රට වනසපු හොරු වළල්ල තොග පිටින් එළියට ඉකුත් සතියේ දේශපාලන කතිකාවේ ප්‍රමුඛ අවධානයක් දිනූ තවත් සිදුවීමක් වූයේ මෙම හෙළිදරව්වයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත් මැයි 03 වැනිදා පැවැත්වූ විශේෂ මාධ්‍ය සහ සාකච්ඡාවකට සමගාමීව මෙම හෙළිදරව්ව සිදුවුණි. එය ජාතික ජන බලවේගය සංවිධානය කළේය.
ශ්‍රී ලාංකීක දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, නීති ක්ෂේත්‍රයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු මෙරට ආණ්ඩුකරණයට සම්බන්ධ වූ පාර්ශ්ව රැසකට අදාළ වංචා දූෂණ සම්බන්ධ චෝදනාවල මෙහිදී සමාජගත විය. එම වංචාවන්ට අදාළ තොරතුරු ලිපිගොනු ජාතික ජනබලවේගය විසින් මෙහිදී හෙළිදරව් කරනු ලැබීය. ඔවුන් විසින් හෙළිදරව් කරන ලද තොරතුරුවල සංක්ෂිප්ත උපුටා දැක්වීමක් සිදු කිරීමට අපි අදහස් කළෙමු.
කෙසේ වෙතත් ඊට පෙර මෙම හෙළිදරව්ව සඳහා පාදක වූ දේශපාලනික සිද්ධිදාමය පැහැදිලි කළ යුතුය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට සති කිහිපයකට ඉහතදී දූෂිත වළල්ලේ තොරතුරු හෙළිකිරීමට සූදානම් බව ප්‍රකාශ කළේය. පසුව ඊට පාර්ශව කිහිපයක් අභියෝග කොට තිබුණි. ඒ අතර ඇනෝනිමස් නම් හැකර්වරුන් මෙරට දේශපාලනඥයන්ගේ වත්කම පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් වන බවක්ද ප්‍රකට විය. කෙසේ වෙතත් එහි සත්‍යතාව ගැටලු සහගත විය.
මේ අතර අරගලය තුළ නිර්මාණය වී තිබූ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නම් ප්‍රමුඛ සටන් පාඨයද ප්‍රබල ලෙස ජනගත වී තිබුණි. එම නිසාම හොරු ඇල්ලීම,හොරා කෑ දෑ නැවත ලබා ගැනීම ආදී වූ එම සටන් පාඨද මෙම හෙළිදරව්වට උත්තේජනයක් විය. හෙළිදරව්ව සිදු වන තුරු දින ගැනීමද හෙළිදරව්ව පමා වනවිට අවලාද කීමද සමාජ මාධ්‍ය කැපී පෙනෙන සිදුවීමක් විය.
මේ අනුව මැයි 03 වැනිදා හෙළිදරව්ට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
අපි මේ ෆයිල් ගැන කිව්වම ගොඩක් දෙනකුට ලොකු උනන්දුවක් ඇතිවුණා. මේවා එළියට දාන්න කියලා අපිට නොයෙක් ලෙස බලපෑම් කළා. ඒ අය අතර ඇත්තටම මේවායේ තියෙන දේ මොනවද කියලා ස්වභාවය දැනගන්න ඕන අය වගේම, ඒ ගැන සැකයෙන් සමච්චලයෙන් ඉල්ලීම් කරපු අයත් ඉන්නවා. ඒ වගේම මේ වගේ තොරතුරු දැනගෙන ගැලවෙන්න උත්තර හදාගන්න ෆයිල් ඉල්ලන හොරුත් ඉන්නවා.
ඒ අනුව ඔහු මෙහිදී කියා සිටියේ මෙසේ හෙළිදරව් කරනුයේ තමා ඇතුළු පිරිස් නඩු දමා අතරමග නැවතුණ ලිපිගොනු, මේ වනවිටත් විභාග වන වංචා පිළිබඳ ලිපිගොනු, තවදුරටත් විමර්ශන මට්ටමේ පවතින ලිපිගොනු, විමර්ශන අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුවේ රහසිගත ලාච්චුවල සැඟවී ඇති ලිපිගොනු බවයි. මෙහිදී ලිපිගොනු කිහිපයක් විවෘත කොට ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමද සිදුවුණි. පසුව පිරිස විසින් තෝරා දෙන ලද ලිපිගොනුද විවෘත කොට ඉදිරිපත් කරන ලදී. එහිදී හෙළිදරව් වූ තොරතුරු පිළිබඳ සංෂිප්ත තොරතුරු මෙසේය.
ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 3.3ක් අයථා පරිහරණය පිළිබඳ තොරතුරු පළමුව අනාවරණය කෙරුණි. අනතුරුව මැතිවරණයට දින කිහිපයකට පෙර ගිං, නිල්වලා ව්‍යාපෘතිය සඳහා මිලියන 4100ක් චීන සමාගමකට ලබාදීම හා චීන සමාගම තිරු නඩේෂන්ගේ සමාගමකට අයත් වෙනත් ගිණුමකට ඩොලර් මිලියන 5ක් මාරු කිරීම හා එම මුදල් යොදාගෙන මල්වානේ ඉඩම මිලදී ගැනීම පිළිබඳවද තොරතුරු ඉදිරිපත් විය.
එයාර් බස් ගනුදෙනුව පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම සිදු වූයේය. ඒ හරහා ගුවන් යානා 14ක් මිලදී ගැනීම සහ වටිනාකම ඩොලර් බිලියන 2.2ක් වූ මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වෙන්නේ එවක කතානායක චමල් රාජපක්ෂගේ නිවසේ බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. මෙම ගුවන් යානා මිලදී ගැනීමේදී කප්පම් වශයෙන් ඩොලර් මිලියන 16ක් යෝජනා වී ඇති අතර එයින් ඩොලර් මිලියන 02ක් කප්පමක් ලෙස ලබාගෙන ඇති බවද ඔහු කීය.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදි කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදුකළ ගනුදෙනුවකින් මුදල් වංචා කිරීම, 2011 වසරේ සිට ව්‍යාපෘති 51ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැමැත්ත ප්‍රකාශය මත කැබිනට් අනුමැතියෙන් පමණක් සිදුකර ඇති අතර එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 7918ක් වීම. මේ ආදි සිදුවීම් පිළිබඳ විවිධ ආකාරයේ තොරතුරු හෙළිදරව් කිරීම් මෙහිදී සිදු වුණි.
මේ අතර හිටපු මහ බැංකු අධිපති විසින් ඩොලර් මිලියන 6.5ක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරෑපය ගොඩනැගීම සඳහා අමෙරිකාවේ CIA නියෝජිතයකුට ලබාදී ඇති අතර අදාළ CIA නියෝජිතයා වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අසමත්වීම නිසා මේ වනවිට අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවක්ද මෙහිදී කියැවුණි. එසේම යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලයිස්තුව ගැන හෙළිදරව්ව සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේපළ ලයිස්තුවක් සම්බන්ධයෙන්ද මෙහිදී හෙළිදරව්වද විශේෂ අවධානයක් දිනා ගත්තේය. තවද 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගැනීම සම්බන්ධයෙන්ද අනාවරණයක් සිදුවිය.
මේ අතර ඇවන්ගාඩ් ව්‍යාපෘතිය හරහා රජයට ලැබෙන මුදල නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් විසින් සියයට 25 සිට 17 දක්වා අඩු කිරීම තුළින් සිදුවූ වංචාව සෙවූ හිටපු අල්ලස් කොමිසමේ සභාපති දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කළේ මෙම පරීක්ෂණය සිදුකිරීම හේතුවෙන් බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව තවත් වංචා දූෂණ සම්බන්ධ ලිපිගොනු රුසක් මෙහිදී ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වත්කම් හා දේපළ පිළිබඳව හෙළිදරව්වක්, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධව හෙළිදරව්ව, සඳහිරු සෑයේ රන් පිළිමය තැන්පත් කිරීම පිළිබඳ හෙළිදරව්ව ඉන් කිහිපයක් පමණි.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවට පමණක් නොව හිටපු ආණ්ඩුවේ පාර්ශවකරුවන් වෙතද මෙහිදී චෝදනා ඉදිරිපත් කෙරුණි. බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිළිබඳවද ඒ අනුව කරුණු අනාවරණය සිදුවිය. තවද වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය යහපාලන සමයේ සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් අවභාවිත කළ බවට වන චෝදනාව සම්බන්ධවද තොරතුරු ඉදිරිපත් විය.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර යන අයද මෙහිදී අදහස් දැක්වූහ.
ජාතික ජන බලවේගයේ මෙම හෙළිදරව්වත් සමග මෙහිදී නම් සඳහන් වුණු ඇතැම් පිරිස් සිය නිර්දෝෂීභාවය පිළිබඳ නිවේදන නිකුත් කළෝය. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිළිබඳව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. මෙම මාධ්‍ය හමුවේදී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තහෙළා දකින බවද එහි සඳහන් විය.
නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේදී ගෙවා ඇති බවට ජවිපෙ නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ ඔහු අවසානයේදී නීතිමය පියවර ගන්නා බවද පවසා තිබුණි.
මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්තිනාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ එම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒවාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන් වෙත එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දැක්වූයේය. &මට සහ මගේ දරුවන්ට කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලීසිය භාර ඇමතිවරයාට දෙන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අදම මගේ හෝ මගේ දරුවන්ගේ නම් සඳහන් කර තිබූ සෑම ලියවිල්ලක්ම පොලීසියට දෙන්න නීතිපතිවරයාට දෙන්න ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා.
මේ අතර සමගි ජනබලවේගයද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කොට තිබුණි. මේ ආදී වශයෙන් මෙහිදී නම් සඳහන් වූ බොහෝ පාර්ශවයන් සිය නිර්දෝෂිභාවය ප්‍රකාශ කරන්නට උත්සාහ කරමින් සිටියේය. කෙසේ වෙතත් මෙම සියලු ලිපි ගොනුවල අන්තර්ගත වන තොරතුරු මේ මොහොතේ පවතින්නේ චෝදනා ලෙස බැවින් ඒවා හරහා වැරදිකරුවන් නම් කිරීමට කිසිවකුට අයිතියක් නැත. එහිදී අධිකරණ ක්‍රියාවලියක් හරහා මෙම චෝදනා විමසා බලා වරදකරුවන්ට දඬුවම් ලබාදීම ෙයා්ග්‍ය ක්‍රමයයි.
චමිඳු නිසල් ද සිල්වා