2022 මැයි 08 වන ඉරිදා

අගමැති යයිද?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 49

අගමැති අද යයිද? හෙට යයිද?  නොයාම ඉඳීද? ඒ අප සඳහන් කළේ ගෙවීගිය සතියේ මුල් දින කිහිපය තුළ රටපුරා නිරන්තර ඇසුණු ප්‍රශ්නය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට තීරණය කළ බව කියැවුණු දේශපාලන ආරංචි හේතුවෙන් මහජනයා මෙලෙස ප්‍රශ්න කරමින් සිටියහ. එහෙත් අප සැම මේ වනවිටත් දන්නා පරිදි අවසානයේ අගමැති ගෙදර නොයෑමට තීරණය කළේය. ඊට අදාළ අභ්‍යන්තරික දේශපාලන ක්‍රියාදාම විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ආර්ථික අර්බුදය හේතුවෙන් පැනනැගුණු වර්තමාන මහජන අරගලයේ පළමු අදියරේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉලක්ක ගත නොවුණි. සියලු විරෝධතා ගොනුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. ආණ්ඩුව සම්බන්ධව විවේචන තිබුණ නමුත් මහින්ද රාජපක්ෂ සෘජු ඉලක්කයක් නොවුණි. එහෙත් ක්‍රමිකව නිර්මාණය වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයාද අරගලකරැවන්ගේ ප්‍රබල ඉලක්කයක් බවට පත්විය. අභ්‍යන්තරව දේශපාලනිකව මතු වූ අන්තර්වාර පාලනය යොජනාව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ විරෝධතා ප්‍රබල වීම හේතුවක් වූයේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ලවන විරෝධය හමුවේ පළමුව ආණ්ඩුව වෙනුවෙන් ඉදිරියට පැමිණියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. එහෙත් ඉල්ලා අස්වීමක් පිළිබඳ කිසිදු සඳහනක් ඔහු ජාතිය ඇමතූ අවස්ථා කිහිපයේදී අසන්න නොලැබුණි. මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශය කිරීමත් සමඟ තත්ත්වය වෙනස් විය. ත්‍රෛනිකායික මහනාහිමිවරැ අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය. එම බලපෑම් කොතරම් ප්‍රබල වුවද අන්තර්වාර ආණ්ඩුවේද අගමැති තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කීය.

එහෙත් පසුගිය සතිය ආරම්භ වනවිට අගමැති ඉවත්විය යුතුය යන සටන් පාඨය අතිශය ප්‍රබල වූයේය. දේශපාලනික පාර්ශව රුසක බලපෑම් කරන අතරේ අරගලකරැවන් අරලියගහ මන්දිරය වටකර රුකවල් ලා සිටියහ. ආණ්ඩුවේ අභ්‍යන්තරික සාකච්ඡාවලද අගමැති ඉවත්වීම පිළිබඳ මතුවූ යෝජනා ප්‍රබල වෙමින් තිබුණි. කෙසේ වෙතත් යමෙක් බහුතරය පෙන්වන්නේ නම් පමණක් තමා ඉවත්වන බව අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම කියමින් සිටියේය. එහෙත් බහුතරය පෙන්වීම සඳහා විපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අතර එකඟතා ගොඩනගා ගැනීම සංකීර්ණ ගැටලු වී තිබුණි.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්න සූදනම් වූයේද ඒ අනුවය. අග්‍රාමාත්‍ය ඉවත්කර ස්වාධීන වූවන්ගේ සහ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිකරගන්නා එකඟතා මත නව අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම ඔවුන්ගේ සැලසුම විය. එහෙත් සියලු පක්ෂ ඒ සඳහා එකඟ කරවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. එම එකඟතා ගොඩනගා ගැනීමේ වගකීම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙත පැවරැණු අතර සර්ව පාක්ෂික අන්තර් අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා තමන් මතවාදීව එකඟ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද ප්‍රකාශ කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සම්බන්ධව ජනපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍යවරැන් වන බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු පිරිස රාජපක්ෂවරැන් පෞද්ගලික සාකච්ඡාවට කොට තිබුණි. මේ වනවිටත් අග්‍රාමාත්‍යවරයා ඉවත්වන බවට වූ ආරංචිවලට පියාපත් ලැබී තිබුණි. ඒ අනුව බදාදා අග්‍රාමාත්‍යවරයා ඉවත්වන බවට ආරංචි පැතිර ගියේය. අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමට සැරසෙන බවක ලක්ෂණ අභ්‍යන්තර දේශපාලනය තුළද දක්නට ලැබුණි.

පසුගිය සතියේ මුල් දිනක අග්‍රාමාත්‍යවරයා සිය කාර්ය මණ්ඩල නිලධාරියකු කැඳවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ තමාගේ දේශපාලන ගමන පිළිබඳ කතාවක් සූදානම් කරන ලෙස කීවේය. මෙම කතාව බදාදා දින පාර්ලිමේන්තුවේදී සිදුකොට අග්‍රමාත්‍යවරයා තීරණයක් ගැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරැ කළේය. ඒ අනුව අදාළ කතාවද සූදනම් විය. ඉල්ලා අස්වීම පිළිබඳ නිශ්චිතව තහවුරැ කිරීමක් නොවුණ නමුත් ඉල්ලා අස්වීමක් සඳහා වූ වටපිටාව නිර්මාණය වී තිබුණ බව පැහැදිලි පෙනී ගියේය.

යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වුවහොත් ස්වාධීන මන්ත්‍රීවරැන් ලෙස කටයුතු කිරීමට පොහොට්ටු ප්‍රබලයන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් අභ්‍යන්තරිකව සාකච්ඡා කර තිබූ බවද කියැවුණි. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී විපක්ෂයට ගොස් විපක්ෂ නායකත්වය ලබාගත යුතු බවද තවත් පිරිසක් කීහ. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු කළ යුතු දෑ පිළිබඳවද සමීපතමයන් අතර සාකච්ඡා ඇතිව තිබුණි. නව අග්‍රාමාත්‍යවරයෙක් සඳහා නාමයෝජනා කිරීමද ලහියේ සිදුවෙමින් පැවැතියේය.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා වූ සාකච්ඡාවක් අඟහරැවාදා පෙරවරැවේ ස්වාධීන වූ මන්ත්‍රීවරැ කණ්ඩායම සහ සමගි ජනබලවේගය අතර පැවැත්වුණි. ඒ වනවිටත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කියැවුණු පුවත ඉතා වේගයෙන් පැතිරෙමින් පැවතියේය. මේ වනවිටත් සමගි ජන බලවේගය නිර්මාණය කොට අස්සන් තබා තිබුණු ජනපතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් ඔවුන් සතු විය. ඔවුන් හදිසියේම එදින පස්වරැවේ ඔවුන් සිය විශ්වාසභංග යෝජන ද්විත්වය කතානායකවරයා වෙත භාර දීමට කටයුතු කළේය.

මෙම විස්වාසභංග මීට සති කිහිපයකට ඉහතදී සකස් කොට තිබුණි. නමුත් ඒවා කථානායකවරයාට භාර නොදීම සම්බන්ධවද ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සැක පළ කළේය. කෙසේ වෙතත් හදිසියේ මෙම යෝජනා භාරදීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ විවිධ සාකච්ඡාවට ඇතිවිය. අග්‍රාමාත්‍යවරයා ඉවත් කරවීමේ ගෞරවය තමන් වෙත ලබා ගැනීම සජබ කණ්ඩායමේ අරමුණ වූ බව ඇතැමෙක් කීය. තවත් පිරිසක් කියා සිටියේ සැබෑවටම අග්‍රමාත්‍යවරයා සතුව ඉවත්වීමේ සූදානමක් නොතිබූ බවයි. ඉල්ලා අස්වීමේ සූදානම සන්දර්ශනයක් බව ඔවුන් කීය. ඒ කවරක් වෙතත් විශ්වාසභංග යෝජනාව භාර දීමත් සමඟ නැවත අගමැති ඉල්ලා අස්වීමේ සූදානම හකුළා ගත් බව පෙනී ගියේය.

එවර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සහ සිය සමීපතමයන් වෙත නව අදහසක් ඉදිරිපත් කළේය. ඔහු කියා සිටියේ තමා ඉල්ලා අස්වුවහොත් විශ්වාසභංගය දිනා ගැනීමට නොහැකිව බියේ ඉල්ලා අස් වූ බව සියල්ලෝම සිතනු ඇති බවය. එම නිසාම තමා විශ්වාසභංගයට මුහුණ දෙන බව ඔහු අවධාරණය කළේය. මේ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද කඳවා අග්‍රමාත්‍යවරයා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කොට තිබුණි. ඊට පෙරද අග්‍රාමාත්‍යවරයාට ඉවත් නොවන ලෙස පවසමින් සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිස බහුතරය තමන් සතුව ඇතැයි අග්‍රාමාත්‍යවරයාට නැවතත් පෙන්වා දුන්හ. නිසැක වශයෙන්ම විශ්වාසභංගය ජයගත හැකි බව ඔවුහු කීහ.

සියල්ල අවසානයේ අගමැති ඉල්ලා අස්වීම පිළිබඳ දසත පැතිර ගිය ආරංචි මුලාවක් බවට පත්විය. මෙම විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව ආණ්ඩුවේ ස්වාධීන වූ පිරිස අතරින් කිහිප දෙනකුද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය. දේශපාලන දාම් ලෑල්ලේ ඉත්‍තන් නැවත සුපුරැදු තැන්වල ස්ථාන ගත වෙමින් පැවති අතර අර්බුද එලෙසම පැවතුණි. මහජන විරෝධතා, හර්තාල් පෙළපාලි ආදිය බහුල විය. අවසානයේ අගමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන එනතුරැ දේශපාලන-ආර්ථික විසඳුම් සියල්ල ඇණ හිටියේය.

චමිඳු නිසල් ද සිල්වා