දවසින් දවස බඩු මිල ඉහළ යයි. දවසින් දවස රටේ ජනතාව පෝලිම්වල රැඳී සිටින කාලය දිගුවේ. මේ ගෙවන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත වැඩි කාලයක් මහපාරේ රුඳී සිටින කාලයකි. කෑමක් පිසගන්නට ගෑස් එක, භූමිතෙල් ටික ගන්නට පෝලිම්වල සිටින, අත්‍යවශ්‍ය ගමනක් හෝ කලට වේලාවට යාගන්නට බැරිව ඉන්ධන පෝලිම්වල පැය ගණන්, වරු ගණන් දවස ගෙවන මිනිසුන්ගේ ආර්ථිකය එන්න එන්නම පහළට ඇද වැටෙමින් පවතී. ගිනිකූරේ සිට හාල් ඇටය දක්වා ඉහළ යන කාලවකවානුවක බහුතරයක් සිටින්නේ අරගල භූමියේය. ඒ මේ පවතින ක්‍රමය වෙනස් කරමින් රටේ ජනතාවට යම් සැනසුම් සුසුමක් හෙලමින් ජීවත් වෙන්නට සුදුසු කාලයක් ඉල්ලමිනි.
අද අපි හරි අමාරු තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. කොච්චර මිනිස්සු ඉල්ලීම් කළත් මේ ආණ්ඩුව බඩු මිල අඩු කරන්නේ නැහැ. ගෙදර යනකම්ම තේ එකක් බොන්න විදිහක් නැහැ. අපි හරි අසරණ මිනිස්සු. මහන්සිවෙලා ගෙදර ගියාම ලයිට් නැහැ. හරිම දුකයි මේ ගෙවන ජීවිතේ ගැන. අපේ දරුවන්ගේ දරුවෝ ගැන මට තියෙන්නේ පුදුම දුකක්. උන්ගේ ජීවිතේ ඉවරයි. ගෝල්ෆේස් එකේ මේ අරගල කරන දරුවන්ට යෝධ ශක්තියක් ලැබෙන්න ඕනේ. දැන් අපි වයසයි. අපිට එතන ගිහින් අරගල කරන්න අමාරුයි. හැබැයි ඒ දරුවන්ට අපේ ආශීර්වාදය තියෙනවා. දැන් ගෑස් නැහැ. සබන් කැටේ පවා ගණන් ගියා. දැන් රෙදි සෝදන සබන් කෑල්ලේ ඉඳන් හැමදේම ගණන්. බඩු ඉහළ ගියපු ගමන් සල්ලි තියෙන මිනිස්සු සබන් කඩවල්වලින් අරගෙන ගියේ අවුරුදු ගාණකින් නෑවෙ නැහැ වගෙයි. නැති බැරි අහිංසක මිනිස්සුන්ට අන්තිමට වැඩි ගණනකට තමයි සබන් කැටේ ගන්න සිදුවෙන්නේ. ඊයේ හාල්මැස්සෝ එකසිය විස්සට ගත්තට අද ගිහින් බලද්දී රුපියල් දෙසීයයි. සතොසෙ තියෙන්නේ කුණු වෙච්චි බඩු. ඔය කුණු කන්න බැහැ. මේ ආණ්ඩුව කන්න නැතිව, නාන්නේ නැතිව මැරෙන්න තමයි දැන් කියන්නේ. මෙහෙම බල තණ්හාවෙන් පාලනය කරපු කට්ටියක් මට මගේ ජීවිතය පුරාවට දැකලා නැහැ. අපේ දරුවන්ගේ දරුවන් කන්න නැතිව දුක් විඳිද්දී අපි වගේ අම්මලා තාත්තලා නිකම්ම මැරිලා යාවි. ඒ සාපය මේ පාලනය කරන හොරු නඩයට කවදා හරි වඳීවි. මට දැන් වයස අවුරුදු හැටක්. හැබැයි මේ වගේ බල තණ්හාවෙන්, හොර වැඩ කරපු අය මම දැකලා නැහැ. අපි උදේ ඉඳන් අව්වට පිච්චිලා, වැස්සට තෙමිලා මේ රස්සාව කරල කීයක් හරි හොයාගන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. අද රස්සාවල් නැති මිනිස්සු ඕනතරම් ඉන්නවා. පාන්දර තුනට නැගිටලා පාන්දර හතරේ ඉඳන් අපි වැඩට එන්නේ. දවසකට බස් ගාස්තු තුන්සිය හතළිහක් ඕනේ. එක එළවළුවක් එක්ක බත් ටිකක් බැඳගෙන ඇවිත් තමයි අපි වැඩ කරන්නේ. මෙහේ කහට තේ එකක් රුපියල් හතළිස් පහක්. ඒ නිසා තේ එකක් බොන්නවත් විදිහක් නැහැ. බඩු මිල අහස උසට නැගලා මේ ජීවිතේ දැන් දුකක්.*
දෙල්ගොඩ පදිංචි සුනේත්‍රා මහත්මිය දේශයට එසේ පැවසුවාය.
මම ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ කරන්නේ. ඒකටත් මේ සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. දවසින් දවස හැම බඩුවක්ම මිල ඉහළ යනවා. ඒ හැම දෙයක්ම අපේ ජීවිතවලට බලපාලා තියෙනවා. වැඩ කරපු සේවකයන්ටත් දැන් රස්සාවක් නැහැ. අපි හැමෝම හරි අසරණ වෙලා වාහනයට තෙල් ගහගන්න විදිහක් නැහැ. පැය ගණන් පෝලිම්වල දවස ගෙවනවා. බඩු මිල ඉහළ එම දැන් දරාගන්න විදිහක් නැහැ. සිමෙන්ති ප්‍රශ්නය නිසා ඉදිකිරිම් කටයුතු තාවකාලිකව නවත්වන්න තියලා කිව්වට ඒක එහෙම කරන්නත් බැහැ. බාරගත්තු දින කාලවකවානුවට ඒවා දෙන්නත් ඕනේ. බාරගද්දී දීපු ගණන්වලට වඩා දැන් ඉහළ මිලකට තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් රස්සාවත් එපා කියලයි තියෙන්නේ. මොනව කරන්නද? කොහොම හරි බොහෝම අමාරුවෙන් ජීවිතේ ඇදගෙන යනවා.* යැයි මොරටුව පදිංචි ෂෙල්ටන් මහතා දේශයට පැවසීය.
මම නුවර කෙනෙක්. රස්සාවක් හොයාගෙන කොළඹ ආවා. කුලී වැඩකරල ජීවත් වුණා. කොළඹ නෝනලා, මහත්තයලාගේ ගෙවල්වල පවා වැඩකළා. සමහර දවස්වල කුලී වැඩ තිබුණේ නැහැ. ඒත්... කොහොම හරි ජීවත් වුණා. දැන් හිඟාකන්න තමයි වෙලා තියෙන්නේ. කඩේකට ගිහින් බත් එකක් කන්න බලද්දී අතේ තියෙන ගානට බත් එක කන්න විදිහක් නැහැ. තේ එකක් බොන්න විදිහක් නැහැ. දැන් රස්සාවක් නැහැ. ඇත්තටම රස්සාවක් කරන්න කොළඹ ආපු අපි දැන් හිඟන්නෝ වෙලා ඉවරයි. වෙනදාට අපිට මිනිස්සු කෑම ගෙනත් දුන්නා. රස්සාවක් කරගන්න විදිහක් නැතිව හිටපු අපිට මිනිස්සුන්ට අතපාන්න සිදුවුණා. ඉඳල හිටල කන්න ලැබෙනවා. නැත්නම් නැහැ. එහෙම වුණාම බඩගින්නේ තමයි ඉන්නේ. තුන්වේලටම එක බත් එක කාලා වතුර ටිකක් බීලා ඉන්න වෙලා තියෙනවා. තේ එකක් බොන්නත් දැන් අතේ සල්ලි නැහැ. රස්සාවක් නැහැ. රස්සාවක් කරගෙන මගේ පාඩුවේ කොළඹට වෙලා ඉන්නව කියල හිතල කොළඹට ආපු මට අද හිඟාකන්න වෙලා තියෙනවා.* යැයි කොළඹ නගරයේදී අපිට මුණගැසුණ පීටර් මහතා දේශයට පැවසීය.
මේ ගෙවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ වටිනා කාල පරිච්ඡේදයකි. නමුත් ඒ කාලය ඔවුන්ට ගත කරන්නට සිදුව ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසිනි. අනුන්ට අත නොපා ජීවත්වුණ මිනිස්සුන්ට අද සිදුව ඇත්තේ අනුන්ට අත පා ජීවත් වන්නටයි. ඒ තරමටම මිනිස්සු අසරණ වී සිටිති. සියලුම දේවල මිල ඉහළ යද්දී වැටුප පමණක් ඉහළ යන්නේ නැත. ඇතැමුන්ට මේ පවතින තත්ත්වය හමුවේ මේ වනවිටත් රුකියා අහිමි වී තිබේ. මේ නිසාම නිවසේ එක්කෙනකුගේ වැටුපෙන් හතර පස්දෙනකු ජීවත් කරවන්නට සිදුව ඇත. මෙය ඉතා අසරණ තත්ත්වයකි.
දවස ගානේම බඩු මිල ඉහළ යනවා. ළමයි එක්ක අපි කොහොමද ගෙවල්වල ජීවත් වෙන්නේ? ගෑස් මිල ඉහළ ගිහින්. වත්තේ මිනිස්සු භූමිතෙල් ගන්නේ රුපියල් තුන්සීයක් දීලයි. අපි ෂෙඩ් එකෙන් රුපියල් දෙසීය පනහට ලාම්පු තෙල් ගත්තේ. පහුගියදා භූමිතෙල් පෝලිමේ ඉඳිද්දී මගේ කුඩේ මාලිගාවත්ත ඇළට ගියා. ඒකෙනුත් පාඩුවුණේ අපිටමයි. ප්ලැට්වල ඉන්න නිසා දර ලිප් පාවිච්චි කරන්නත් බැහැ. ගෙදර රස්සාවක් කරන්නේ මම විතරයි. පුතා රස්සාවක් කළා. දැන් ඒකත් නැහැ. පුතාත් බැඳලා. එයාට දරුවෝ ඉන්නවා. ඒ හැමදේම බලාගන්නේ මමයි. මොනව කරන්නද? ඒ මගේ දරුවෝනේ. ඒ නිසා අපේ ජීවිත ගෙවෙන්නේ එහෙමයි. හම්බ කරන දෙයක් කන්න බොන්නවත් මදි. ආර්ථික අපහසුකම් අහස උසට තිබෙනවා. ප්‍රශ්න කෝටියයි. මේ දුක ඔය පාලකයින්ට තේරෙන්නේ නැහැ.* යැයි සහශ්‍රපුරයේ පදිංචි මොරින් මහත්මිය දේශයට පැවසීය.
දැන්නම් ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. ඉන්ධන මිල, ගෑස්, භූමිතෙල් වගේ දේවල්වල මිල ටිකක් අඩු කළා නම් අනිත් දේවල්වලත් මිල ඉබේම අඩුවේවි. මට ත්‍රීවීල් එකක් තියෙනවා. දරුවන්ව පාසලට ගෙනියන්නේ ඒ ත්‍රීවීල් එකෙන්. තුන්සීය ගානේ තෙල් ගහගෙන යන්න හරි අමාරුයි. අද බනිස් එකක් රුපියල් හැත්තෑවක්. අසූවක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ පොත්පත්වල මිල දැන් හරි ගණන්. සපත්තු ගණන්. පව්... මේ දරුවෝ. ඉගෙන ගන්න විදිහක් නැහැ. දැන් හැමදේම ගණන් යනවා. සබන් කැටේ ඉඳන් ගණන්. ඒකත් පොඩි ගාණකින් ගණන් යන්නේ නැහැ. සමහර ඒවා ගණන් යන්නේ නොකියාමයි. උදේ පාන්දර කඩේ ගිහින් බලද්දී තමයි බඩුවල මිල ඉහළ ගිහින් කියල අපි දන්නේ. ඇත්තටම මේ කාලය තරම් මිනිස්සු අසරණ කරපු කාලයක් මගේ මතකයේ නැහැ.* යැයි ග්‍රෑන්ඩ්පාස්හි අශෝක මහතා දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ