2022 මැයි 08 වන ඉරිදා

සැනසිල්ල සොයන සමාජය කෝපයෙන් සහ ශෝකයෙන්!

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 117

ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින සමාජ ආර්ථික අර්බුදය ජාත්‍යන්තරයේ අවධානයට පත්ව තිබේ. සෑහෙන රටවල් ප‍්‍රමාණයක් හදිසි ආධාර ප‍්‍රකාශයට පත්කර ඇත. මානුෂීය ආධාර වශයෙන් බෙහෙත්, ආහාර හා වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට ඉදිරිපත්ව සිටී. ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවා ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කර ශ‍්‍රී ලංකාවට නැවත නැගී සිටින පියවර සඳහා උපකාර කරන්නට සූදානම්ය. 

මෙරට ඉතිහාසයේ දරුණුම විනිමය හිඟය වාර්තා වන බව දැක්වේ. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ පරිදි විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් දක්වා පහත වැටී ඇත. සාමාන්‍යයෙන් ඉන්ධන නැවක් මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති බව නොරහසකි. ඉන්ධන, විදුලිය හා ගෑස් හිඟය ජනතාව පාරට බැස අරගල කරන තැනට පත්කරන ලද අතර මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යෑම ගැටලු සහගත වී ඇත. රටපුරා ඇති උද්ඝෝෂණ අලුත් මුහුණුවරක් ගනිමින් තිබේ. ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරන එක වැදගත් ප‍්‍රකාශයකි. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, බලයේ සිටින ආණ්ඩුවක්  ඉවත් කරන ආකාරය දක්වා ඇත. එයට පිටස්තර තීරණ ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය. දැනට ඇති අර්බුදකාරී ස්වභාවයෙන් ගැලවෙන්නට ආණ්ඩුව ඉවත් කළ යුතුම නම්, එහි හිස්තැන පිරුවීම කරන ආකාරය ගැන විපක්ෂයට ද බරපතල වගකීමක් ඇත.

ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයේ දිග පළල සඳහා හේතුව බලශක්ති ප‍්‍රශ්නයක් බව මැදහත්ව කල්පනා කරන ඕනෑම කෙනකුට පෙනේ. පසුගිය කාලයේ පැය දොළහ ඉක්මවන විදුලිය කප්පාදුවක් ක‍්‍රියාත්මක විණි. වසර දෙකක් නිවසට කොටු වී සිටි ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සූදානම් වනවිට විදුලිය කපා හැරීම කිසිසේත් දරාගත නොහැකි විය. එයට සමාන්තරව ඉන්ධන හිඟයක් පැවැතිණ. වැඩිම ප‍්‍රවාහන අවශ්‍යතා සහිත කාලයේ පෙට‍්‍රල් හෝ ඩීසල් හිඟය විශාල වියවුලක් ඇති කළේය. ඒ වනවිටත් පැතිරෙමින් තිබුණ ගෑස් හිඟය රට තවත් අවුලවන හේතුවක් වූ බව නොරහසකි. විදුලිය හිඟය සම්බන්ධයෙන් කාලගුණ තත්ත්ව, නිසි අන්දමට විදුලිය උත්පාදන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවීම බලපාන ලද නමුත් විදුලිය, ඉන්ධන හා ගෑස් සම්බන්ධ ප‍්‍රශ්නයේ කෙළවර ගැට ගැසී තිබුණේ විනිමය හිඟයයි.  

අවශ්‍ය තරමට විදේශ සංචිත තිබුණි නම් ජාත්‍යන්තර වෙළඳ පොලේ බොරතෙල් හා ගෑස් මිල ඉහළ නගින කාලයේ පවා ආනයන කරගෙන යන හැකිය. රුසියාව හා යුක්රේනය අතර හටගත් ගැටුම් මධ්‍යයේ එවකට ඇමරිකානු ඩොලර් 60ක තිබුණ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 116 දක්වා දෙගුණයකට ආසන්න මිල වැඩිවීමක් වාර්තා කෙරිණ. ගෑස් මිලද නොසිතූ පරිදි ඉහළ ගියේය. එවකට පැවැති ස්වභාවය අනුව විදේශ ණය හා පොලිය වාරික නොගෙවා අසාදු රටක් බවට පත්වීම වෙනුවට කෙසේ හෝ ණය ගෙවමින් සංචිත කළමනාකරණයට ප‍්‍රයත්න දැරීය. සංචාරක කර්මාන්තය දියුණුවන අතර මැදපෙරදිග ඇතුළු රටවල සිටින විගමනිකයන්ගේ ප්‍රේෂණ යහමින් අපේක්ෂා කළේය. ඇමරිකානු ඩොලරය අවප‍්‍රමාණයවීම බලහත්කාරයන් නතර කර ඩොලර් රට කැඳවන්නට ගත් තීරණ මහත් විකෘතියකට මග පෑදීය.

ආර්ථිකයක තේරුම සරලය. ආදායමක් හා වියදමක් තිබේ. ඉල්ලුම හා සැපයුමක් ඇත. මෙම පැති අනුව තීරණ ගත යුතුය. ශ‍්‍රී ලංකාවේ 2022 අය වැය සැලැස්ම අදට වලංගු නැති බව පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ වී ඇත. පසුගිය වසරේ සැලසුම් කරනලද ආකෘතිය සහමුලින්ම වෙනස් වී තිබේ. මෙවැනි හදිසි වකවානුවක ස්ථාපිත කරන තාවකාලික ආණ්ඩුවක් අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම වටී. ආදායම වැඩි කරගන්නා මාර්ගය සහ රටට ඇති ආදායම අනුව ජීවත්වන මාර්ගය පාදා ගත යුතුය. මහා භාණ්ඩාගාරය දක්වන පරිදි ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 8.7 තෙක් පහත වැටී ඇත. 2015 අවුරුද්දේ සියයට 15ක ප‍්‍රතිශතයකට තිබුණ ජාතික ආදායම මෙම දුර්වල තැනට පත්වූ පසු වියදම් කළමනාකරණය කරන්නේ කෙසේද? ජාතික ආදායමෙන් සියයට අසූවකට වඩා කොටසක් ණය පොලිය හා වාරික ගෙවන්නට වැය කෙරේ. ඉතිරි සියයට විස්සක කොටසකින් ජාතික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකිද? ජාතික ආරක්ෂාවට යන වියදම පවා මුදල් ණයට ගෙන කරන රටක පැවැත්මක් නැත.

මෙම ආකෘතිය වෙනස් කළ යුතුව ඇත. ඉතාම සුපිරි ධනවතුන් හා ඉතාම දුප්පත් ජනතාව සහන මිලට විදුලිය, ජලය හා ඉන්ධන පරිභෝජනය කරන ක‍්‍රමය අහෝසි කළ යුතුය. රජයේ සේවා සඳහා පිරිවැයට ගෙවන ක‍්‍රමයක් ඇති කළ යුතු අතර සමාජයේ පහළ ස්ථරයේ සිටින කොටස සඳහා කෙලින්ම සහනාධාර ලැබෙන පිළිවෙළක් යෝජනා කිරීම වටී. ඉන්දියාව එවැනි ක‍්‍රමයක් අනුගමනය කරයි. ආධාර් කාඩ්පතක් ඇති අතර එහි හිමිකරුගේ සියලු තොරතුරු එක අංකයක තිබේ. දුප්පත් පුද්ගලයෙකුද නැද්ද යන්න බැංකු ගිණුම අනුව පවා සොයාගත හැකි පරිදි තාක්ෂණයෙන් බලගන්වා ඇත. ඉන්ධන, ගෑස් හෝ විදුලිය පරිහරණයේදී එකම ගාස්තු ක‍්‍රමයක් බලපවත්වන අතර දුප්පත් පුද්ගලයන්ට සහන මිල කෙලින්ම බැංකුවට බැර කෙරේ. මෙම දිනවල ගෑස් සිලින්ඩරයක් රුපියල් 950 කි. ශ‍්‍රී ලංකාවේ මිල අනුව රු.4275.00 කි. ආධාර් ක‍්‍රමයට ඇතුළත් ඉන්දීය ආධාර ක‍්‍රමය අනුව වසරකට නිවෙසකට ගෑස් සිලින්ඩර් 12ක් වෙන්කරන අතර ඒ සඳහා ආපසු ගෙවන මුදල ඉන්දීය රුපියල් හය දහසකි. මේවා කෙලින්ම අඩු ආදායම් ලැබෙන ජන කොටසට වරප‍්‍රසාදයක් වන අතර පොහොසතුන්ටද එකම මිලක් ගෙවන පරිදි ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය නොවේ. මෙවැනි වෙනස්කම් ශ‍්‍රී ලංකාවද අනුගමනය කළ යුතුව ඇත. 

ආදායම වැඩි කරගෙන නැවතත් මැදි ආදායම් රටක තැනට එන්නට අඩුම තරමින් වසර දෙකක් හො තුනක් ගතවිය හැක. ඡන්දයට එන දේශපාලන පක්ෂයක් ඔවුන් ඉතාම ඉක්මනින් රට නැවත යථා තත්ත්වයට ගෙන එන බව කියා සිටියහොත් විශාල රුවටිල්ලකි. ඉතිහාසය පුරා අප මිත්‍යා කතාවලට ගොදුරු වී ඇත. හඳෙන් හාල් සිට ධාන්‍ය රාත්තල් අට හරහා වංචා දූෂණ මැඩ පාන් රාත්තල තුනයි පනහට දෙන බව දේශපාලනඥයන් ප‍්‍රකාශ කළ රටකි. ඇත්ත එය නොවේ. නිෂ්පාදනය, සේවා අංශය වර්ධනය කළහොත් ආර්ථිකය හැදේ. එයට පිළිවෙළක් හෝ ප‍්‍රතිපත්ති අවශ්‍යය. අයෝජන  සඳහා රට ගැන විශ්වාසයක් ගොඩනගා ගත යුතුය. අරගල කරන රට තුළ නොසන්සුන් තත්ත්වය පවතින කිසිම අවස්ථාවක දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු ධනය යොදවන්නේ නැති බව මතක තබාගත යුතු කරුණකි. අනෙක වසර පහක් දහයක් දක්වා නොවෙනස්වන බදු ප‍්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. ආයෝජනය කර එය පවත්වාගෙන යන අතරවාරයේ නීති වෙනස් කිරීමෙන් විශාල විනාශයක් සිදුවේ. 

ආර්ථික අර්බුදයකට පත් රටක් අනුගමනය කරන නිවැරදි ප‍්‍රතිපත්ති අනුව නැවත ගොඩනැගෙන ක‍්‍රම දෙකකි. එකක් වී හැඩයේ වන අතර අනෙක යූ හැඩයේ ආර්ථික වර්ධනයකි. ඉක්මන් තීරණ ගෙන විශාල ප‍්‍රතිසංස්කරණ අනුගමනය කළහොත් වී හැඩයේ වර්ධනයකට යා හැක. ආර්ථිකය වැටුණු වේගයෙන්ම ආපසු නැගී සිටිනු ඇත. බදු සංශෝධන, පොලී අනුපාත, විනිමය අනුපාත, ආයෝජන නිදහස, නිෂ්පාදන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීම යනාදී වශයෙන් තීරණ වල ලැයිස්තුවක් තිබේ. ඒවා මිහිරි නැත. සමාජයට කැපවීමක් කරන්නට සිදුවේ. සහන අඩුකරන මිල නංවන තීන්දු ඉදිරියේ විශාල ගැහැටක් අත්පත් වේ. එහෙත් ඉක්මනින් කරුණු නිරාකරණය වනු ඇත. තීරණ නොගෙන ස්වභාවිකව නැගෙන්නට කාලයක් ගත වියහැකි අතර එය යූ හැඩයේ වර්ධනයකි. දැන් පවතින දුෂ්කරතා සෑහෙන කාලයක් එසේම පැවැතීමෙන් අනතුරුව වර්ධනයක් කරා ගමන් කෙරේ. ප‍්‍රතිසංස්කරණ වලට හදිස්සි නොවන ස්වභාවය මත ඒවායේ පීඩනය රටට එතරම් දැනෙන්නේ නැත. 

දැන් පවතින අර්බුදය ඉදිරියේ ජනතාව ගත යුතු තීන්දුවක් තිබේ. ඉක්මන් ප‍්‍රතිකර්ම වලින් ඉක්මන් විසඳුමක්ද අලස වෙනස්කම් හමුවේ දිග කාලයකට පසු ළඟා කරගන්නා වර්ධනයක්ද යන්නය. නිදහස ලැබූ දිනයේ සිට දශක හතහමාරකට වැඩි කාලයක් දුක් විඳින ලද, පටි තදකරගන්නා ලද ජනතාව මෙම තීරණාත්මක අවස්ථාවේ දී තීරණයක් ගත යුතුව තිබේ. නැවත වතාවක් රැවටිය යුතු නැත. කළයුතු වෙනස පැහැදිලිය. ආදායම වැඩි කරගත යුතුය. වියදම පාලනය කරගත යුතු අතර ඉල්ලුම හා සමාන සැපයුමක් පවත්වා ගෙන යා යුතුව තිබේ. එයට ගැලපෙන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන අවංක දේශපාලනය හඳුනාගැනීම ඉතාම වැදගත්ය.

 සාරා කන්දෙගොඩ