2022 අප්‍රේල් 24 වන ඉරිදා

අලුත් කැබිනට්ටුවේ අලුත් හැඩතල

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 87

ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යවස්ථාදායකය තුළින් තෝරාගනු ලබන විධායකය සතු බලතල භුක්ති විඳින්නෝ කැබිනට් අමාත්‍යවරුය. රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ ඉහළින්ම රැඳී සිටින්නෝ ඔවුහුය. රාජ්‍යයේ යහපතට සේම අයහපතටද වගකිවයුත්තෝ ඔවුන්‍මය. ඉකුත්දා මෙරට ඉතිහාසයේ පෙර කිසිදිනක නොදුටු වෙනස්ම හැඩයක කැබිනට් අමාත්‍යවරු පිරිසක් පත්වීම් ලැබූහ. මෙම පූර්විකාව එම කැබිනට්ටුව පිළිබඳ විමසීම වෙනුවෙනි.

ශ්‍රී ලාංකීක දේශපාලන භාවිතයට අනුව කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වීම් ලබන්නේ ආණ්ඩුවක ඉහළ දේශපාලන පරිචයක් සහිත පාලක පක්ෂයේ ප්‍රබලයන්ය. එහෙත් වර්තමාන ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ ඉතිහාසයේ පළමුවරට එය වෙනස් විය. ආණ්ඩුවේ දෙවැනි පෙළ මන්ත්‍රී කණ්ඩායමකට මෙවර කැබිනට් අමාත්‍ය ධූර හිමි විය. ඉකුත් අප්‍රේල් 18 වැනිදා දහහත් දෙනකුගෙන් යුත් පිරිසක් දිවුරුම් දුන්හ. කෙසේ වෙතත් මෙය ව්‍යවස්ථානුකූලව නව කැබිනට්ටුක් ලෙස හැඳින්වීමේ ගැටලුවක් පවතියි. එම නිසාවෙන් මෙය කැබිනට් සංශෝධනයක් ලෙස හැඳින්වීම සුදුසුය.

නව කැබිනට්ටුවක් පත්වීමට නම් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සියලු කැබිනට් අමාත්‍යවරු නව පවත්වීම් ලැබිය යුතුවේ. කෙසේ වෙතත් මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරෑ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ. නව අමාත්‍යවරුන් දහදෙනා පත්වීම් ලැබුවේ ඔවුනට අමතරවයි. එසේම එම දාහත්දෙනා අතරින් පස් දෙනෙක්ද කැබිනට් අමාත්‍ය ධූර දැරුවෝ වෙති.
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
රමේෂ් පතිරණ – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක, සංචාරක
දිලුම් අමුණුගම – ප්‍රවාහන, කර්මාන්ත යන මහත්වරු එම පිරිසයි.

මෙම පිරිසට අමතරව පළමු වතාවට කැබිනට් පත්වීම් ලැබූවෝ දොළොස් දෙනෙක් වෙති. මෙම කැබිනට් සංශෝධනය සැබෑ සුවිශේෂී බව ඇත්තේ එම පත්වීම තුළය. එහෙත් වර්තමාන අර්බුදයට විසඳුම් සෙවීමට නම් එම පිරිස මතවාදීව පොහොසත් විය යුතු වේ. එසේම මේ මොහොතේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමට නම් ඔවුන් තවදුරටත් සිය දේශපාලන පක්ෂපාතීත්වය සිය කඳවුරු තුළ ගොනු නොකළ යුතුය. මහජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස පත්වීම් ලද බැවින් ඔවුන් මහජන හඬට සංවේදී විය යුතුමය.

යථාර්ථය එය මුත් පහත නම් සඳහන් මෙම පිරිසගේ දේශපාලන භාවිතයන් පිළිබඳ මේ වනතුරුත් මහජනතාව අනුමත කර ඇත්දැයි මතුවන්නේ ගැටලුවකි.

කණක හේරත් – මහාමාර්ග
විදුර වික්‍රමනායක – කම්කරු
ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
ෂෙහාන් සේමසිංහ – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ජල සම්පාදන
විමලවීර දිසානායක – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
කංචන විජේසේකර – බලශක්ති, විදුලිබල
තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
චන්න ජයසුමන – සෞඛ්‍ය
නසීර් අහමඩ් – පරිසර
ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් – වරාය හා නාවික

ඉහත පිරිස අතරින් නාලක ගොඩහේවා, චන්න ජයසුමන, නසීර් අහමඩ්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවෝ වෙති. මෙරට දේශපාලන භාවිතයට අනුව පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට යමකුට අවස්ථාවක සැලසෙන්නේ ඉත කලාතුරකිනි. එබැවින් මෙය විශේෂ තත්ත්වයක් ලෙස ඉස්මතු කොට දැක්විය හැකිය.

නව කැබිනට් සංශෝධනයේ අමාත්‍යධූර අමාත්‍ය ධුර පිරිනැමීමෙන් විද්‍යාත්මක පදනමක් ඇත්ද යන්න පිළිබඳ තවත් පසෙකින් වූ ප්‍රශ්න ගත වී තිබේ. එසේම මෙම කැබිනට් අමාත්‍යධූර පිරිනැමීම අමාත්‍යධූර බලාපොරොත්තුවෙන් සිටි පිරිසකගේ අපේක්ෂා බිඳ වැටී ඇති බවද දේශපාලන කරළියේ ආරංචි ඔස්සේ අසන්නට ලැබේ. එසේ හෙයින් මෙය හරහා ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපිත වේද යන්න පිළිබඳවද ගැටලුවක් මතුව ඇත.

මෙම නව කැබිනට් සංශෝධනය තුළ රාජපක්ෂවරුන් නොවීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන රාජපක්ෂවරුන් මේ වනවිට පාර්ලිමේන්තුය මන්ත්‍රීවරු ධුරය පමණ දරන්නන් බවට පත්ව සිටිති. එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ වැනි පොදුජන පෙරමුණේ ප්‍රබල චරිත ආණ්ඩුකරණය තුළ නිෂ්ක්‍රීය වී සිටිති. මහජන විරෝධතා කළමනාකරණය කරගැනීමට එය යම් රුකුලක් බව පැහැදිලිය.

තත්ත්වය එසේ වුවද අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් කැබිනට් මණ්ඩලයක් පිළිබඳ ප්‍රබල අදහසේ අරගලකරුවන් ගිලී සිටින බව මෙහිලා සඳහන් කළ යුතුවේ. මෙම කැබිනට් සංශෝධනය සිය අරගලයේ ජයග්‍රහණයක් ලෙස ගෝල්ෆේස් අරගලකරුවන් මේ වනවිටත් ප්‍රකාශ කොට තිබේ. එහෙත් එයින් ඔවුන් තෘප්තිමත් වන බවක් පෙනෙන්නට නැත.

මෙම සියලු සාකච්ඡාවන් පසෙක තැබූ කළ වර්තමාන අර්බුදය විසඳීම නම් භාරදූර අභියෝගය මේ මොහොතේ විධායකයේ නියෝජිතයන් වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් හමුවේ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වීමට නම් මෙන්ම කැබිනට්ටුව කාර්යශූරව කටයුතු කිරීමට සූදානම් විය යුතුය. අන්තර්වාර පාලනය හෝ වෙනත් දේශපාලන විසඳුමක් අපහට ලැබෙන තුරු සැබෑ ලෙසම මෙම පිරිස වගකීම් සහගත වියයුතු වේ. පක්ෂ දේශපාලනය කවරක් වෙතත් ඉදිරි මාස කිහිපය තුළ රට අරාජික නොවී පවත්වාගෙන යාමේ වගකීම නව මුහුණු සහිත මෙම කැබිනට්ටුව භාරගත යුතුමය.

චමිඳු නිසල් ද සිල්වා