විධිමත් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවන තෙක් ශ්‍රී ලංකා රජය සහ සියලු රාජ්‍ය ආයතන ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් මහා භාණ්ඩාගාරය පසුගිය 12දා ප්‍රකාශයට පත් කළේය. මෙම විදේශ ණය ගෙවීම් අත්හිටුවීමේ තීරණය නිවේදනය කළ දා සවස 5.00 සිට රජයේ නොපියවූ සියලුම ණය සම්බන්ධයෙන් අදාළ වන බව එහි සඳහන් විය.
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලු විදේශ ණය පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමකට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ ණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ බවත්, ඒ අනුව මෙසේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි. මෙම ණය ගෙවීම් අත්හිටුවීමට ද්විපාර්ශ්වික ණය (රජයෙන් රජයට ගත් ණය) සහ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරද අදාළ වෙයි. එසේම විදේශ රාජ්‍ය ආයතන ඇතුළුව වාණිජ බැංකුවලින් හෝ ආයතනික ණය දෙන අයගෙන් ලබාගන්නා ලද සියලුම ණය සහ සියලුම රජයේ සහතික ණයද මෙයට ඇතුළත්ය.
මෙහිදී ණය වෙනුවෙන් ගෙවීමට නියමිත පොලිය ප්‍රාග්ධනයට එකතු කරනවා ඇත. මහා භාණ්ඩාගාරය පෙන්වා දෙන්නේ මෙම අප්‍රේල් මස 18 වැනිදාට ඩොලර් මිලියන 1250ක ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 70ක් ගෙවීමට තිබෙන බවය. කෙසේ වෙතත් එයට පෙර අප්‍රේල් 12 වැනිදා සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම් සියල්ල අත්හිටුවයි. මුදල් අමාත්‍යාංශ ලේකම් කියන්නේ මූල්‍ය අරමුදලට සහාය දැක්වෙන ආර්ථික ආධාර වැඩසටහනකට අනුකූල වන පරිදි ඉදිරියේදී ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවයි. මෙහිදී ණය ගෙවීමට වෙන්කරන විදේශ විනිමය රටේ අත්‍යාවශ්‍ය දේවල් ආනයනයට යොදාගන්නවා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ අපේ විදේශ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිව ගොස් ඇති බවය. මේ නිසා විදේශ ණය ගෙවීම් දිගටම සිදු කළහොත් අත්‍යාවශ්‍ය දේවල් ආනයනයට පවතින විදේශ විනිමය හිඟය අඩුකිරීමට අපහසු වන නිසා ඇති හොඳම විකල්පය වනුයේ මෙලෙස විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම බව හෙතෙම අවධාරණය කළේය. මෙම තීරණය නිසා දැනට දේශීය වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පවතින දැඩි විදේශ විනිමය හිඟය මගහරවාගෙන ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවද ඔහු කියයි.
කෙසේ වුවද රජය ගත් මෙම තීරණය නිසා තාවකාලිකව හෝ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි බව පෙනෙන්නට තිබේ. එහිදී රටේ හොඳ නමට කැළලක් ඇතිකර නොගෙන ජාත්‍යන්තරය පිළිගත හැකි විසඳුමකට එළඹීමේ වගකීම වර්තමාන රජයට පැවරී ඇත. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති ආර්ථික අර්බුදය පසුගිය වසර දෙක තුළ ඔඩුදුවමින් තිබී එක්වරම පිපිරී ගිය බවකි. තත්ත්වය කළමනාකරණය කිරීමට වත්මන් රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට බලවත් දේශපාලන අර්බුදයක් පැන නැගී තිබේ. මෙම තත්ත්වය රජයේ ආයුෂ පිළිබඳවද විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වී තිබේ.
අද පවතින විදේශ විනිමය අර්බුදයට මේ රජය පමණක් වගකිව යුතු නොවේ. එයට පෙර පැවති ආණ්ඩුද එක හා සමානව වගකිව යුතු බව මැදහත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වේ. ඒත් මෙම අර්බුදය මේ තත්ත්වය දක්වා වර්ධනය වීමට පවතින රජය ප්‍රධාන වශයෙන් වගකිව යුතු අතර, ඒ හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව ඇති පීඩනය සුළු කොට තැකිය හැකි නොවේ. මේ තත්ත්වය රජයට ඉල්ලා අස්වන තරමට ප්‍රබල වීම නිසා රජය තවදුරටත් රුකගැනීමට නම් ඉතා ඉක්මන් විසඳුමකට යා යුතුව තිබේ. එයට යම් තාවකාලික පියවරක් ලෙස අලුතෙන් පත්වූ මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ණය ගෙවීම අත්හිටුවීමට තීරණය කර ඇති බව පෙනේ.
දැනට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදුව ඇති ප්‍රමාදය නිසා නිරතුරුව පෝලිම්වල ගත කිරීමට ජනතාවට සිදුව ඇත. මෙලෙස පෝලිම් ඇතිව ඇත්තේ එම ද්‍රව්‍ය හිඟවීමෙනි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීම නිසා රට තුළ ඒවායේ මිල අසාධාරණ ලෙස ඉහළ යමින් පවතී. මෙම මිල ඉහළ යාම කොතරම් අස්වාභාවිකද කිවහොත් එම මිලට භාණ්ඩ ලබාගැනීමට පොදු ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මුදල් වැය කිරීමේ හැකියාව අවම වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව රජයට එරෙහිව වීදි බසින තත්ත්වයට පත්ව තිබේ. එය කොතෙක් කල් පවතීද? එසේම එහි අවසානය කොතනකින් නවතීද යන්න පිළිබඳ අනාවැකි පැවසීමට නොහැකි බවක් පැන නැගී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න: මෙසේ පවසයි
ණය ගෙවීම නැවැත්වීම නිසා ණය දුන් රටවලට මෙන්ම මුළු ලෝකයටම අපට ණය ගෙවන්නට හැකියාවක් නැහැ කියලා සනාථ වෙනවා. එය අපට අහිතකර විය හැකියි. වෙනත් රටවලින් සහන ලබාගන්න බැරි බවට පත්වෙනවා. මේ වනවිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාව කිහිප වරක්ම තම ශ්‍රේණිවලින් පහළ දමා තියෙනවා. ඒ නිසා රටේ ආර්ථික තත්ත්වය පහළටම බැස ඇති බව පිළිගන්නට සිදුව තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර ආයතනවල නිරීක්ෂණ වැරදි බවට අප තර්ක කළා මිසක ඒ වැරදි නිවැරදි කිරීමට කටයුතු කළේ නැහැ. විශේෂයෙන් මහ බැංකු හිටපු අධිපති ඒවා වැරදි බවට නිවේදන නිකුත් කළා. ජාත්‍යන්තර ආයතනවල නිරීක්ෂණ වැරදි බව කියන්නට ඔහුට සුදුසුකම් තිබේද? මේ වනවිට පැහැදිලිවෙලා තියෙනවා එම නිරීක්ෂණවල නිවැරදිභාවය.
ණය ගෙවාගැනීම් බැරි මට්ටමට පැමිණි විට තත්ත්වය උග්‍ර වෙනවා. අපට ඕනෑ තරම් සල්ලි තියෙනවායි කිව්වත් අන්තිමට අපට බැරි බව පිළිගන්න සිද්ධ වුණා. අද පවතින තත්ත්වය අනුව අවුරුදු පහකට ඩොලර් බිලියන 5 – 6 බැගින් දිගටම ගෙවන්න සිදුවෙලා. මෙලෙස වසරකට ඩොලර් මිලියන 6000ක් ගෙවීමට අපට ආදායම් තිබෙනවාද?
අපේ රටේ මුළු ආදායම වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 22 – 23 පමණ වෙනවා. කොවිඩ් උවදුරට කලින් මෙම ආදායම ප්‍රමාණවත් වූයේ වසරේ සමස්ත ආනයනවලට ගෙවන්න පමණයි. මෙයින් විදේශ ණය ගෙවිය නොහැකියි. බලාපොරොත්තු වූ විදේශ ආදායම් අඩු වුණා. ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩු වුණා. සංචාරක ව්‍යාපාරයේ ආදායම පහළ වැටුණා. මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට, ඉන්ධන, ගෑස්, ඖෂධ ආනයනය කිරීමට මුදල් නැතිවෙලා. පසුගිය සමයේ අපට ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමේ බංගලිදේශයෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් ණය අරගෙනයි. එක් ණයක් ගෙවන්න තවත් ණයක් ගන්න වුණා. මෙය රෝලක් විතරයි. සැලසුම්සහගත ස්ථිර විසඳුමක් නොවෙයි. තත්ත්වය උග්‍රවෙලා අද වනවිට ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා.
මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බවට දේශපාලනඥයන් සහ මහ බැංකුව ප්‍රකාශ කර තිබුණත් අන්තිමට එතැන නවතින්න සිදුවෙලා ඇත්තේ වෙනත් විකල්පයක් නැති නිසායි. ලොව ණය ගෙවීමට අපොහොසත් වූ බොහෝ රටවල් මූල්‍ය අරමුදලේ සහායෙන් යම් යම් සහන ලබාගෙන තියෙනවා. මූල්‍ය අරමුදල රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට යෝජනා කැඳවීමට කටයුතු කරනවා. එහිදී යම් සාධනීයත්වයක් තිබෙනවා නම් ඊළඟට ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ගෙවීම පිළිබඳ සහනයක් ලබාදීමට කටයුතු කරනවා. මූල්‍ය අරමුදල මේ පිළිබඳ ස්ථිර විශ්වාසයක් ණයහිමි රටවල්වලට ගොඩනගා ණය ගෙවීම යම් කාලයකට ප්‍රමාද කර ගැනීමට කටයුතු කරනවා. මෙය අදහස් කරන්නේ ණය ප්‍රතිව්‍ය්‍රහගත කිරීමක් ලෙසටයි. එසේම ගෙවන්නට තිබෙන ණය ප්‍රමාණය අඩුකර ගැනීමටද උත්සාහ කරනවා. ගෙවන්නට ඇති බිලියන 5 – 6 ණය මුදල ඇතැම්විට බිලියන 2 – 3ට බහින්නට හැකිවේවි.
කෙසේ වුවත් අපේ ආර්ථික තත්ත්වය යහපත් කර නොගෙන මූල්‍ය අරමුදලට ගියාය කියලා වැඩක් වෙන්නේ නැහැ. එහිදී සිදුවන්නේ විශ්වාසය පළුදු වීමක් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පූර්ණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. ණය ගෙවිය යුත්තේ අප මිස අරමුදල නොවෙයි. ඒ නිසා අප විදේශ විනිමය උපයා ගන්නා මාර්ග තනාගත යුතුයි. අපනයන වර්ධනය කරගත යුතුයි. ආයාත හැකි තරම් පාලනය කළ යුතු වෙනවා. එසේම විදේශ ඉපැයීම් වැඩිකර ගත යුතු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කර ගිවිසගත් කාලය අවසන් වනවිට අපේ ණය, වෙනත් ණය ගන්නේ නැතිව අපටම ගෙවීමට හැකි පරිසරයක් තනාගත යුතු වෙනවා. ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයි.
යසවර්ධන රුද්රිගූ