2022 අප්‍රේල් 24 වන ඉරිදා

ඉන්දීය ආධාර සමඟ ඉදිරි ගමන

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 95

අර්බුදයක සිටින ශ්‍රී ලංකාවේ සහායට මිතුරු රටවල් ඉදිරිපත්ව සිටී. ඉන්දියාව, බංගලාදේශය, චීනය හා ජපානය එයින් ප්‍රමුඛය. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවලද අවධානය යොමු වී තිබේ. වාණිජ ණය පියැවීම ප්‍රමාද කිරීම ඇතුළු සංකීර්ණ පියවර සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වෙනුවෙන්ද තවත් යෝජනා ඉදිරිපත්ව ඇත. 

ඉන්දීය රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ හදිසි ආර්ථික අර්බුදය වාසිදායක තැනකට ගෙන යන බව පෙනේ. අසල්වැසි, ආසියානු කලාපයේ බලවත් රටක් වශයෙන් ඉන්දියාව මුල සිටම ‘නේබර් ෆස්ට්’ ප්‍රවණතාවයක සිටි අතර එය මෙම තීරණාත්මක මොහොත තුළ අතිශය සංවේදී ක්‍රියාපටිපාටියකය. දෙරට අතර සාකච්ඡාවලදී කුලුනු හතරකින් යුතු සහයෝගීතාවයක් යෝජනා කළ ඉන්දියාව පසුව එය තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඇති බව පෙනේ. ණය, ආධාර හා තවත් සහාය කෙසේ වෙතත් ස්වෝත්සාහයෙන් නැගී සිටින, විසඳුම තමන්න අනන්‍ය කරගන්නා තැනට ශ්‍රී ලංකාව උත්සුක විය යුතුය.

• මූල්‍ය අරමුදල ඉදිරියේ ලංකාව වෙනුවෙන් පෙනී සිටීම

ඉන්දීය මුදල් අමාත්‍යවරිය නිර්මලා සීතාරාම් මහත්මිය ඇතුළු පිරිසක් වොෂින්ටන් නගරයට ගොස් සිටින අතර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරය නියෝජනය කරති. එහිදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිසද මුණගැසී ඇති අතර දැනට පවතින තත්ත්වය සහ ඉන්දීය නැඹුරුව ගැන වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. අවස්ථා දෙකක දී දෙරට අතර පැවැති සාකච්ඡා අවසානයේ දී ශ්‍රී ලංකාවට සහාය දෙන පිළිවෙතකට ඉන්දියාව පැමිණි අතර පසුව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉකුත් අප්‍රේල් 13 වැනිදා ඉන්දීය මුදල් ඇමැතිනිය නැවත මුණගැසී ඇය මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා අතරතුර ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර අරඹා ඇති ණය සංචිත ලබා ගැනීමේ අදහසට උපකාර කරන සේ ඉල්ලා තිබිණ. එම ඉල්ලීම අනුව ඉන්දීය රජය කෙලින්ම මූල්‍ය අරමුදල වෙත කරුණු දක්වා ඇති බව වොෂින්ටන් නගරයෙන් ලැබෙන තොරතුරු අනාවරණය කරයි. 

ඉන්දීය නියෝජිත පිරිස මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියා හමුවේ සාකච්ඡා කරන අවස්ථාවේ ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සහාය ලබාදී ඇති ණය සහන යෝජනා දෙක ගැන කරුණු දක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එමගින් ආහාර, ඖෂධ සහ ඉන්ධන සපයන බව පෙන්වා දී තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාව පැත්තේ සිටින අතර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ප්‍රතිසංස්කරණ යෝජනාවකට ඇතුළුවීම සුදුසු බව අඟවා ඇත. එය ශ්‍රී ලංකාව පැත්තෙන් සලකා බලන විට මෙම මොහොතේ ඉතාම වැදගත් සඳහනකි. 

• අලුත් කැබිනට් මණ්ඩලයක් සමඟ තීරණ

ආර්ථික අර්බුදය සමඟ මතුවූ වාතාවරණය දේශපාලන පැත්ත දක්වා විහිදී ඇති අතර කැබිනට් මණ්ඩලය ඉවත්කර අලුත් පිරිසක් පත් කරගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබුණි. එයට කලින් ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවා ගත නොහැකි බව කියා සිටි අතර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීය. එය රටවල් හා සංවිධාන වලින් ලබාගත් ණයවලට හා බැඳුම්කරවල ආයෝජනය කළ පිරිස් වලටද ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ඇති වී තිබෙන එම අපහසුතාව ඉදිරියේ පවා ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම මූල්‍ය අරමුදලේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ශක්තියක් බව දැක්විය යුතුය. පොලී අනුපාත වැඩි කිරීම, ණය අත්හිටුවන අතර ඒවා නිරාකරණය සඳහා ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයක් කැඳවීමට තීරණය කිරීම වැනි ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති තීරණ සඳහා මූල්‍ය අරමුදල ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන්දියාවේ අනුකූලතාව තවත් වාසිදායක වාතාවරණයක් ඇති කරන බව පෙනේ.

ඉන්දීය බලධාරීන් අතර පැවැති සාකච්ඡා වටවලදී කුලුනු හතරකින් යුතු සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වූ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම එහි මූලික අංගයයි. ඉන්ධන ආනයන වියදම් ආවරණය කිරීම සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 500 සහ ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීම ඇතුළත් බලශක්ති ආරක්ෂණ පැකේජයක් දෙවැනි කුලුන වශයෙන් ගැනේ. ගෙවුම් ශේෂ ගැටලු විසැඳීමට ශ්‍රී ලංකාවට සහය වීම සඳහා වූ විනිමය හුවමාරුවක් සහ ආර්ථීක වර්ධනය හා රුකියා උත්පාදනයට දායක වන පරිදි විවිධ ක්ෂේත්‍රවල ඉන්දියානු ආයෝජන සඳහා පහසුකම් සැලසීම තුන්වැනි හා හතරවැනි කුලුනු බව දැක්වේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිලාශ සාක්ෂාත් කර ගැනීමට සහය වන අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ රාමුවක් තුළ කටයුතු කිරීමට මෙකී පැති හතරකින් යුතු සහයෝගීතාව පදනම් වනු ඇතැයි සැලකේ.  

• අර්බුදය පැතිරෙන පසුබිම ඉදිරියේ තවත් සහාය

ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල වසර තුනකට පසු වාරික වශයෙන් ගෙවිය යුතු බවට එකඟ වූ අතර ඉන්ධන මිල දී ගැනීම සඳහා ලබාදුන් චක්‍රීය ණය මුදල අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකිය. මුලින් ගත් පහසුකම ගෙවන අතර දෙවැනුව යළිත් එහි වටිනාකම භාවිතා කළ හැක. කෙසේ වෙතත් මෙනම ඉන්ධන මිල දී ගැනීමේ ණය ක්‍රමය ගැන සාකච්ඡා කරන අවස්ථාව වනවිට ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 60ක් වූ අතර සාකච්ඡා අවසන්වන විට ඩොලර් 106 තෙක් නැග තිබුණි. එම පදනම සලකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අනුව මෙම චක්‍රීය ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩි කරන්නට පාර්ශ්ව දෙක එකඟ වී ඇත. සහයෝගීතාවයේ සඳහන් කරුණක් අනුව ණය ගෙවා දැමීමට සහාය වන ඉන්දීය රජය එවකට ආසියානු ක්ලියරින් ඒජන්සිය වෙත ගෙවන්නට තිබුණ ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදල සඳහා මාස දෙකක සහන කාලයක් ප්‍රකාශයට පත්කරන ලද අතර එය ඉන්දීය රජයේ ණයක් බවට හැරවීමේ සාකච්ඡා දැන් සිදු කෙරෙමින් පවතී. කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු මෙම අවස්ථා සාර්ථක කරගන්නට වැර වෑයම් දරන බව මෙහ දී සඳහන් කළ යුතු කරුණකි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් මහතා කොළඹට පැමිණ බිම්ස්ටේක් සමුළුවට සහභාගී වූ අතර එහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් අතිකාල සේවයෙහි යෙදෙන බවය. 
ජනතාව මුහුණ පා සිටින ගැටලු දෙස බලන විට ඉන්දියාවෙන් ලැබුණ සහන විශාල වාසියකි. එහෙත් ඉන්දියාවට නැඹුරු වීමට හේතු වූ පසුබිම අමතක කළ යුතු නැත. ආර්ථික ගමන වරද්දාගත් ආකාරය ගැන සොයා බැලිය යුතුය. එය පාලකයන්ගේ වගකීමකි. ආර්ථික අකාර්යක්ෂමතාව ශ්‍රී ලංකාවේ දුබලතාවයකි. මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හේතු සොයා බලනවිට එය පැහැදිලිව පෙනේ. සූර්ය බලශක්ති උත්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ඉකුත් වසරේ මැද ඉන්දියාව ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් එයට අත්සන් කර තිබේ. එම ආධාර ප්‍රයෝජනයට ගැනීම බලධාරීන්ගේ වගකීමකි. බෞද්ධ පුනර්ජීවනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාරයක් ප්‍රකාශයට පත් කරන ලද බව සඳහන් කළ යුතුය. දුම්රිය නවීකරණය, ආධාර් කාඩ්පත හඳුන්වා දීම, ධීවර වරාය සංවර්ධනය, ගුවන් තොටුපොළ දියුණු කිරීම හා තවත් වෙළඳ ගිවිසුම්ද ගණනාවක්ද ඇත. මේවායේ සාධනීය ලක්ෂණ සලකා බලා ඉදිරියට ගෙනයන ක්‍රියාත්මක කරන්නට අවශ්‍යය.

• ආයෝජනය ගැන වැඩි අවධානයක් යොමු කිරීම

ණය, ආධාර වෙනුවට ආයෝජනය ගැන කල්පනා කළ යුතුය. අදානි සමූහ ව්‍යාපාරය කොළඹ වරාය සංවර්ධනයට ඉදිරිපත්ව සිටී. එයට අමතරව සූර්ය තාප බලාගාරයක් ඉදිකෙරේ. 1995 සිට සාකච්ඡා වූ තාප විදුලි බලාගාරය කඩිනම් කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ අතර එයට පිළියමක් වශයෙන් අදානි සමූහ ව්‍යාපාරය ආයෝජනය කරන්නට සුදානම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 කි. එය සාම්පූර්හි ඉදිවන අතර සූර්ය තාප බලාගාරයක් වශයෙන් තැනේ. එච්.සී.එල්. නමැති පරිගණක මෘදුකාංග සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණ ඇත. කොළඹ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයක වර්ග අඩි විසි දහසක ඉඩක් කුලියට ගෙන ඇති සමාගම මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණුවන අය අතරින් දසදහසක්  බඳවා ගැනීමට අපේක්ෂා කරයි.

සංචාරක ව්‍යාපාරයද ශ්‍රී ලංකාවට වැදගත්ය. දැනට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්ය. මිලියනයක් දක්වා සංචාරකයන් කැඳවන සැලැස්මක් ඇත. සංචාරක මණ්ඩලය එය ක්‍රියාවට නංවයි. අලුත් ගුවන් සේවා ගමන් අරඹන අතර සුඛෝපභෝගී නැව් ශ්‍රී ලංකාව කරා ගමන් අරඹන්නට සූදානම්ය. ඉන්දියානු රජය ගුවන් හා නැව් සමාගම්වලට සහන පැකේජයක් හඳුන්වාදීමට යයි. එය විශාල වාසියකි.

2022-23 කාලය තුළ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.8ක ඉක්මවනු ඇති බව දැක්වේ. අති විශාල ජනගහනයක් මැදි ආදායමට හා එයින් ඉහළට නැගෙනවිට වෙළඳ පොල අවශ්‍යතා ප්‍රසාරණය වෙයි. ආනයන සඳහා වැඩි බරක් තබන්නට සිදුවනු ඇත. ඉන්දීය වෙළඳපොළ අවශ්‍යතා සලකන එරට ප්‍රතිපත්ති සම්පාදකයෝ කෘෂි අංශයෙහි වෙනස්කම් යෝජනා කර ඇත. බලශක්ති සඳහා අලුත් පැති ගවේශණය කෙරේ. සේවා අංශ ගැන සොයා බලමින් සිටී. මෙවැනි පැති කෙරෙහි අපට ඇති ගවේශනයද මෙම ඉන්දීය ආධාර සමග ඉදිරියට යා යුතු බව මතක් කළ යුතුය.

 සාරා කන්දෙගොඩ