2022 අප්‍රේල් 24 වන ඉරිදා

ජන මනසට ගිනි තැබූ තෙල් මිල

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 76

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයේ ග්‍රහණයට දැන් ලක්ව ඇත. ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඩොලර් ලබා ගැනීමට වාණිජ බැංකුවලට නොහැකි වීමත්, ඒ සමඟ දිවයිනේ විදේශ සංචිත ඉතා පහළට වැටීමත් නිසා දැන් රට ඇත්තේ කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකය. ඒ සියල්ල අතර මතුව ඇති උග්‍ර තෙල් හිඟය හේතුවෙන් රටේ ආර්ථිකය උඩුයටිකුරු වී සමස්ත ජන ජීවිතය බරපතළ අර්බුදයකට ලක්ව හමාරය.

මේ අර්බුදය මැද කොරේ පිටට මරේ කීවාක් මෙන් ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳපොළෙන් තුනෙන් එකක් හිමි විශාලතම ඉන්ධන සිල්ලර සැපයුම්කරු වන ලංකා IOC විසින් ඉකුත් ඉරිදා නැවතත් පෙට්‍රල් මිල සියයට 20 කින් පමණ ඉහළ නංවන ලද අතර එය සති කිහිපයක් තුළ සිදුවූ දෙවැනි වැඩිවීම විය. මීට සති දෙකකට පෙරද එම සමාගම පෙට්‍රල් මිල සියයට 25කින් වැඩි කරන්නට යෙදුණි. ඒ සමඟ වත්මන් ඉන්ධන අර්බුදය තවත් බරපතළ අඩියකට ඇද වැටුණේ රජය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සිය සිල්ලර මිල ඉහළ දැමීමත් සමඟිනි. දැන් එහි මිල  ලංකා ඉන්දියන් තෙල් සමාගමේ (LIOC) ලීටරයක මිලට ගැලපේ.

මෙය මාසයක් ඇතුළත CPC විසින් සිදු කරන ලද දෙවැනි මිල ඉහළ නැංවීම වන අතර LIOCහි මිල ඉහළ නැංවීම මාස හයක් තුළ සිදුකළ පස්වැනි මිල ඉහළ දැමීම විය. මෙම මාසයේදී එක්සත් ජනපද ඩොලරයට සහ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය සියයට 30 කින් අවප්‍රමාණය වීම මෙලෙස නැවත තෙල් වැඩිවීමට හේතු වූ බව සමාගම පවසයි.

මේ අතර ලංකාවේ ඉන්ධන නිසා මරණ කිහිපයක්ද සිදුවිය. ඒ සමහරක් ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියදීය. අනෙක ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීමට එරෙහිව හටගත් උද්ඝෝෂණයට වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමඟිනි. ලංකාව තුළ මූල්‍ය පරිපාලන ගැටලු, දූෂණ, අක්‍රමිකතා සමඟ තෙල් අර්බුදයද ඇරඹෙන්නේ 2019 අග  COVID-19 වසංගතය මෝදු වීමත් සමඟිනි. ඒ බලපෑම  ඇති වනවිටද  ශ්‍රී ලංකාව සිටියේ ගැඹුරු ආර්ථික අර්බුදයකය. විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩුවීම සහ ආර්ථිකයට ඩොලර් උනන ප්‍රධාන ලාභදායී මූලාශ්‍රයක් වන සංචාරක ක්ෂේත්‍රය අඩපණවීම හේතුවෙනි.

ඒ අතර විදේශ මුදල් ඉතිරි කර ගැනීම සඳහා රජය 2020 මාර්තු මාසයේදී පුළුල් ආනයන තහනමක් පැනවීය. බැංකු පොලී අඩුකරන්නට කටයුතු කළේය. මේ හේතුනිසා විදේශ මුදල් ගලා ඒම අවහිර වීමත් සමඟ රටේ ණය ප්‍රමාණයද නොනැවතී ඉහළ යමින් තිබුණි. 2021 අවසන්ව 2022 ඇරඹෙන විට මේ තත්ත්වය ඉතා බරපතළ අඩියකට පත්ව තිබුණි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය වසරේ අග භාගයේ සිට දිවයින පහත හෙලා තිබුණි. මේ රට ලබාගත් ඩොලර් බිලියන 51ක ස්වෛරී ණය ගෙවීමට නොහැකි වනු ඇතැයි යන බිය මතය. මුදල් උපයන්නේ නැති යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව දඟලමින් සිටි අතර මේ වසරේ ඩොලර් බිලියන 7ක විදේශ ණය බැඳීම් මත ඩොලර් බිලියන 1ක ආපසු ගෙවීමක් ජූලි මාසය වනවිට ගෙවීමට නියමිතය. රට තුළ ඇති ඩොලර් සොච්චම තෙල් අහාර සහ ඖෂධ ගෙන්වීමට වෙන්කිරීමට හෝ ණය සහ පොලී ගෙවීමට වෙන්කිරීමට සිදුව ඇත. බඩගින්නේ ණය ගෙවනවාද බඩ පුරවා ණය වෙනවාද යන අර්බුද තත්ත්වයකට රට පත්ව තිබේ.

මෙවන් පඹගාලක රට පැටලී සිටියදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ගෝලීය බොරතෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන සැලසුම් මුළුමණින්ම කඩාකප්පල් වීය. ඉන්ධන පොම්ප සිඳී යාමත් සමහර ස්ථානවල ඉන්ධන සැඟවූ බවට චෝදනා මතුව ඒමත් මැද රට තුළ ඉන්ධන මුල්කර ගත් මහා අරගලයකට මඟපෑදිනි.

ලංකාවට බලපා ඇති මේ ඉන්ධන අර්බුදය මෙරටට අනන්‍ය හුදෙකලා තත්ත්වයක් නොව පසුගිය වසර කීහිපය පුරාම වර්ධනය වෙමින් ආ ගෝලීය අලකලංචියක දිගුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ නිෂ්පාදන, අලෙවි සහ ප්‍රවාහන බාධක මෙන්ම   තෙල් නිපදවන රටවල් අතර ඇතිවූ දේශපාලනික කලකෝලාහල මුලින් මේ අර්බුදයට මංපෑදීය. 2019-2020 දී COVID-19 වසංගතය ආරම්භ වීමෙන් පසුව, නව සාමාන්‍ය යටතේ  පවා OPEC රටවල් තෙල් ඉල්ලුම නැවත යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රතිචාර දැක්වූයේ සෙමිනි. 

2020 දී රුසියාව - සහ - සෞදි අරාබියේ  අතර තෙල් මිල සඳහා වූ ආරවුල නිසා ඇති වූ අලකලංචිය බලශක්ති ඉල්ලුමේ සීඝ්‍ර පහත වැටීමක් සහ ඊට අනුරෑප තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක් ඇති කළේය. ඒ සමඟම  2021-2022 ගෝලීය සැපයුම් දාම අවහිරවීමේ අර්බුදය හේතුවෙන් නිස්සාරණය කරන ලද ඛනිජ තෙල් බෙදාහැරීම  අඩපණ වූ අතර සැපයුම් සහ ඉල්ලුම අතර අසමතුලිතතාවයක් හට ගැන්වීය. මේ අර්බුද මැද රුසියාව යුක්‍රේන ආක්‍රමණය කිරීම, ලෝක තෙල් මිල පමණක් නොව සමස්ත ලෝක ආර්ථිකයම උඩුයටිකුරු කිරීමට සමත්විය.

එක්සත් ජනපදයට සහ සෞදි අරාබියට පසුව රුසියාව ලොව තුන්වැනි විශාලතම තෙල් නිෂ්පාදකයාය. ඒ අතරම වැදගත් කරුණ නම් රුසියාව ලෝකයේ විශාලතම තෙල් හා ආශ්‍රිත  නිෂ්පාදන  අපනයනකරු වීමය. යුරෝපය  ප්‍රධාන ලෙස  යැපුනේ මේ අපනයන මතය.  2022 ජනවාරි මාසයේදී රුසියාවේ මුළු තෙල්  නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 11.3ක් වූ අතර එයින් බිලියන 8ක් පමණ ම අපනයනය සඳහාම විය. නමුත් මේ තෙල් තොග සෙසු ලෝකයට නිසිලෙස ලැබීමට බාධා මාර්තු වනවිට මතුවිය. ඒ යුද්ධය හේතුවෙන් රුසියාව මත පැනැවු සම්බාධක සමඟ රුසියාවේ අපනයන හැකියාව  පහත වැටීම නිසාය. ‘දශක ගණනාවකට පසු විශාලතම සැපයුම් අර්බුදය’ට තෙල් වෙළඳපොළ මුහුණ පෑවේය. සම්බාධක සහ ගැනුම්කරුවන් අපනයනවලින් වැළකී සිටීම නිසා දිනකට රුසියානු තෙල් බැරල් මිලියන තුනක් අවදානමට ලක්වන තත්ත්වයක් උදාවිය. ලෝකයේ ඉතිරිව ඇති සෙසු තෙල් තොග සොච්චම  සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මිලද අහස උසට යන්නට විය.
එක් අතකින් කඩා වැටුණු ආර්ථිකයන් ඇති අප බඳු රටවල මිලදි ගැනීමේ හැකියාව සීඝ්‍ර ලෙස පහළ වැටෙද්දී සහ අනෙක් අතට නිපදවූ තෙල් නිසිලෙස බෙදාහැරීමට නොහැකි  තත්ත්වයක් මතුවීමත් සමඟ තෙල් හිඟයක් මතුව ආ අතර මේ සමස්ත බලපෑම අධික මිල වැඩිවීමක් කරා මං පෑදීය. ලංකාවටද ඒ ලෝක අර්බුදයෙන් මිදිය නොහැකි විය.

 සුගත් පී. කුලතුංගආරච්චි