2022 අප්‍රේල් 24 වන ඉරිදා

ජනපති ඉවත් කළ හැකි දෝෂාභියෝගය!

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 397

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය දරන්නා රටේ බහුතර ජනතාවට හෝ පාර්ලිමේන්තුව නොවන වෙනත් පාර්ශ්වවලට ජනාධිපති ධූරයෙන් නෙරපා හරිනු උදෙසා ප්‍රවේශ විය හැකි නෛතිකමය ප්‍රවේශයෙක් දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබේද? ජනාධිපතිවරයා කේන්ද්‍රගත වූ අධිකාරිමය බලයක් සහිත රාජ්‍ය පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සැලසී ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද? ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්ගෙන් අපි ඒ පිළිබඳව විමසීමක් කළෙමු.

බලතල බෙදීමේ න්‍යාය පාදකව පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය සහ ආයතන ත්‍රිත්වය පිළිබඳව සඳහන් කිරීමේදී දේශපාලන චින්තකයකු වූ චාල්ස් මොන්ටෙස්ක්‍යුට අනුව මෙම ආයතන ත්‍රිත්වය වෙන් වෙන් වශයෙන් ස්වාධීන අනන්‍යතාවයක් සහිතව පැවතිය යුතුය. එමෙන්ම එම ආයතන අතර අන්‍යෝන්‍ය පාලනයක්ද තිබිය යුතු අතර එය අත්‍යවශ්‍ය වන්නේ නොඑසේ නම් එම ආයතනවලට ඒකාධිපති ස්වරෑපයකින් හැසිරෙන්නට පසුබිම නිතැතින්ම නිර්මාණය වන හෙයිනි. සැබැවින්ම රටට අවශ්‍යම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු තුලනයක් සහ සංවරණ සහිත රාජ්‍යයක පදනම උදෙසා ඉවහල් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පදවිප්‍රාප්තිය ලබන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයෙකි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ජනතාවට ලැබෙන එම මහඟු වරම ජනතා පරමාධිපත්‍යයයි. නොඑසේ නම් ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතා පරමාධිපත්‍යය අනුවය. එසේම පාර්ලිමේන්තුව තේරීපත් වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය අනුවය. මෙම කරැණු ද්විත්වයේම තේරීම තීරණය වන්නේ ජනතා පරමාධිපත්‍යය කරණ කොටගෙනය. තවද අධිකරණයද ජනතා පරමාධිපත්‍යය තුළ කේන්ද්‍රගත විය යුතුය.

ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කරනු ලබන්නේ වසර පහකටය. මිලියන 22ක් පමණ වූ මෙරට සමස්ත ජනගහණය 51% ක ඉක්මවූ ජනවරමක් ලබමින් එනම් ඡන්ද හැටනම ලක්ෂයක ජන වරමින් අද්‍යතන ජනාධිපතිවරයා තේරීපත් වූයේද ඉහත සඳහන් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති සහ කොන්දේසි ප්‍රකාරව වන බැවින් එම ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සරල හෝ පහසු කටයුත්තක් නොවේ. සැබැවින්ම එය දුෂ්කර සහ සංකීර්ණ කර්තව්‍යයකි. එම දුෂ්කර සහ සංකීර්ණ කර්තව්‍යය සඳහා ප්‍රවේශවීමේ බලතල සහිත මාර්ගයක් ඇත්තේ පාර්ලිමේන්තුවට පමණි. මක් නිසාද යත් එහි නියෝජනය සැකසී ඇත්තේද ජනතා පරමාධිපත්‍ය කරණ කොටගෙන වන හෙයිනි. තුනෙන් දෙකක බලයක් දැන් ආණ්ඩුවට නොමැති වුවත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා ඉවත් කිරීමට නම් පවත්නා බලය තුනෙන් එකක් බවට පත්කළ යුතුය. එසේ නොමැතිව බහුතරය ආණ්ඩුව සතු පසුබිමකදී ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් වෙත ප්‍රවේශවීමට පාර්ලිමේන්තුවටද නොහැකිය.

උපකල්පනයක් ලෙස බලයේ සිටින ජනාධිපතිවරයෙක් උන්මත්තක ස්වභාවයට පත් වී යැයි සිතමු. එසේ වුවත් පවතින ව්‍යවස්ථාවට අනුව එවැනි තත්ත්වයකදීවත් ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ කිසිදු නෛතික ප්‍රතිපාදනයක් සම්පාදනය වී නැත. ශ්‍රී ලාංකීක ජනරජය ප්‍රකාරව ස්ථාපිතව ඇත්තේ එතරම් බලසම්පන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. යම් අවස්ථාවක බලයේ සිටිනා ජනාධිපතිවරයා මරණයට පත් වී යැයි සිතමු. එවන් අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත හිමි කෙනා එම ජනාධිපතිවරයා සතු ජනපති ධුරයේ ඉතුරැ ධුර කාලය තුළ කටයුතු කිරීමේ බලය ඇතුව ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දෙනු ලැබේ. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ එවැනි එක් අවස්ථාවක් උදාවූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මියයාමෙන් පසු එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරෑ ඩී.බී. විජේතුංග ජනාධිපති ලෙස පත්වූ අවස්ථාවයි. ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අත්‍යන්තයෙන්ම බහුතර බලය හිමිවන්නේ අගමැතිවරයාටය. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය එසේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නැති අවස්ථාවක අගමැති ධුරය පිරිනැමීම සහ නීතිය හමුවට යාමෙන් පසු එය අහෝසි වීමේ අවස්ථාවක් සනිටුහන් වූයේ පසුගිය යහපාලන රාජ්‍ය සමයේදීය. ඒ එවකට ජනාධිපති ධුරය දැරෑ මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ වෙත අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවත් බහුතර බලය හිමිවී තිබුණේ එ.ජා. පක්ෂනායක රනිල් වික්‍රමසිංහටය. එහෙයින්, මහින්ද රාජපක්ෂට පිරිනැමූ අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කර නැවතත් එම ධුරය රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රදානය කරන්නට සිදුවිය.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ආවත් එය ජයග්‍රහණය කිරීමට නම් තුනෙන් දෙකක බලයක් ඔවුන් විසින් අත්පත් කර ගත යුතුය. ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය රුකගන්නට නම් බහුතරය රැකගත යුතු අතර අගමැතිට අගමැති ධුරය රුක ගැනීමට නම් එම බහුතර බලයෙන් බාගයක් පමණ අවශ්‍ය වේ. අගමැතිවරයා අගමැති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම තරම් අසීරැ නොවුණොත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේද ජනාධිපතිවරයා බව සිහිගැන්විය යුතුය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය වශයෙන් කටයුතු කරද්දී එම ආණ්ඩුවේ අගමැතිවරයා වූයේ බහුතරය හිමිවූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහටය. යහපාලන ආණ්ඩුව පවතිද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරද්දී අග්‍රාමාත්‍ය ධුරය දැරැවේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහය. ආණ්ඩුවේ ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයත් අගමැතිවරයා විපක්ෂයත් නියෝජනය කළේ එම අවස්ථා ද්විත්වයේදීම බහුතරය හිමි යන කොන්දේසිය ප්‍රකාරවය.

එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කිරීමේ පදනම මගේ මතකයේ හැටියට නම් දෙදෙනා අතර ඇතැම් අවස්ථාවලදී සන්නිවේදන බාධා උද්ගත වීමටද හේතුවක් වූ අතර පාස්කු ප්‍රහාරය සිදුවීමටද එම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අන්න්‍යෝන්‍ය සන්නිවේදනයේ පැවැති දුර්වලතාවද එක් ප්‍රබල හේතුවක් විය.

යම් හෙයකින් දෝෂාභියෝගයක් ගෙනාවත් ඒ ඔස්සේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට අවම වශයෙන් මාස දෙකහමාරක්වත් ගතවිය හැකිය. එහිදී පාර්ලිමේන්තු බහුතරයෙන් 2/3කට වඩා සංඛ්‍යාවක් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ යුතුය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔහුට එරෙහිව පවත්නා චෝදනා විභාග කර පාර්ලිමේන්තුව මගින් නැවත සම්මත කළ යුතුය. මෙම අවස්ථාවේදී යෝග්‍ය වන්නේ අන්තර්වාර ආණ්ඩුවක් ගෙන ඒම සහ 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමය. 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා අධිකරණ සේවා පත්වීම් ස්වාධීනව සිදුකිරීමට අවකාශ සැලසේ. ජනාධිපතිවරයා සතු විධායක අධික බලතල ලිහිල් වීම, ජනාධිපතිවරයා මත කේන්ද්‍ර වූ බලය පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණ යන අංශ කෙරෙහි විහිදුවාලීම වැනි සාධනීය ලක්ෂණ 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම ඔස්සේ ලද හැකිය.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් කරා යොමුවිය යුතු අතර එහෙත් අද්‍යතනය වනවිට රටේ පවත්නා දැඩි මූල්‍ය අර්බුදය සහ කඩදාසි හිඟකම වැනි අර්බුදකාරී පසුබිම මධ්‍යයේ ජනමත විචාරණයක් කරා යොමුවීම ප්‍රායෝගිකව දුෂ්කරය.

■   සංජීවිකා සමරතුංග

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05