2022 මැයි 08 වන ඉරිදා

දෑස් රිදෙනවා... ගෑස් බලා ඉඳලා

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 52

මේ ගෙවන්නේ මිනිසුන්ගේ ජීවිතවල ඉතා අර්බුදකාරී කාල පරිච්ඡේදයකි. දිනෙන් දිනම මහා මාර්ගයේ දිගු වෙන පෝලිම්වල තවමත් අවසානයක් නොමැත. ඉන්ධන, ගෑස්, භූමිතෙල් ආදී පෝලිම්වල වරු ගණන්, දින ගණන් කාලය ගෙවන මේ රටේ ජනතාව මේ ගෙවා දමන්නේ ඔවුන්ගේ වටිනා ජීවිත කාලයෙන් කොටසකි. රුකියාවකට යාගන්නට බැරිව, ඉගෙනගන්නට පාසලකට යා ගන්නට බැරිව ජනතාව මේ මහාමාර්ගයේ දුක් විඳින්නේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරගත් මුදලින් මේ භාණ්ඩ මිලදී ගන්නට බැරිවය.

මාස ගණනාවක් පුරාවට පැවැති ගෑස් අර්බුදයට තවමත් නිශ්චිත විසඳුමක් ලැබී නැත. තවමත් නිසි පරිදි රටේ ජනතාවට ගෑස් ලැබෙන්නේ නැත. ගෑස් නැතිව දර ලිපෙන් කෑම උයන්න පුළුවන්නේ. ඉස්සර ගැමියන් කෑම පිසුවේ එහෙමනේ වැනි කිසිම වැදගත්කමකට නැති යෝජනා ඉදිරිපත් කළද එය ප්‍රායෝගික යෝජනාවක් වන්නේ නැත. එලෙස පවසන එවන් නිලධාරීන්ගේ නිවාසවලට ගෑස් හිඟයක් නැත. ඔවුන් කිසිමදාක ගෑස් පෝලිම්වල සිට ගෑස් මිලදී ගන්නේ නැත. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති කෙනා පමණි. ගෑස් අර්බුදය ඇතුළු දුක් විඳින, පෝලිම්වල සිටින මිනිසුන්ගේ මේ දේවල්වලට නිසි විසඳුමක් ලබාදෙන්නට මේ වනවිටත් අදාළ කිසිදු නිලධාරියකුට උවමනාවක් නැත. මේ නිසාම අසරණ වන්නේ මේ රටේ ජනතාවය.

නිවාස සංකීර්ණවල, ඉතා කුඩා නිවාසවල ජීවත්වන ජනතාවට දර ලිපක් දල්වා ගන්නට ඉඩ පහසුකමක් නැත. මහල් නිවාසවල ජීවත්වන ජනතාවට තම නිවාස තුළ දර ලිපක් දල්වා ගන්නට කිසිම ක්‍රමවේදයක් නැත. කොළඹ නගරයේ පර්චස් හතර පහක කුඩා ඉඩ ප්‍රමාණයක එකිනෙකට තාප්පවලින් යා වුණු නිවාසවල ජීවත්වන ජනතාවට දර ලිපක් දල්වන්නටවත් ඉඩක් නැත. කුලී නිවාසවල ජීවත්වන ජනතාවට කුලී නිවාස හිමියන් වැඩි දෙනකු නිවාස තුළ දර ලිපක් තාවකාලිකව හෝ දල්වන්නට අවසර දෙන්නේ නැත. මේ හේතු කාරණා නිසාවෙන් ගෑස් අවසන් වූ විට එය නැවත මිලදී ගන්නට නොහැකි ජනතාවට සිදුව ඇත්තේ ගැස් පෝලිම්වල හිස් සිලින්ඩරය තබා දින ගණන් බලා හිටීමටය.

කහ පැහැති සිලින්ඩරය සහිත Lqugfs ගෑස් මේ වනවිට මාස ගණනාවක් පුරාවට ලැබී නැත. මේ නිසාවෙන් කහ පැහැති සිලින්ඩරය හිමි පාරිභෝගිකයන්ට සිදුව ඇත්තේ විශාල මුදලක් ගෙවා ගෑස් සිලින්ඩරයක් මිලදී ගෙන එය පසෙකට දමා මිරිඟුවක් දෙස බලා සිටින්නා සේ දින නියමයක්, කාල පරිච්ඡේදයක් නැති දිනයක් එනතුරු බලා සිටීමයි. ගෑස් ගැටලුවට උග්‍ර ලෙසින් මුහුණ දී ඇත්තේ මෙම කහ පැහැති සිලින්ඩරය සහිත Lqugfs පාරිභෝගිකයන්ය. අඩුම තරමින් හිස් සිලින්ඩරය වෙනුවෙන් යෙදවූ අත්තිකාරම් මුදල හෝ නැවත දී කිසි වැඩකට නැති සිලින්ඩරය රුගෙන යන්නැයි බහුතර මහජනතාව Lqugfs සමාගමෙන් ඉල්ලා සිටිති. මේ නිසා ඇතැම් පාරිභෝගිකයන් හිස් කහපැහැති සිලින්ඩරයේ වර්ණය තීන්ත ආලේප කොට නිල් පැහැති සිලින්ඩර් බවට පත්කරලීමට උත්සාහ ගන්නා බවද වාර්තා විය. මේ හේතුවෙන් ඇතැම් ලිට්‍රෝ ගෑස් වෙළෙන්දෝද ගෑස් සිලින්ඩරයේ වර්ණය මඳක් සූරා දමා එය පරීක්ෂා කරන තත්ත්වයට පත්ව සිටිති. නිවෙසේ දරුවන් බඩගින්නේ අඬද්දී, ගෙදර බතක් නොඉදෙද්දී කෙසේ හෝ නිවෙසට ගෑස් සිලින්ඩරයක් ගෙන ඒම බොහෝ දෙනාගේ අවශ්‍යතාවයයි. මේ හේතුවෙන් සිදුවන්නේ පවතින ආණ්ඩුව කෙරෙහි මේ රටේ ජනතාවගේ ඇති කේන්තිය හා කලකිරීම ඉහළ යාම පමණි. තමන්ගේ මුදලින් භාණ්ඩයක් මිලදී ගෙන අද වනවිට එය මුළුතැන්ගෙයි මුල්ලකට සීමා වුණ භාණ්ඩයක් වී හමාරය.

දිනෙන් දිනම ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යමින් පවතී. මධ්‍යම රාත්‍රියේදී පාරිභෝගිකයන්ට සිදුව ඇත්තේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩවල මිල පිළිබඳව විමසිලිමත්ව සිටීම පමණි. උදෑසන සිට රාත්‍රිය දක්වා පෝලිම්වල දවස ගෙවන පාරිභෝගිකයන්ට නිදහසේ රාත්‍රී කාලයේදී තම දෑස පියවා ගන්නටවත් නිදහස් පරිසරයක් අද නැත.

ලංකාවේ නිදහසින් පසුව බරපතළ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිත පියවර නොගතහොත් නිසි පරිදි මෙය කළමනාකරණය කර නොගතහොත් මේ වනවිට අපි කතාබහ වෙන ගෑස් හිඟය, විදුලි හිඟය සම්පූර්ණයෙන්ම නැතිවෙන භයානක උවදුරක ආසන්නයේ රට පවතිනවා. ඒ නිසා පක්ෂවලට පාටවලට බෙදිලා සටන් කරනවාට වැඩිය මේ ආර්ථිකය කඩා වැටිල තියෙන තැන යම් ප්‍රමාණයකින් හෝ අවප්‍රමාණයක් කිරීම අපගේ වගකීමක් වෙනවා. යැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අතර පසුගිය කාලය තුළදී ඇතැම් අලෙවි නියෝජිතයෝ තම පාරිභෝගිකයන්ට ටෝකන් ක්‍රමයට ගෑස් සිලින්ඩරය ලබාදුන්හ. හිස් වූ ගෑස් සිලින්ඩරය අලෙවි නියෝජිතයන්ට බාරදීමෙන් පසුව ලැබෙන ටෝකන් එක ගෑස් ආ දිනට රුගෙන පැමිණ තම ගෑස් සිලින්ඩරය රුගෙන යාමේ හැකියාව තිබුණි. එයින් ආ සැණින් තමන්ට ලැබෙන දුරකථන ඇමතුම හරහා මුදල් ගෙන ගොස් පෝලිම්වල නොසිට ගෑස් සිලින්ඩරය රුගෙන ඒමේ හැකියාව තිබුණි. ඇතැම් අලෙවි නියෝජිතයන් එවැනි පෙර වෙන්කරගත් ගෑස් සිලින්ඩරය තම සේවකයින්ගේ මාර්ගයෙන් නිවාසවලට ගෙන ගොස් දීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබිණි. නමුත් ඒ ප්‍රවාහන ගාස්තුව සඳහා නියමිත මුදලට වැඩි මුදලක් අලෙවි නියෝජිතයන් අයකරගෙන තිබුණි. පෝලිම්වල දුක් විඳිනවාට වඩා කීයක් හෝ වැඩි මුදලක් ගෙවා හෝ ගෑස් සිලින්ඩරය ගත් ජනතාවට අද එසේ ගන්නටවත් ගෑස් ටිකක් නැත.

සුමාන දෙකකින් අපිට ගෑස් ආවේ නැහැ. හැමදාම උදේට අපේ අලෙවි සැල ඉදිරියේ දිගු පෝලිමක් තියෙනවා. ගෑස් එන වෙලාවක්, එන දිනයක් කියන්නට අමාරු යැයි පාරිභෝගිකයන්ට කිව්වත් ඒ අය සිලින්ඩරය අරගෙන එන එක නතර කරන්නේත් නැහැ. අපිටත් ඕනේ ගෑස් පුළු පුළුවන් විදිහට ලබල දෙන්න. කඩ කුලී ගෙවාගෙන සේවකයන්ට වැටුප ගෙවාගෙන, අනෙකුත් අමතර වියදම්වලට මුදල් යට කරමින් මෙහෙම බිස්නස් කරන එකත් එපාවෙලා. පසුගිය කාලේ ටෝකන් එකට ගෑස් ටික දුන්නා. දැන් එහෙමවත් නැහැ. යැයි ගල්කිස්ස ගෑස් අලෙවි නියෝජිතයෙක් දේශයට පැවසීය.

මේ වනවිටත් සෑම දිනකම පාහේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පෝලිම් නිර්මාණය වී ඇත. වැඩිහිටියන් පමණක් නොව පාසල් යන දරුවන් පවා පාසල් නොගොස් ගෑස් පෝලිම්වල දුක් විඳීම කොයිතරම් නම් අවාසනාවන්ත සිදුවීමක්ද? පාසල් ගොස් අධ්‍යාපනය හදාරන්නට වෙන්වුණ කාලය තම පවුලේ කුසගින්න නිවන්නට පෝලිමක හිටගෙන සිටීමට තරම් අද මේ රටේ දරුවන්ට සිදුවීම කොයි තරම් නම් පාපයක්ද? මේ කිසිදු දෑ පිළිබඳව මේ රටේ වගකිවයුත්තන්ට වගක් නැත. ඔවුන් සුරසැප විඳිද්දී මේ රටේ ජනතාව මහමඟය.

ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිටත් නිවෙස්වල මෙන්ම කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා තිබේ. මේ හේතුවෙන් බොහෝ ආපනශාලා, හෝටල් ඇතුළු බොහෝමයක් වසා දැමීමට සිදුව ඇත. ඇතැම් ගෑස් අලෙවිසල් අසල ජනතාව දහස් ගණනක් රැඳී සිටියද ගෑස් සිලින්ඩර අලෙවිසල්වලට පැමිණෙන්නේ සියයක්, එකසිය පනහක් අතර අඩු ප්‍රමාණයකි. මේ නිසාම මෙයින් කුපිත වන ජනතාව ආවේගශීලීව කටයුතු කරති.
දින ගණනාවක් ගෑස් සහිත නෞකාවක් මුහුදු තීරයට ලැබී නැති අතර මේ හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ දින ගණනාවක්ම එක දිගටම ගෑස් පෝලිම්වල සිටීමටය. මේ අතර වසරක කාලයක් සඳහා තායිලන්තයෙන් SIAM නම් ගෑස් වර්ගය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෙසේ වුවද මෙම අනුමැති කුමක් ලැබුවද මේ පවතින අර්බුදකාරී තත්ත්වයට ඉතා ඉක්මණින් විසඳුම් ලබාදිය යුතුය. එසේ නොමැති විට තත්ත්වය මීට වඩා භයානක වනු නොඅනුමානය.

දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05