2022 මැයි 01 වන ඉරිදා

ඔක්කොම ජප කරන අන්තර්වාර මන්තරේ

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 83

මේ දිනවල ඇසෙන සියලු දේශපාලන වාක්‍ය ඛණ්ඩයකම අන්තර්වාර පාලනය නම් වූ වදන ඇතුළත්ය. තවදුරටත් ප්‍රායෝගික යථාර්ථයක් නොවන මුත් පවතින දේශපාලන අර්බුදයට එකායන විසඳුම අන්තර්වාර පාලනය බව බොහෝ පාර්ශ්ව විශ්වාස කරයි. එහෙත් ඒ සඳහා එකඟතා නිර්මාණය කර ගැනීම නම් සංකීර්ණ අභියෝගයට ශ්‍රී ලාංකීය දේශපාලනඥයෝ මැදිව සිටිති.

අන්තර්වාර පාලනයක් ගොඩනගා පවතින දේශපාලන අර්බුදය කළමනාකරණය කොටගෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූයේ මීට මාස කිහිපයකට පෙරය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ එකොළහ කණ්ඩායම මෙම මතය සමාජගත කිරීමට මූලික විය. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විපක්ෂයේ ඇතැම් කොටස් ද අන්තර්වාර යෝජනාවට පක්ෂව අදහස් දක්වන්නට විය. 

කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලය සහ රට පුරා ක්‍රියාත්මක වූ විරෝධතා මෙම යෝජනාව ඉදිරි පෙළ සංවාදයට පැමිණීමට හේතු විය. ගෝඨා ගෝ හෝම් සටන් පාඨය ද අන්තර්වාර යෝජනා කෙරෙහි තදබද ලෙස බලපෑවේය. ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම් ඔහුව ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීම පහසු නොවන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නේය. ඒ අනුව ජනාධිපතිවරයා එලෙසම සිටිය දී ආණ්ඩුව ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ මොහොතේ අන්තර්වාර පාලනය වෙනුවෙන් ඍජු ලෙස පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමයි. ඊට අමතරව සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බව මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, කතෝලික පූජකවරුන් ඇතුළු සෙසු ආගමික නායකයන් මෙන්ම බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් ද යෝජනා කර තිබේ. කෙසේ වෙතත් අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, විපක්ෂ නායකවරයාගේ මෙන්ම ජාතික ජන බලවේගයේ ද අදහස් ව්‍යාකූලය. 

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට නම් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීම හෝ විශ්වාසභංගයක් හරහා බලයෙන් පහ කිරීම සිදුවිය යුතුය. තමා ඉල්ලා අස් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් පවසා තිබේ. එක් අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවුවහොත් එහිද අගමැති තමා බවය. තවත් විටක අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ එකසිය දහ තුනක බහුතරය යමකු පෙන්වයි නම් තමා ඉවත් වීමට සූදානම් බවයි. 
අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කරන අතරතුර ඉකුත් සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියකින් දැනුම් දී තිබේ. තොරතුරු වාර්තා වන පරිදි එම ලිපියෙන් ජනපති ඉල්ලා ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙසයි. මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉකුත් සිකුරාදා විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබුණි.

අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදාගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමඟ කළ විශේෂ සංවාදයකදී පවසා තිබුණි. අන්තර්වාර රජයක තනතුරු භාර නොගන්නා බව ද ඔහු ඊට පෙර සඳහන් කළේය. 

‘’රට ඉල්ලන්නේ නැති දෙයකට සක්විති රජකම දෙනවා කිව්වත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරු හරි බහුතර කණ්ඩායමක් කිව්වොත් නෑ මේකම කෙරෙන්න ඕන කියලා ඒගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕන විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචි අරුචිකම් අනුව ගනුදෙනු කරන්න.’’

කෙසේ වෙතත් විශ්වාසභංගය රුගෙන ඒම පමා කරමින් විපක්ෂ නායකත්වය රුකගැනීමට සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බවට ද මේ අතර පාර්ශ්ව කිහිපයක් චෝදනා කළේය. එම චෝදනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කොට තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණද අන්තර්වාර පාලනයක් තමන් භාර නොගන්නා බව පැවසීය. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සිදු කර තිබුණේ මෙවන් පැහැදිලි කිරීමකි.

“ජනාධිපතිවරයා ඉවත් වී ආණ්ඩුව ඉවත් වී කෙටිකාලීන අන්තර්වාර පාලනයක් ගොඩනැගිය යුතු බවට විශාල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. කෙටි කාලයකින් පසු මහා මැතිවරණයක් පවත්වා ස්ථාවර පාලනයක් ගොඩනැගීමට අවස්ථාව ලබාදිය යුතුයි. බැලූ බැල්මට සාධාරණ විසඳුම් යෝජනාවලියක් ලෙස පෙනුණත් අන්තර්වාර පාලන ආණ්ඩු, සභාග, සර්වපාක්ෂික වශයෙන් ආණ්ඩු නැහැ. පිහිටවනු ලබන්නේ ආණ්ඩුයි. එකතුවෙන පාර්ශ්වයන් අතර, එකඟතාවයකින් ආණ්ඩුව පවත්වාගෙන යන්න අවුරුද්දක් හෝ මාස හයක් වැනි කාලයක් සඳහා සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ එකතුවෙන පාර්ශ්වයන්ට ඒ සම්මුතිය ඕනෑම වෙලාවක බිඳින්න පුළුවන්. සර්වපාක්ෂික ආණ්ඩු, අන්තර්වාර පාලන ආණ්ඩු, වශයෙන් නම් කරන හැම එකක්ම රඳා පවතින්නේ ජනාධිපතිවරයා මත. ඔහු විශ්වාස කළ හැකිද?” 

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී අන්තර්වාර පාලනය පිළිබඳ මතභේදාත්මක සාකච්ඡා ඇතිවූ බව ද වාර්තා විය. තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටින පාර්ශ්වයන් ද මේ වන විට අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් මතවාදී වශයෙන් කඳවුරු දෙකක සිටින බව පෙනී යයි. කෙසේ වෙතත් අන්තර්වාර පාලනයක් බිහි කරන්නේ නම් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පිරිස සහ තවදුරටත් ආණ්ඩුවේ සිටින පිරිසගේ එකඟතාවයකින් එය බිහිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අන්තර්වාර පාලනය සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ ඊට සහයෝගය දැක්විය යුතුය. එය එලෙස සිදුවීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවකි.

අන්තර්වාර පාලනය දේශපාලන අර්බුදයට විසඳුමක් විය හැකිමුත් පවතින සියලු අර්බුදවලට විසඳුමක් නොවෙයි. කෙසේ වෙතත් ස්ථාවර ආණ්ඩුවක් පැවතීම ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. විපක්ෂ කණ්ඩායම් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමටත්, ආණ්ඩුවේ රාජපක්ෂ කඳවුර තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමටත්, ස්වාධීන කණ්ඩායම් බලය ලබාගැනීමටත් දරමින් සිටින උත්සාහය තුළ අන්තර්වාර ආණ්ඩුවක් බිහිවීම තවදුරටත් කල්‍ යනු ඇතැයි පෙනී යයි. 

 ‍චමිඳු නිසල් ද සිල්වා