විල්සන් කරු යන ආදරණීය නාමයෙන් ප්‍රේක්ෂකයන් විසින් හඳුන්වනු ලැබූ විල්සන් කරුණාරත්න රංග ශිල්පියා මියගිය පුවත කණ වැකෙත්ම ඔහුට ආදර ගෞරවය දක්වන ප්‍රේක්ෂක සටහන්වලින් මුහුණුපොත පිරී ගියේය. වසර හතළිස් අටක් පුරා චිත්‍රපටවල දුෂ්ඨ චරිත රඟපෑ විල්සන් කරුට ප්‍රේක්ෂකයා වෙතින් පිදුණේ හෘදයාංගම මිනිසකුට පිදෙන ස්නෙහයෙන් පිරි වදන්ය. වකුටු නාසයත්, පුළුල් නළලත්, ඇතුළට එබුණු හකු පාඩාත්, තියුණු දෑසත්, වරෙක යටි රැවුලත් සහිතව කුරිරු බව ගැල්වුණු කටහඬෙන් පණ පොවා, ප්‍රේක්ෂක වින්දනය උදෙසාම දුෂ්ඨ චරිත රඟපෑ ඔහුගේ ආත්මය තුළ පැවතියේ ක_රත්වය නොව මානව දයාව වග ප්‍රේක්ෂකයෝ දැන සිටියහ. ඒ නිසාම රසවත්හු ඔහුට ආදරය කළහ.
රෑ නිදා උන් සයනයෙන් ඔහුගේ දේහය ඉවත ගෙන මැගි ඇඳකින් එය අවමංගල රියකට නංවා ගන්නා ආකාරය දිස්වන අන්තර්ජාල වීඩියෝවක් දැක මගේ සිත බෙහෙවින් කම්පනයට පත් විය. අපගේ ළමා වියත්, තුරුණු වියත්, මැදි වියත් එළිය කළ සිනමාවම මිය යමින් ඇතැයි මට දැනුණේය. සිනමාවේ සිහින කුමරා හා සමාන විජය කුමාරතුංගයන් 1987 සහාසික වෙඩි පහරින් මරු දුටුවේය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙම සහශ්රකය මුලදී අප අතරින් වෙන් වූයේය. ඒ සියලු චරිත චතුර ලෙස රඟපෑ පෘථුල රංගන පෞරුෂයකින් හෙබි ජෝ අබේවික්‍රම ද අප හැර ගියේය. සිනමාවත්, වේදිකාවත් එළිය කළ ටෝනි දැන් අප අතැර ගොස්ය. මාස කිහිපයකට පෙර සිනමාවේ එක් සාර්ථක දුෂ්ඨයකු වූ රොබින් ප්‍රනාන්දු අපගෙන් සමු ගත්තේය. දැන් තවත් සුන්දර වූත්, හෘදයාංගම වූත් දුෂ්ඨයකු අපගෙන් ඈත්ව ගොස්ය. අපගේ නැණ පහන් දැල්වූ විදග්ධ අධ්‍යක්ෂකවරුන්ගේ කතාව ද එසේය.
කොරෝනා වසංගතය උපරිමයට යමින් පැතිර ගිය පසුගිය සමයේ විල්සන් කරු දුෂ්කරතාවට පත්වූ අයුරු නිතර කතාබහට ලක් විය. වරෙක මුහුණු ආවරණය නොපැළඳීමේ වරදට ඔහුව කුදලාගෙන ගිය බව වාර්තා විය. ඔහුට කොවිඩ්-19 වැළඳුණු බවද වාර්තා විය. සිනමා කතාවල තම ප්රතිමල්ලවයන්ට අභියෝග කළ ඔහු ගිලන් ඇඳක වැතිර ඉන්නා ඡායාරූප ද මුහුණුපොතේ පළ වූයේය.
රංග ශිල්පියකු සතු වටිනාම මෙවලම වන්නේ තමාගේ ශරීරයයි. සිනමාවේ ත්‍රාසජනක ජවනිකා මවන්නකු ලෙස රංග ශිල්පියකු වූ කරු සිය ශරීරය අවදානමේ තැබුවේය. කිවුලේගෙදර මොහොට්ටාල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන් ඔහු අඩි 80 ක උසකින් පනින්නට ඉදිරිපත් වූයේ එම දර්ශනයේ තාත්වික බවත් වටිනාකමත් රඳවා ගනු සඳහාය.
තමාට ලැබෙන සෑම චරිතයකටම ඔහු කැප වී සූදානම් වූ බව මම අසා ඇත්තෙමි. කිවුලේගෙදර මොහොට්ටාල චරිතය උදෙසාම ඔහු ආත්මාරක්ෂක සටන් කලාව කැප වී පුහුණු වූයේය.
1942 ඔක්තෝබර් 28 වැනිදා උපත ලැබූ විල්සන් කරු සිනමාවේ රංගනයට පිවිසෙන්නේ 1974 වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 32 කි. ඒ හදවත් නැත්තෝ චිත්‍රපටයෙනි. එදා මෙදා තුර ඔහු සිංහල චිත්‍රපට 250 ක පමණ චරිතයන්ට පණ පොවා තිබේ. ඒ හැරුණු කොට ටෙලිනාට්‍ය 15කට ආසන්න සංඛ්‍යාවක ඔහු රංගන දායකත්වය දැරුවේය. මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයේ නිකොලස්ගේ චරිතයට පණ දුන් ඔහු ඒ සඳහා රංගන කුසලතා සම්මානයක් දිනා ගත්තේය. ත්‍රාසජනක ජවනිකා සම්බන්ධීකරණය කිරීම ඔහු ආරම්භ කරන ලද්දේ 1982 තිරගත වූ ජීවිතයෙන් ජීවිතයක් චිත්‍රපටයෙන් බව වාර්තා වේ. ඉන් පසු සමුගනිමි මා සැමියනි (1983), සමනල සිහින (1983), කිරිමදුවැල් (1985), පූජා (1986), නොම්මර එකයි (1987), දඩබිම (2000), නිල් දිය යහන (2008) යන චිත්‍රපටවල ඔහු ත්‍රාසජනක ජවනිකා සම්බන්ධීකරණ කාර්යය ඉටු කළ බව වාර්තා වී තිබේ.
හෙතෙම රංගනයට පිවිසි 70 දශකයේ චිත්‍රපට 12කට දායක වී තිබේ. 2010 මෙපිට චිත්‍රපට 07කට දායක වී ඇත. ඔහු වැඩිපුරම රංග කාර්යයේ යෙදී ඇත්තේ 1990 – 1999 අතරතුර කාලයේය. එම කාලය ඇතුළත ඔහු රඟපෑ චිත්‍රපට ගණන 64 කි. අවුරුදු පනස් ගණන් ගෙවී ගිය වයසේ දී ඔහු වඩාත් සක්‍රියව චිත්‍රපටවලට දායක වී ඇති බව එයින් පැහැදිලිය.
2002 වසරේදී තිරගත වූ රන්ජන් රාමනායකගේ පාලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ විල්සන් කරු රඟපෑවේ වලිසුන්දර චරිතයයි. 2005 දී තිරගත වූ රන්ජන් රාමනායකගේ වන් ෂොට් චිත්‍රපටයේ එම චරිතය වලිසුන්දර අමාත්‍යවරයා බවට පත් වූයේය. මේ හැරුණුකොට ඔහු රඟපෑ බජාර් එකේ චණ්ඩියා (1992) එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, සාර්ජන්ට් නල්ලතම්බි (1993) යන චිත්‍රපට ද ජනප්‍රිය විය.
2021 මාර්තු මාසයේදී තමාගේ නිවෙස ඇතුළත බිම ඇදවැටුණු විල්සන් කරු පැය කිහිපයක් යන තුරු සිහිසුන්ව උන්නේය. බොහෝ වේලාවක් තිස්සේ ඔහුගේ නිවෙසේ නාන කාමරයෙන් එකදිගට ජලය ගලා යනු දුටු අසල්වැසියෙක් පැමිණ ඔහුව බේරාගෙන රෝහල් ගත කළේය. ඉන් පසු කොළඹ මහ රෝහලේ 43 වැනි වාට්ටුවේ ඔහු ප්‍රතිකාර ලැබුවේය.
විල්සන් කරු ගැන මුහුණුපොතේ තිබුණු සටහන්වලින් දෙකක් මගේ මතකයේ හොඳින් සටහන් වී ඇත. ඉන් එකක් නාට්‍ය ශිල්පී/ චිත්‍රපට අධ්යක්ෂ දයා වයමන් ලියූවකි. ඔහුගේ කිවුලේගෙදර මොහොට්ටාල චිත්‍රපටයේ එම චරිතයට විල්සන් කරු පණ දුන් අයුරු ඔහු එම සටහනේ සිහි කර තිබිණි.
දෙවැනි සටහන අපගේ නාට්‍යවේදී/ ගීත රචක ඩබ්ලිව් ජයසිරි ලියූ සටහනකි. එම සටහන මෙසේය.
''ඔබ සමඟ රඟපෑ එක අවස්ථාවක් මතකයි. එදා තමයි මම හරියටම දැනගත්තෙ ඔයා චණ්ඩියෙක් නොව අහිංසකයෙක් කියලා. ඉතින් විල්සන් කරු, ඔබට සුබ සිහින දකින දිගු නින්දක් පතමි.''
සමන් පුෂ්ප ලියනගේ