2022 මැයි 01 වන ඉරිදා

රුපියල් 100කට බත් වේලක් දෙන කැන්ටින්!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 68

මේ නිසා අවුලට පත්ව ඇති තවත් ක්ෂේත්‍රයක් නම් කැන්ටින් හෙවත් ආපනශාලායි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවලද ආපන ශාලා පවතී. මේවායේ ආහාර මිල කරන්නේ හෝටල්වල මිල ගණන්වලට වඩා අඩුවටය. ඒ සේවකයන්ට ලබාදෙන සහනයක් වශයෙනි. ඒ සඳහා ආයතන විසින් නොමිලේ විදුලිය හා ජලය ලබාදීම වැනි සහයෝග ක්‍රියාත්මක වේ. නමුත් පසුගිය මාස දෙක තුන තුළ ආයතන රාශියක ආපන ශාලා වැසී ගොස් ඇත්තේ වියදම උපයා ගැනීමට වත් කැන්ටින් හිමිකරුවන්ට නොහැකි ලෙස ආහාර මිල, ගෑස් මිල ඉහළ ගොස් ඇති නිසාය. ඒ මදිවාට ගෑස් හොයා ගැනීමටත් නැත. ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා ආපනශාලාවලින් සියයට 30 ක් පමණ වැසී ගොස් ඇති පසුබිමක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයේ පෝෂණවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පසුගියදා සඳහන් කළේ සූපවේදී සංගමය සමඟ එක්ව අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කරගත හැකි ආහාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

සුදු ලූනු, ලොකු ලූනු, මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, කිරිපිටි, මස් වර්ග, බඩ ඉරිඟු, තිරිගු පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මේ වනවිට දිනෙන් දින මිල ඉහළ යමින් පවතී.  පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙම භාණ්ඩ ආනයනය නොකළද දිනෙන් දින මිල ඉහළ යාමක් දක්නට පුළුවන. මේ වනවිට මුං ඇට කිලෝවක් රුපියල් දහසකි. කැකුළු සහල් කිලෝව රුපියල් දෙසීය පන්නලාය. සම්බා සහල් කිලෝව රුපියල් 230න් ඉහළ මිලකට අලෙවි වේ. කීරිසම්බා 260කට වඩා වැඩිය. පොල්තෙල් රුපියල් අටසීයයත් දහසත් අතර මිලක් ගනී. පරිප්පු කිලෝව රුපියල් හයසියය දක්වා මිල වැඩිවීමක් සිදුව ඇත. ආනයනික කිරිපිටි කිලෝව රුපියල් දෙදහසකට අධිකය. මේ නිසා එදිනෙදා ආහාර ද්‍රව්‍ය යොදා ආපන ශාලාවල ආහාර සැපයීම සිහිනයක් වී තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මෙම මිල වැඩිවීම් සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාන් පමණක් නොව රෝල්ස්, එළවළු රොටි, පරාටා, පේස්ට්‍රී, කොත්තු රොටි, ඉඳිආප්ප, ආප්ප ආදියේ මිලද මේ වනවිට වැඩි වී ඇති බවත් එය ආපන ශාලා හිමියන්ට දරාගත නොහැකි බවත්ය.

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ අප බොහෝවිට භාවිතයට නොගන්නා ආහාර වර්ග තිබෙන අතර ඒවාට ඉහළ මිලක් නැති නිසා ඒවා යොදා ගනිමින් ශ්‍රී ලංකා සූපවේදී සංගමය සමඟ එක්ව ආහාර මෙනුවක් සකස් කර ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. &අපි එදා ඉඳන් දානයක් එහෙම අවසන් වුණාම ඉතිරි වන ආහාර විසිකරන්නේ නැහැ. කාටත් බෙදලා දෙනවා. ඒ වගේ වැඩ පිළිවෙළවල්වලටත් අපට යන්න සිදුවේවි. අපි සැලසුම් කරන්නේ රු. 100ක් වගේ මිලකට ලබාදිය හැකි ආහාර වේලක් ගැනයි. එතකොට කාටත් ඒ මිල දරාගත හැකියි. හුඟක් රටවල්වල ආහාර අර්බුද කාලවලදී ඒ වගේ දේවල් කරලා තිබෙනවා. ආහාර අර්බුදවලින් ගොඩඑන්නට ඒ වගේ පියවර වැදගත්. අපි ජනාධිපතිවරයාටත් මේ ගැන අපට සැලසුම් කර සහයෝගය දිය හැකි බවට යෝජනා මාලාවක් යවා තිබෙනවා.* ඇය මාධ්‍යවලට පවසා සිටියාය.

විශේෂඥ වෛද්‍යවරියගේ යෝජනාව තවමත් පවතින්නේ මූලික අදියරේය. රජයට යැවූ එම යෝජනාවට ලැබුණු ප්‍රතිචාර කුමක්දැයි තවම අප දන්නේ නැත. කෙසේ වුවත් අප නම් සිතන්නේ කැන්ටින්වලට පමණක් නොව එදාවේල ගැටගසා ගැනීමට මඟක් නැති කාටත් එම යෝජනා ඵලදායක බවත් ඒ නිසා ඒවා සකස් කර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම වැඩදායක බවත්ය. 

පිටි මිල ඉහළ යාම හා එම කරුණ මූලික කරගෙන බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට ගත් පියවර පිළිබඳ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් සුරන්ති ඩී. සිල්වා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවීමත් සමඟ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බව දන්නා නමුත් සිය ව්‍යාපාර පාඩු නොලබා පවත්වා ගෙන යා යුතු නිසා අකැමැත්තෙන් වුවත් බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සිය සංගමයට සිදුවුණු බවයි. තම සංගමයේ සාමාජිකත්වය දරන බේකරි හිමියන් 7000 ක් පමණ දිවයින පුරා සිටින නමුත් මේ වනවිට වර්ධනය වී ඇති ආර්ථික ගැටලු හමුවේ මේ වනවිට සක්‍රීය ලෙසම ක්‍රියාත්මක වන්නේ බේකරි 3000 කට ආසන්න ප්‍රමාණයක් බවත්, රට පුරා තිබුණු බේකරි 4000 කට වඩා වැසී ගොස් ඇති බවත් ඇය පැහැදිලි කළාය.

පිටි ඉහළ යාම ආසන්නම හේතුව වුවද දර, ගෑස්, ඉන්ධන, සීනී, මාගරින්, බටර්, බිත්තර ආදියේ මිල ඉහළ යාම හමුවේද බේකරි නිෂ්පාදන මිල ඉහළ නංවනවා හැරෙන්නට වෙන විකල්පයක් නොතිබුණු බවත් සියලු කාරණා සැලකිල්ලට ගනිමින් මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවුණු බවත් ඇය සඳහන් කළාය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර පිසීම සඳහා ගන්නා ගෑස් මිලද පසුගිය වසර තුළ දී 85෴කින් වැඩිවී තිබේ. එය මේ වසර තුළදී යළිත් 100෴කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමූ බව කවුරුත් දන්නා දෙයකි. 

පසුගියදා කිහිපවරක්ම ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමග ආපනශාලා අසීරු තත්වයකට මුහුණදී සිටින බවද සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සහාපති අසේල සම්පත් මහතා පැවැසීය. ආපන ශාලා වසා දැමීමට සිදුවීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රුකියා අවස්ථා අහිමි වන බව   ඔහු සඳහන් කරයි. ඒ නිසා ඒවායෙන් ආහාර ලබාගන්නා සේවක පිරිස්ද යනඑන මං නැති තත්ත්වයට පත්වන බව කිවයුතු නොවේ.

සාමාන්‍ය ආපන ශාලාවක පවා දිනකට ගෑස් ටැංකි දෙකක් හෝ තුනක් වැයවන බව කී අසේල සම්පත් ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති කමින් පසුගිය මාර්තුවල සිට පවා සමහර ආපන ශාලා වසා දැමීමට සිදුව ඇති බව කීවේය. ගෑස් සැපයුම නතර වීම නිසා ග්‍රාමීය සහ නාගරික ආපන ශාලා මෙන්ම ගෘහාශ්‍රිතව ආහාර පාර්සල් සකස් කර සපයන්නෝද දැඩි අසීරුතාවයකට ලක්ව සිටිති. කොළඹ මෙන්ම බොහෝ ප්‍රධාන නගරවල බෝඩිම්වල ආහාර සැපයුම මේ වනවිටත් සම්පූර්ණයෙන්ම පාහේ නතර කර ඇති බව අසන්නට ලැබේ. දිනපතා විදුලිය කපන තත්ත්වය යටතේ මස් මාළු එළවළු ආදිය වැඩිපුර ගෙනැවිත් ගබඩා කර ගැනීමට හැකියාවක් නොමැති වීමද ආහාර සකස් කිරීමේ දී බලපාන තවත් ගැටලුවකි.

බොහෝදෙනා ගෑස් වෙනුවට දර, පොල්කටු අඟුරු හෝ භූමිතෙල් වැනි ඉන්ධන වර්ග භාවිතයෙන් ආහාර පිසීමට යොමුව සිටින අතර භූමිතෙල් හිඟය නිසා ඔවුන්ට යළිත් අමාරුවේ වැටීමට සිදුව තිබේ. මේ නිසා එදාවේල සොයාගත් ජනතාව පන්න පන්නා පලිගන්නා තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බව බොහෝ දෙනා පවසති. තමන් දන්නා කිසිම කාලයක (අඩු තරමින් දෙවැනි ලෝක යුද්ධ කාලෙ පවා) මෙවැනි අහේනියක් නොපැවති බවයි වැඩිහිටියන් පවසන්නේ. 

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ අඩුමිල කැන්ටින් යෝජනාව අපූරුය. එය ක්‍රියාත්මක කළ හැකිවන්නේ නම් ඊටත් වඩා අපූරුය. එවිට අප කාටත් රු. 100කට දවල් බත් එකක් කෑමට හැකිවනු ඇත.

 

 කුසුම්සිරි විජයවර්ධන