2022 මැයි 01 වන ඉරිදා

අරගලය මැදින් එන ව්‍යවස්ථා සංශෝධන යෝජනා

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 122

නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය අවසන් කර ගැනීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම විකල්පය බව බොහෝ පාර්ශ්ව විශ්වාස කරති. එනිසාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධ යෝජනා කෙටුම්පත් කිහිපයක්ම මේ වනවිටත් ඉදිරිපත් වී තිබේ. එම යෝජනා සහ කෙටුම්පත් තුළ අන්තර්ගත වී ඇති කරුණු මොනවාද? මෙම යෝජනා කෙටුම්පත් හරහා අර්බුදයට විසඳුමක් ලැබේද? මේ සාකච්ඡා ඒ හා සම්බන්ධවය. 

විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවේ ප්‍රධාන පාර්ශ්ව තුනකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙම කණ්ඩායම් ත්‍රිත්වයයි. නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව ප්‍රථමයෙන්ම අවධාරණය කරනු ලැබුවේ විපක්ෂ කණ්ඩායම්ය. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී ඇති විරෝධතා හමුවේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම ඔවුන්ගේ අරමුණ විය.

අර්බුදය දික් ඇදෙන විට ආණ්ඩුවට ද එය විසඳුමක් ලෙස දකින බව පෙනී ගියේය. ඒ අනුව ඉකුත් අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රට තුළ දේශපාලනික, ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඇතිකිරීමේ ආරම්භක පියවරක් වශයෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය සහ කාලීන සංශෝධනයක් සහිතව ප්‍රජාත්‍රන්තවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම ක්‍රියාමාර්ගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සහිතව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා ගමන් කිරීම සඳහා රජය ගන්නා වෑයමට පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සහාය අපේක්ෂා කරන බව අගමැතිවරයා කීය. 

“ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බවයි මගේ විශ්වාසය. ඒ ඔස්සේ යමින් අතිගරු ජනාධිපතිතුමාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහායත්, ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා."

කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ  සාකච්ඡාවට පළමුව එළැඹ සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔවුන් තනිව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම ද මීට කලකට පෙර අරඹා තිබුණි. උද්ගත වූ තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සිය යෝජනාවලිය කතානායකවරයා වෙත ඉදිරිපත් කළෝය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මූලිකත්වයෙන් නිර්මාණය වී තිබුණි. එය මෙම කණ්ඩායම විසින්  හඳුන්වනු ලැබුවේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි. මෙම යෝජනාවලියේ අන්තර්ගතය සලකන විට කරුණු කිහිපයක් ඉස්මතු කර දැක්විය හැකිය. මෙම කෙටුම්පත හරහා කතානායකවරයාගේ සභාපතිත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනා ඇතුළත් කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳ කරුණු ද එහි ඇතුළත් අතර, මැතිවරණ කොමිෂන් සභාව හැර අන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, පාර්ලිමේන්තුවට පිළිතුරු දීමට බැඳී සිටිය යුතු බවත් කෙටුම්පතේ දක්වා තිබේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, කොමිෂන් සභාවල කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුතු බව ද මෙම කෙටුම්පතේ සඳහන්ය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම මෙහි අරමුණ බවයි.

“අද දින අපි 40 දෙනා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් ඔබතුමාට භාර දුන්නා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මූලික වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ 20 සංශෝධනයෙන් ගෙනාපු ගුණාංග එතනින් ඉවත් කරලා, 19 වැනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරෑපයෙන් විධායක - ව්‍යවස්ථාදායක බල තුලනයක් මගින් රටේ පරිපාලනය ගෙන යාම සඳහායි,”

මේ අතර සමගි ජන බලවේගය විසින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා කතානායකවරයා වෙත භාරදීම සිදු විය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු යෝජනා රුසක් එහි ඇතුළත් විය. අප්‍රේල් 21 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාර දී ඇති අතර ඉන් අනතුරුව එම කෙටුම්පත ඔවුන් කතානායකවරයා වෙත භාර දී තිබුණි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශ්ව බලය බෙදාහැරීමට අදාළ සංශෝධනය, 20 වැනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම ආදී යෝජනා එහි අන්තර්ගත වී තිබුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව සඳහන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෙටුම්පත ඉදිරිපත් වූ බව පෙනී ගියේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව සමගි ජන බලවේගය විසින් ද ඉකුත් සතියේ ප්‍රබල විවේචන ඉදිරිපත් කළේය. 

ඒ අනුව කෙටි කාලයක් තුළදී රට අගාධයට ඇද වැටීමට තවත් හේතුවක් වූයේ 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ  බලතල වැඩි කිරීම බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර තිබුණි. 

“එදා තිබුණු ස්වාධීන කොමිෂන් සභා ආයතන කිසි දෙයක් අද ස්වාධීන නැහැ. අද මැතිවරණ කොමිසමට කවුද දාලා තියෙන්නේ. පොහොට්ටුව කාර්යාලයේ වැඩ කරපු අය. ඒ අය ස්වාධීන අය නෙමෙයි. මේ බලය එක පුද්ගලයෙක්ගේ අතට දුන්නා. එම පුද්ගලයා වැරදි තීරණ ගත්තා. පාර්ලිමේන්තුවෙන් ඇහුවෙත් නෑ. කැබිනට් එකේ කතා කරන්න බයයි. එම නිසා වැරදි තීන්දු තීරණ ගත්තා. පොහොර සහනාධාරය පැය 24න් නැති කෙරුවා. වසරකට කලින් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වම ගියේ නැහැ. එම වැරදි තීරණ නිසා තමයි රට අගාධයට වැටුණේ. අද සමහරු පාර්ලිමේන්තුවට දොස් කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව අද සත පහට වැටිලා. කිසිම බලයක් නැහැ."

මේ අතර ඇතැම් පක්ෂ මෙන්ම කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් සමගි ජන බලවේගය සිය යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් අප්‍රේල් 22දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

ආණ්ඩුව පාර්ශ්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වූ අදහස් නව කැබිනට්ටුව වෙත ද යොමුවිය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට ඉකුත් අප්‍රේල් 25දා රුස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන මූලික කෙටුම්පත හැකි ඉක්මනින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට තීරණය විය. 19 වැනි සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල සාධනීය කරුණු ඇතුළත්ව පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන පරිදි නව ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ යුතු යැයි කැබිනට්ටුව තීරණය කළේය.
මේ අතර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සලකා බලා පොදු එකඟතාවයකින් යුත් කෙටුම්පතක් සකස් කිරීමේ අවශ්‍යතාව ද කැබිනට්ටුවේ දී සාකච්ඡා වී තිබුණි. ඒ අනුව ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් කිරීමට එකඟතාවක් ඇතිවිය. එම යෝජනාව ඉදිරිපත් කිරීමේ වගකීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරුණි. මේ අතර පක්ෂ නායකයන් කැඳවා නව ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට කතානායකවරයා ද තීරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා එකඟතා නිර්මාණය කර ගැනීම නැමැති භාරධූර අභියෝගය ඔවුන් සියලු දෙනා හමුවේ ඉතිරිව තිබුණි.

චමිඳු නිසල් ද සිල්වා