බස් ගාස්තුව වැඩිකර ඇති අතර පොදු ජනතාව ඉතාම දුෂ්කර කාල වකවානුවකය. දශක තුන හතරකට කලින් ටැක්සියකට ගෙවූ මිල බස් ගමනට ගෙවන්නට සිදුවීම ආර්ථික අර්බුදයේ තරම පෙන්වයි. පැරුණි, ගතානුගතික ආකල්පවල සිට තීරණ ගන්නා නිලධාරීහු ඉන්ධන මිල වැඩිවන විට බස් ගාස්තු නැංවීම හැර විකල්පයක් යෝජනා කරන්නේ නැත. ගාස්තුව වැඩි නමුත් මගීන්ට සරණක් නැත. ස්මාට් ගාස්තු ගෙවා සැහැල්ලු දුම්රියකින් වැඩට එන්නට මග බලා සිටි ජනතාව ළඟම කාර්යාලය සඳහා ස්ථාන මාරු ඉල්ලා ආණ්ඩුවට බලකරන තැනට පත්ව ඇත.
මහාමාර්ග වාහනවලින් ගහනය. ඒවායෙන් ඇති කරන තදබදය විශාල ගැටලුවකි. ගාස්තු වැඩිවී තිබියදී ප‍්‍රමාණවත් බස් රථ හෝ දුම්රිය නොමැතිවීම හේතුවෙන් වාහනවල එල්ලී පැය ගණන් ගමන් කරන ජනතාවගේ ඉරණම ගැන සැලකිල්ල යොමුකළ යුතුය. අද පවතින තත්ත්වයට වඩා යහපත් හා කාලය ඉතිරිකරන ප‍්‍රවාහන ක‍්‍රම රටට ඇති කරන්නට පියවර ගැනීම අවශ්‍යය.
• සංවර්ධිත රටක පොදු ප‍්‍රවාහනය
ආර්ථික විද්‍යාඥයන්ගේ පුරෝකථන අනුව රටක දියුණුව, පෞද්ගලික වාහන භාවිතය සීමාකරන ප‍්‍රබල හේතුවකි. තමන්ට වාහනයක් අයිතිකරගැනීම පමණක් නොව එම වාහනයෙන් නිතිපතා ගමන් බිමන්ද නිෂ්ඵල පිරිවැයක් බව පිළිගැනේ. එයට හේතුව පොදු ප‍්‍රවාහනය ඉතාම දියුණු මටට්මකට පැමිණීමය. සිය වාහනය ළඟම පිහිටි දුම්රිය නැවතුම දක්වා පදවා ගෙන සංවර්ධිත රටවල වැසියන් එතැන් සිට ගමන් කරන්නේ දුම්රියෙනි. ආසන්න බස් නැවතුම අසලට ඇවිද ගෙන එන අතර විනාඩි ගණනකට වතාවක් එන සුවපහසු බස් රථයක ආරක්ෂිතව ගමන් කිරීම වාසිදායකය.
දුප්පත් රටවල මගීන් ප‍්‍රවාහනය සඳහා විශාල වියදමක්, මහන්සියක් දරන අතරවාරයේ දියුණු රටවල සිදුකරන ආකෘති වෙනස්කම් ජීවත්වීම පහසු කරයි. දුම්රිය හෝ බස් රථවල ගමන පහසු කරන පසුබිම තුළ මාර්ග තදබදය අවම වන බවද සඳහන් කළයුතු කරුණකි. ක‍්‍රමානුකූලව පෞද්ගලික වාහන භාවිත කිරීම අඩුවන විට එය නිරායාසයෙන්ම සිදුවෙයි. වාහන තදබදය අඩු සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පරිසරය ගැන අවධානය යොමු වෙයි. පොසිල ඉන්ධන වෙනුවට හරිත බලශක්තියෙන් ධාවනය වන වාහන භාවිත කෙරේ.
ශ‍්‍රී ලංකාව වැනි රටවල සිදුවිය යුත්තේ පොදු ප‍්‍රවාහනය දියුණු කිරීමය. දුප්පත් රටක තැන සිට මැදි ආදායම් රටක් බවට පත්වන අවස්ථාවේදී ගමන් බිමන් පහසුව ගැන සොයා බැලීම අවශ්‍යම කරුණකි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පවා අනාවරණය කරන පරිදි මෙරට ජනතාව සිය ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ප‍්‍රවාහනය සඳහාය. බස් ගාස්තු නැංවීම සමඟ එය තවත් වටයකින් පීඩාවක් ඇති කර තිබේ. මෙවැනි වාතාවරණයක් තුළ රාමුවෙන් පිටස්තර තීරණ ගැනීම විශාල වාසියක් විය හැකිය.
• ගාස්තු රහිත පොදු ප‍්‍රවාහන සේවා
අලාභ ලබන ව්‍යවසාය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය බෙලහීන කර ඇත. දුම්රිය හා ලංගම ප‍්‍රවාහනය එහි ප‍්‍රධාන කොටසකි. අලාභ වෙනුවට මේවා දියුණු කරන අලුත් පැති ගැන අනවධානයක් ඇයි? මෙරට ඛනිජ තෙල් පිරිවැය අඩුකරන අතර ජනතාවට සහනයක්ද වශයෙන් පොදු ප‍්‍රවාහනය නොමිලේ සැපයීම කළ හැක. මහ බැංකු වාර්තාවලට අනුව මෙරටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට හැටක් ප‍්‍රවාහන අවශ්‍යතා සඳහාය. එහෙත් අකාර්යක්ෂම ප‍්‍රවාහන පද්ධතිය මෙම ඉන්ධනවලින් ඉතාම සුදුසු ප‍්‍රයෝජන අත්පත් කරගන්නේ නැත. තනි වාහනයක ගමන් කරන වැඩි දෙනකු එයින් ආර්ථිකයට කරන බලපෑම මහත්ය. හොඳ ප‍්‍රවාහන පද්ධතියක් ඇත්නම් තමන්ගේ වාහනය වෙනුවට එහි ගමන් කරන්නට අකැමැති කිසිවකු නැත.
ගමන් කිරීමේදී ගාස්තු අය නොකරන තැනට පත් කළහොත් ආකෘතිය තවත් පුළුල් වනු ඇත. නොමිලේ ගමන් බිමන් යා හැකි වටරවුම් සේවා කොළඹ වැඩකරන ජනතාවට අවශ්‍ය පරිදි සකස් කළ හැකි අතර දුම්රිය සේවා ගාස්තු අය නොකිරීමෙන් එය වඩාත් ප‍්‍රචලිත කළ හැකිය. ලක්සම්බර්ග් නමැති කුඩා රාජ්‍යය ලෝකයේ පළමුවරට පොදු ප‍්‍රවාහනය ගාස්තු රහිත සේවාවක් බවට හැරවීය. පෞද්ගලික වාහන විශාල වශයෙන් භාවිත කිරීමෙන් සිදුවී ඇති ව්‍යසනය එරට පාලකයෝ වටහා ගත්හ. ලක්සම්බර්ග් රාජ්‍යයේ තොරතුරුවලට අනුව පසුගිය වසර විසි පහ ඉතාම අඩු ආර්ථික වර්ධනයක පැවැතිණ. එයට හේතුව මහ මගට කාලය නාස්ති කිරීම බව දැක්වෙයි. දැන් එය වෙනස් වී තිබේ. අද වනවිට ඇමරිකාව, චීනය, ඔස්‌ෙලියාව, බ‍්‍රසීලය, පින්ලන්තය සහ බෙල්ජියම ඇතුළු රටවල තෝරාගත් නගර සිය ගණනක් පොදු ප‍්‍රවාහනය නොමිලේ සපයන තැනට පත්ව ඇත. පහසුවෙන් ගමන් බිමන් යා හැකි බස් හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සමඟ ගාස්තු අය කිරීමක් නැති අවස්ථාවක, පෞද්ගලික වාහන භාවිතය සීමා වන බව සනාථ වී තිබේ.
ඉන්දියාවේ පවා පොදු ප‍්‍රවාහන සේවා ඉතාම ශක්තිමත්ය. දින ගණන් ධාවනය වන දීර්ඝ දුම්රිය පවා විදුලිය බලයට හරවා ඇත. ගාස්තුව ඉතාම අඩුය. දැවිතෙල් ලීටර අටකින් එක කිලෝමීටරයක් යන ශ‍්‍රී ලංකාවේ දුම්රිය සේවය සමඟ ඉන්දියාවේ කාර්යක්ෂමතාව කල්පනා කිරීම සුදුසුය. නවදිල්ලි නගරයේ බස් රථවල කාන්තාවන්ගෙන් ගාස්තු අය කරන්නේ නැත. නොමිලේ ගමන් කරන්නට ඉඩ දී ඇත. කාන්තාවන්ට රෝස පැහැති ගාස්තු රහිත ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කෙරේ. ලංකාවේ මෙන් යතුරු පැදිවලින්, පෞද්ගලික වාහනවලින් කාන්තාවෝ සේවයට යන්නේ නැත.
• වාහන සඳහා රජයේ අනුග‍්‍රහය
අධික වියදමක් දරා තෙල් ගෙන්වා පිළිස්සීම වෙනුවට නොමිලේ ගමන සලසා දී පෞද්ගලික වාහන මහා මාර්ගයෙන් ඉවත් කරන්නට තීරණය නොකරන්නේ ඇයි? ඉන්ධනවලට සහන සැපයීම වහාම නතර කළ යුතුය. සහන දිය යුතු ප‍්‍රවාහනයටය. එයින් ජනතාවගේ ජීවන බර අඩු කෙරේ. යතුරු පැදියක්, ත‍්‍රී විලර් එකක් නඩත්තු කිරීම පවා දුෂ්කර කාලයක මෝටර් රථයක් භාවිතා කිරීම විශාල නාස්තියකි. පෞද්ගලික වාහනවලට ගාස්තු අයකර, ගාල් කරන තැන් අවහිර කර ප‍්‍රවාහන ප‍්‍රශ්න විසඳන්නට උත්සාහ කරන ආණ්ඩු මෑතකදී නගරවලට වාහන ඇතුළු කිරීම සීමා කරන නීති හඳුන්වා දෙන්නටද උත්සාහ කළේය. ඒවායෙන් පලක් නැත. ආණ්ඩුව කළ යුතු හොඳ බස් රථ ධාවනයට යොදවා ගාස්තු අය නොකර පවත්වාගෙන යෑමය. දුම්රියේ අය කරන සොච්චම් ගාස්තුවද අත්හැර දැමීමය. නගාරන්තර විශේෂ දුම්රිය ඇති කරන්නට පෞද්ගලික අංශයට ඉඩ දී ඒවා සංචාරක කර්මාන්තය දියුණු කරන්නට යෙදවිය හැකි අතර එයින් උපයන ආදායමෙන් නොමිලේ ධාවනය කරන දුම්රිය පිරිවැය කොටසක් පියවා ගත හැකිවෙයි. මහජනතාව බස් රථයෙන් හෝ දුම්රියෙන් ගමන් කරන විට ඉතිරිවන විනිමය රටට ආශීර්වාදයක් වනු ඇත.
ආර්ථික දියුණුව සමඟ එන ප‍්‍රවාහන ගැටලුවලට සම්ප‍්‍රදායික රාමුවෙන් බැහැර විසඳුමක් නිර්මාණය කරගැනීමට ජාත්‍යන්තරයෙන් ලැබෙන අදහස්ද සලකා බැලිය හැකිය. පා පැදියද ජනප‍්‍රිය කළ හැක. ලෝකයේ සමහර රටවල තෝරාගත් කලාපවලට වාහන ඇතුළු නොකෙරේ. කුලියට ගැනීම සඳහා පාපැදි ගාල්කර තිබේ. ඒවා ලබාගෙන තමන්ගේ ගමන් පහසුව සලසා ගත හැකි අතර එය ශරීරයටද සුදුසු පරිසරයද ආරක්ෂා කරන ක‍්‍රමෝපායකි. පසුගිය කාලයේ පැරිස් නගරයේ තෝරාගත් ප‍්‍රදේශයක් පාපැදිවලට පමණක් සීමා කෙරිණ. සැතපුම් තිහක පාපැදිවලින් පමණක් යන එන ප‍්‍රදේශයක් නම් කළේය. පසුව එය සැතපුම් 620 ක් දක්වා ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබුණි. එහි වාහන ගමනාගමනය තහනම්ය. ඩෙන්මාර්ක්හි කෝපන්හේගන්, නෙදර්ලන්ත යේ ඇම්ස්ටඩෑම් සහ ලන්ඩන් නගරයේ එක කොටසක් පා පැදිවලට පමණක් වෙන් වූ කලාප ඇති ස්ථාන වශයෙන් ලෝකයේ ඇත.
රථවාහන තදබදය කොළඹට හෝ ලෝකයේ අනෙක් ප‍්‍රධාන නගරයකට සීමා වූ එකක් නොවේ. ප‍්‍රවාහන වියදම දරාගත නොහැකි තැනට පත් වූ රටවල් එමටය. එම රටවල් සැලැසුම් වෙනස් කර ඇත. පිරිවැය මගහරින විවිධ ක‍්‍රම අත්හදා බලති. විශාල ආර්ථික හානිය හා පරිසර විනාශය පාලනය කරගෙන තිබේ. රටක් දියුණුවන විට පෞද්ගලික වාහනයක් මිල දී ගැනීම ජනතාවගේ අභිමතාර්ථයයි. එයට බාධා කිරීම සුදුසු නැත. එහෙත් අධික වාහන භාවිතය අධෛර්යයට පත්කර ප‍්‍රතිපත්ති සකස්කිරීම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහනයයෙහි අකාර්යක්ෂම වෙනුවෙන් අප ගෙවන වන්දිය මහත්ය. තෙල් මිල වැඩිවන වාරයක් පාසා ගාස්තු නැංවීමද උචිත නැත.
සාරා කන්දෙගොඩ