශයක් කර තිබේ. ඒ සඳහා රටේ ආදායම් රුස්කර ගැනීමේ මූලාශ්‍ර හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම අවශ්‍ය බව පෙන්වා දෙයි. 2019 දී වර්තමාන රජය බලයට පත්වූ වහාම ආදායම් බදු හා වැට් බදු අඩුකර වසරකට රුපියල් බිලියන 500ක පමණ බදු ආදායමක් අහිමිකරගෙන ඇති අතර නොපමාව එම ආදායම ලබාගැනීමට පියවර ගත යුතු බවටද නිර්දේශ කර තිබේ. රටේ බදු ආදායම දේශීය නිෂ්පාදිතයට අනුව ප්‍රතිශතයක් ලෙස 8.9ක මට්ටමේ පැවතුනද රජයේ වියදම සියයට 27ක් තරම් ඉහළ යාම පිළිබඳ කනස්සල්ල පළකරමින් එම වියදම පියවා ගැනීමට විශාල ලෙස ණය ගැනීම නිසා අයහපත් තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවද පෙන්වා දෙයි. ආදායම් බදු වහාම වැඩිකළ යුතු අතර සියයට 14 තිබී 8 දක්වා අඩුකළ වැට් බදු අනුපාතිකය යළි පැවති තත්ත්වයට පත්කළ යුතු බවද පෙන්වා දෙයි.
රජයේ හිතවතුන්ට විශාල වශයෙන් දී තිබුණු බදු සහන වහාම නැවැත්විය යුතු අතර සීනි ආනයන බදු අඩුකර රුපියල් බිලියන 3ක පමණ වාසියක් සීනි ආනයනකරුවන්ට ලබාදීම ගැනද කනස්සල්ල පළකරයි.
කෙසේ වුවද පෙබරවාරි 25දා එළිදැක්වූ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හිතාමතා ප්‍රමාද කළ අතර එය මාර්තු මාසය අග දක්වා කල් ගියේය. විපක්ෂයෙන් හා එජාපයෙන් මේ පිළිබඳ විමසීම් ගණනාවක් කළද එහි ප්‍රතිඵලයක් නොවීය. මෙම වාර්තාව ප්‍රචාරය වීමෙන් පසු රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විවිධ විවේචන එල්ල වූ අතර අවසානයේදී මහ බැංකු අධිපතිවරයාටද තනතුරට සමුදීමට සිදුවිය. අනතුරුව මුදල් ඇමැතිවරයා, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අලුතෙන් පත්වූ අතර එහිදී මුලින්ම සිදුකළේ විදේශ ණය සේවාකරණය අත්හිටුවීමයි.
කෙසේවුවද නව මුදල් ඇමැතිවරයාට සහ නිලධාරීන්ට රටේ ආර්ථික ගැටලුවලට පිළියම් සොයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සිදුවූ අතර මේ සාකච්ඡා පසුගිය 19දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ වූ අතර 24දා දක්වා ඒවා පැවැත්වේ. මේ සාකච්ඡා වටය පිළිබඳ මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර එයින් කියැවෙන්නේ අරමුදල අපේ රටට උපරිම සහයෝගය ලබාදීමට ප්‍රතිඥා දී ඇති බවය. ලබාදෙන සහයෝගය ශක්තිමත් කිරීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු බවද කියයි. එසේම රටේ මූල්‍ය තත්ත්වය සමනය කිරීම සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මෙතෙක් ගෙන ඇති පියවරවල් පිළිබඳවද අරමුදල ප්‍රශංසා කළ බව නිවේදනයේ දැක්වේ.
මෙම සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා අරමුදලෙන් කඩිනම් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමටද යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. තවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවද පෙනී සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් විස්තීරණ අරමුදල් පහසුකම් කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ වී තිබේ. කෙසේ වුවද මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුම් කිහිපයක් ප්‍රකාශයට පත්කර නොමැති පසුබිමක මෙම සාකච්ඡාවලදී ඉන්දියාව අපේ රට වෙනුවෙන් පෙනී සිටීම පිටුපස තවදුරටත් හෙළි නොවූ ගිවිසුම් තිබේදැයි යන සැකය මතුවන අතර ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටින්නේ සද්භාවයෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක් වී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙම අර්බුදය මෙතරම් උග්‍රවීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලෙස රටේ විද්වතුන් රජයට උපදෙස් දුන්නද ඒ සියල්ල නොසලකා මුරණ්ඩු ලෙස කටයුතු කළ දේශපාලනඥයන්ට සහ ඇතැම් නිලධාරීන්ට අද වනවිට මූල්‍ය අරමුදල හමුවේ නතරවීමට සිදුවීම දෛවයේ සරදමක් බවයි.
&මූල්‍ය අරමුදලේ පාලනය ඇත්තේ යුරෝපය සතුවයි. එහිදී විවෘත ආර්ථිකයට නැඹුරුවක් තිබෙනවා. අරමුදලේ විසඳුම් විවෘත වෙළෙඳපොළ හා බද්ධ වූ ඒවායි. වෙළඳපොළ හා සම්බන්ධ වූ විට අරමුදල අපට විවිධ කොන්දේසි පනවන්නට ඇති ඉඩවැඩියි. දැනට දෙමින් පවතින නොයෙක් සහන වැඩසටහන් නැවැත්වීමට සිදුවෙනවා. රාජ්‍ය සේවය පුළුල් කිරීම, වැටුප් වැඩි කිරීම හා විශ්‍රාමිකයන්ට සහන සැලසීම අඩු කළ යුතුයි. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සහ දීමනා පිළිබඳ යළි සිතා බැලිය යුතු අවස්ථාවට පත්වේවි.
'එසේම අපේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීම සඳහා ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම හා පරිපාලනය වෙනස් කළ යුතු වෙනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සහ වියදම අවම කිරීමට උපදෙස් ලැබෙනවා ඇති. මෙහිදී ඍජු සහ වක්‍රබදුවල යම් යම් සංශෝධනවලට යා යුතුයි. එසේම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමටද උපදෙස් ලැබෙනවා ඇති.
ජාත්‍යන්තරව පිළිගත් හියුමන් රයිට් වොච් ආයතනය අප්‍රේල් 4දා අරමුදලට ලිපියක් යවමින් ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී පැනවිය යුතු කොන්දේසි පිළිබඳ යම් උපදෙස් මාලාවක් දී තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට යළි 29 වැනි සංශෝධනය බලාත්මක කිරීමක් පිළිබඳ එහි සඳහන් වෙනවා. පසුගිය සතියේදී ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට යෝජනා කර සිටියේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමා. එසේම 20 වැනි ව්‍යවස්ථාවෙන් බලතල කප්පාදු කළ විවිධ කොමිෂන් සභා යළිත් මුල් තත්ත්වයට බලගැන්විය යුතු බවද මෙම සංවිධානය අරමුදලට දන්වා තිබෙනවා.
අපගේ බලාපොරොත්තුව මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් පමණ ලබා ගැනීමයි. එම මුදල ලබාගැනීම සඳහා මූල්‍ය අරමුදල දෙන ඕනෑම කොන්දේසියක් ඉටුකිරීමට ආණ්ඩුව සූදානම් තත්ත්වයට අද පත්ව තිබෙනවා. මේ සාකච්ඡාව සඳහා බොහෝවිට මාස 6ක පමණ කාලයක් ගතවේවි. එහෙත් අද අප පත්ව ඇති තත්ත්වය අනුව කෙටි කාලයකින් යම් යම් සහන ලබාගත යුතු තැනට පත්ව තිබෙනවා. ඒ නිසා අරමුදලේ කොන්දේසිවලට තර්ක කිරීමකින් තොරව එකඟවීමට සිදුව තිබෙනවා. අරමුදල බලාපොරොත්තු වන දේවල් විශේෂයෙන් ඉන්ධන සහනය අඩුකිරීම, රාජ්‍ය වියදම් අවම කිරීමා, ව්‍යවස්ථා සංශෝධනය වැනි දේ දැනටමත් ආණ්ඩුව යොමුව ඇති බව පෙනෙනවා. අද අපේ රටේ පවතින තත්ත්වය අනුව අපට මාස හයක් වැනි දිගුකාලයක් බලා සිටිය නොහැකියි. ඒ නිසා බලාපොරොත්තු වන බිලියන 4න් යම් මුදලක් වහ වහා ලබාගත යුතු තැනට ආණ්ඩුව පත්ව තිබෙනවා.
යසවර්ධන රුද්රිගු