ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත 7%කින් ඉහළ නැංවීමට පසුගියදා එහි මුදල් මණ්ඩලය තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුලදී 4% - 5% මට්ටමකින් තිබුණු තැන්පතු පොලී අනුපාතික 13.5% - 14.5% පමණ දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත. 7%ක පමණ මට්ටමේ තිබූ ස්ථාවර තැන්පතු පොලී අනුපාත වසරක් සඳහා 15% දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට පෙර 15%ක් පොලිය ගෙවීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පමණක් වුවද මේ වනවිට සීමාවකින් තොරව ස්ථාවර තැන්පතු පොලිය 15% දක්වා වැඩි වී ඇත. තැන්පතු පොලිය ඉහළ යාමට සමගාමීව ණය පොලියද 20% ආසන්නයට පැමිණ තිබේ.
මෙකී ක්ෂණික තීරණය නිසා මහ බැංකුවේ ප්‍රතිපත්ති තුළ මූල්‍ය වෙළෙඳපොළ සමතුලිත තත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. එසේම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම යම් තරමකට පාලනය කරගත හැකිවන අතර දැනට 20%ට ආසන්න මට්ටමට ඉහළ නැග ඇති උද්ධමනය අවම කර ගැනීමට හැකිවනු ඇතැයි යන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසය වෙයි. තැන්පත්කරුවන්ට ගෙවන පොලී ප්‍රතිශතය ඉහළ යන අතර ණය පොලිය ඉහළ යාම නිසා බැංකුවලින් ණය ලබාගන්නා අය අඩුවීමෙන් බැංකුවල ආදායමට අහිතකර බලපෑමක් ඇතිවී බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක්විය හැකි යැයි බැංකු සේවකයන් මෙන්ම ඇතැමුන් බිය වී ඇති බව පෙනේ. එහෙත් විද්වතුන් පෙන්වා දෙන්නේ බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගය ණය අලුත් ව්‍යාපෘතිවල ආයෝජනය කර ලාභ ඉපයීමකට උත්සාහ කළ යුතු බවයි. ඒ නිසා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අදට ගැලපෙන නව ප්‍රවණතා කෙරෙහි වාණිජ බැංකු අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව මැදහත් විශ්ලේෂකයෝ පවසති.
බැංකු පොලී අනුපාත සංශෝධන පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ගත් මෙම තීරණයෙන් යහපත් වෙනසකට යාමට රටේ වාණිජ බැංකු කටයුතු කළ යුතු බවය. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ගොස් නව ආයෝජන අවස්ථා ලබාගැනීම උදෙසා කටයුතු කිරීමේ කාලීන අවශ්‍යතාව හෙතෙම අවධාරණය කරයි.
''පොලී අනුපාත කියල කියන්නේ භාණ්ඩාගාර බිල්පත්වල ඉපැයීම් අනුපාතයයි. නව තීරණ අනුව එම ඉපැයීම් අනුපාත ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩපිළිවෙළ අනුව තම පොලී අනුපාතික වැඩි කිරීමට වාණිජ බැංකු කටයුතු කළා. මේ තත්ත්වය මත බැංකු මේ දක්වා සිදු කළ ගමන් මගේ වෙනසක් කළ යුතු තැනට පත්ව තිබෙනවා.
මෙතෙක් තිබූ තත්ත්වය අනුව බැංකු පොලී අනුපාතිකය අඩු වූ විට ඉතුරුම් අඩු වෙනවා. පාරිභෝගිකයන් තම මුදල් බැංකුවල නොදමා වැඩි ආදායම් ලැබෙන වෙනත් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට පෙළඹෙනවා. පොලී අනුපාතික අඩු නිසා බැංකුවලින් ණය ගැනීම වැඩි වුණා. ඇතැම්විට බැංකුවලින් අඩු පොලියට ණය ලබාගෙන ආයෝජනය නොකර එම මුදල් පාරිභෝජනයට දැමීමට පෙළඹීමක් සිදුව තිබුණා. එයින් සිදුවන්නේ රටේ ආර්ථික වර්ධනය සංකෝචනය වීමක්. උද්ධමනය ඉහළ යාමටද මෙය බලපෑවා.
එහෙත් මේ වනවිට තැන්පතු පොලී අනුපාතිකය ඉහළ දැමීමෙන් ආර්ථිකයේ යම් පිබිදීමක් ඇතිව තිබෙනවා. ඉතුරුම් පොලී අනුපාතිකය වැඩි නිසා ජනතාව තමන් සතු මුදල් බැංකුවල තැන්පතු කර වැඩි ආදායමක් ලැබීමට පෙළඹී සිටිනවා. බැංකුවල තැන්පත් කර ආදායම ලැබීම පාරිභෝගිකයාට අවිනිශ්චිතභාවයෙන් තොරව ආදායම් ලැබීමේ මාර්ගයක්. මේ නිසා මුදල් අනවශ්‍ය ලෙස වැය කිරීම යම් පමණකට අඩු වෙනවා. මුදල් සංසරණය අඩු වෙනවා. බැංකු පොලිය අඩුවන තරමට ජනතාව තම මුදල් බැංකුවල තැන්පත් නොකර පාරිභෝජනයට සහ වෙනත් ලෙහෙසියෙන් ආදායම් ලැබිය හැකි ආයෝජන සඳහා පාවිච්චි කරනවා. එහෙත් ඒ තත්ත්වය මේ වනවිට වෙනස් වෙමින් තිබෙනවා.
මෙහිදී ණය පොලී සමානුපාතිකව ඉහළ මට්ටමක තිබීම නිසා ණය ගැනීම අවම වෙනවා. මේ වනවිට බැංකුවලින් ණය ඉල්ලීම අඩුවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකුවලට ණය නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම අහිමිවීමේ තර්ජනයකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. මේ නිසා බැංකු අර්බුදයට ලක්වන බවට අනතුරු ඇඟවීම් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. මෙහිදී වාණිජ බැංකු විසින් කළ යුතු වන්නේ ණය දීමෙන් ආදායම් ලැබීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවෙලා වෙනත් ක්‍රමවලට අවතීර්ණ වීමටයි.
බැංකු තම ආදායම වෙනත් ආයෝජනවලට යොමු කළ යුතුයි. මෙහිදී ණය දීමෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් ලබාගැනීමට බැංකු සමත් වෙනවා. නව අත්හදා බැලීම්වලට යාමට ඔවුන්ට හැකි වෙනවා ඇති. එහෙත් මෙහිදී එක් ගැටලුවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ අද පවතින වාතාවරණය සහ දුර්වල ආර්ථික තත්ත්වය නිසා මේ දිනවල අලුතින් ආයෝජනවලට ඇති ඉඩ ප්‍රස්ථා අඩුයි. මෙය තමා එකම බාධාව. එහෙත් රටේ මෙම තත්ත්වය දිගටම තියෙන්නේ නැහැ. කෙටි කාලයකින් රට යථා තත්ත්වයට පත්වීමට ඉඩ තියෙනවා. එවිට බැංකුවලට ආයෝජනයට ඇති ඉඩ ප්‍රස්ථා ඉහළ යාවි.
බැංකුවලට ලැබෙන මුදල් ණය දීමට ආයෝජනය කිරීමෙන් ලැබෙන 2%ක පමණ ආදායමට වඩා වැඩි ආදායමක් නව ආයෝජනවලින් ලබාගත හැකි වෙනවා. බැංකු තැන්පතුවලින් 10% - 15% පමණ ප්‍රමාණයක් ද්‍රවශීලිතාව පවත්වා ගැනීමට තබාගෙන ඉතිරි ආදායම ආයෝජනයට යොමු කළ හැකියි. එහෙත් අද අපේ රටේ බැංකු පුරුදුවෙලා තියෙන්නේ කිසිදු උත්සාහයක් නොගෙන ණය දීමෙන් ආදායම් ලැබීමටයි. මෙහි අවදානම අඩු වුවත් පුළුල් ආයෝජනයකට යාමේ ඉඩ ප්‍රස්ථා අහිමිවෙලා තිබෙනවා. අත්හදා බැලීම් සඳහා යොමුවීමට කටයුතු කළ යුතුයි. පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ලැබෙන වාසිය ළඟා කරගෙන පුළුල් ලෙස කටයුතු කර ආදායම් ලැබීමට බැංකු කටයුතු කළ යුතුයි. එවිට රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පිළිබඳ මෙම තීරණය ගත්තේ රටේ ආර්ථික අභිවෘද්ධිය සලකලයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කිරීම මේ අවස්ථාවේ ගත යුතුව තිබූ හොඳම පියවර බවය. එහි ප්‍රතිඵල අද හෙටම නොලැබුණත් තව සුළු කාලයකින් මෙම තීරණයේ ඇති සාර්ථකත්වය සනාථ වන බව හෙතෙම පවසයි.
අද අපේ රටේ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය 22% ක්. ආහාර උද්ධමන ප්‍රතිශතය 30% යි. පසුගිය සමයේ උද්ධමන අනුපාතිකය මාසයෙන් මාසයට ඉහළ ගියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන අනුපාතිකය මෙය වුවත් අපේ උද්ධමන අනුපාතිකය 120% ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. එම කතාව සත්‍යයක් බව වෙළෙඳපොළට ගිය විට පාරිභෝගිකයන්ට වැටහෙනවා. එලෙස උද්ධමනය ඉහළ නැගීම නැවැත්වීමේ අරමුණෙන් තමා මහ බැංකුව මෙම තීරණය ගත්තේ.
මෙච්චර කල් ආණ්ඩුව බැංකු පොලී 6%ට තබාගෙන සිටියේ ආණ්ඩුවට පහළ අනුපාතිකයකට එනම් 6%කට පමණ මහ බැංකුවෙන් ණය ගන්නට හැකි වීමටයි. ජනතාවට එන්න තිබුණු වාසිය මෙහිදී ආණ්ඩුව පැහැර ගැනීමක් තමා සිදු වුණේ. මේ වනවිට ඒ තත්ත්වය නැතිවෙලා ජනතාවට සහනය ලැබීම ආරම්භවෙලා තියෙනවා. මේ පොලී අනුපාතිකය වුණත් සැම දිනම තියෙනවා යැයි මා කියන්නේ නැහැ. උද්ධමනය අඩුවෙලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු මේ පොලී අනුපාතය වෙනස් වෙයි. එහෙත් ඒ සඳහා තව අවුරුදු 1ක් 1 ½ක් විතර යාවි.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා අජිත් නිවාඩ් කබ්රාල් කළේ කෘත්‍රිමව පොලී අනුපාත පාලනය කිරීමක්. ඉල්ලුම සැපයුම අනුව එය නිර්මාණය වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒත් එය හැමදාම තද කරගෙන ඉන්න බැහැ. අතහැරිය විට උඩටම මතු වෙනවා. මෙය එදා සිට ක්‍රමයෙන් කළා නම් අද සිද්ධවෙලා තියෙන බඩු මිල වැඩිවීම එකවර සිදු නොවී ක්‍රමයෙන් තමයි සිදුවිය යුතුව තිබුණේ. කොහොම වුණත් ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙළේ අසාර්ථකභාවය අද රටට හා ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති තත්ත්වය අනුව පෙනී යනවා.
ණය පොලිය වැඩි කිරීම නිසා ණය ගන්නා අය අඩුවීමෙන් වාණිජ බැංකුවල ආදායමට අහිතකර බලපෑමක් ඇතිවේ යැයි මතයක් සමාජය තුළ ඇතිවෙමින් පවතිනවා. එහෙත් එහි සත්‍යතාවක් නැහැ. ණය පොලී වැඩි වුණාම ණය අවශ්‍ය පුද්ගලයා පමණක් ගනීවි. වෙනවා වගේ පාරිභෝජනයට ණය ගැනිල්ල අඩු වෙනවා. ආයෝජන අවස්ථා ඉහළ යනවා. කර්මාන්තකරුවන් වැඩි පොලියට ණය අරගෙන නිෂ්පාදනවලින් ලාභ තබාගෙන අලෙවි කරාවි. එහිදී සිදුවන්නේ සත්‍ය ආයෝජකයන් කණ්ඩායමක් පමණක් බිහිවීමයි.
පොලී 6% වුණාම ආණ්ඩුව ණය ගන්නේ ඒ ගාණට. එයින් රටේ සංවර්ධනයට අගතියක් වුණා. රටේ පැවතිය යුත්තේ සත්‍ය ප්‍රායෝගික පොලියක්. ආණ්ඩුවත් ණය ගත යුත්තේ එම ප්‍රතිශතයටයි. ආණ්ඩුවට වඩා ජනතාවටයි සහන සැලසිය යුත්තේ. මුදල් යා යුත්තේ ජනතාව අතරටයි.
මෙම තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දුන් උපදෙස් අනුව ගත් එකක් බවටද මතයක් තියෙනවා. එහෙත් මූල්‍ය අරමුදලට යාමට පෙර ගත් තීරණයක් බව කිව යුතුයි.
පොලී අනුපාත ඉහළ යාම අද පමණක් සිදුවන දෙයක් නොවෙයි. මෙයට පෙර ඉහළ අනුපාත පැවතුණු බවට උදාහරණ දිය හැකියි. 1980 ගණන්වල පොලී අනුපාතිකය 25% දක්වා ඉහළ ගිහින් තිබුණා. කෝ ඒ කාලේ භාණ්ඩ මිල ඉහළ ගියාද? උද්ධමනය වැඩි වුණාද? නැහැනේ. ඒ කාලේ පෞද්ගලික මූල්‍ය ආයතනත් තැන්පතුවලට වැඩි පොලියක් ගෙව්වා. ඒත් ඒවා කඩාගෙන වැටුණේ නැහැ. ඒ නිසා ඉහළ පොලී අනුපාතික දෙනවා කියලා බැංකු කඩා වැටෙන්නට හේතුවක් නැති බව කිව යුතුයි.
අපේ රටේ වාණිජ බැංකු විශාල ලෙස ලාභ ලබනවා. රුපියල් ට්‍රිලියන සිය ගණනකින් ලාභ ලබන බව ඒ අයගේ ශේෂ පත්‍රවලින් සනාථ වෙනවා. එහෙම ලාභ ලබන්නේ දුප්පත් ජනතාවගෙන් වැඩි පොලියක් අය කරලයි. අපේ රටේ තැන්පතු පොලිය සහ ණය පොලිය අතර වෙනස 3% - 4%ක් වෙනවා. මෙය ඉතාම වැඩියි. සිංගප්පූරුව වැනි දියුණු රටවල මෙම වෙනස සියයට දශම පහක් දක්වා අඩුයි. අපේ බැංකු ගන්නා අධික ලාභය ජනතාව අතර බෙදී යා යුතුයි. අද සිද්ධ වෙන්නේ දුප්පතාගෙන් ලබාගන්නා එම ලාභය ගෙඩි පිටින් ආණ්ඩුවට දීමයි. මෙම තත්ත්වය වෙනස් වීම කාලෝචිතයි.
අනිත් අතට මෙලෙස පොලී අනුපාතිකය ඉහළ නැංවීම දේශපාලන තීරණයක් නොව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණයක්. එය ප්‍රතිපත්තිමය තීරණයක්. කවුරුන් හෝ මැදිහත්වෙලා ගත් තීරණයක් නොවෙයි. මහ බැංකුවේ නව අධිපතිවරයා පත්වීම බාරගන්නා අවස්ථාවේදීම පැවසුවේ තමාට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඉදිරියේදීද එය එලෙසම සිදුවිය යුතුයි.
♦ යසවර්ධන රුද්රිගූ