එක මොහොතක් ඔබ බඩගින්න කියන එක අත්විඳලා තියෙනවා නම් එය කෙතරම් කටුක වෙහෙසකර හැඟීමක්ද කියලා මම ඔබට පැහැදිලි කළ යුතු නැහැ. රජ, සිටු, කුමර වෙසින් ඉපදුණු උන්ට හැරෙන්නට බඩගින්න යනු කුමක්දැයි අත් නොවිඳි කෙනෙක් මේ ලෝකයේ නැති තරම්... ඒත් මම ඔබත් එක්ක මේ කතා කරන්නෙ බඩගින්නෙන් විඳවන මියැදෙන මේ ලෝකයේ මිනිසුන් ගැන... ලංකාවේ කන්න නැතුව දුක්විඳින මිනිසුන් ගැන, ඉන්දියාවේ කල්කටාවේ වැනි අන්ත දිළිදු ජනතාව වෙසෙන ලෝකයක වීදියක් වීදියක් ගානේ දුක් පිරිපත නිවාගන්න කුණු කඳු අවුස්සන මිනිස්සු ගැන, ජීවන වියදම ඉහළ යාම හමුවේ අධික දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස් සංහතියක් දෑස් අබිමුව ඇස ගැටෙන වත්මනෙහි ලාංකික මිනිසුන්ගෙ දුක්බර හදගැස්ම ගැන කතා කරන්න මට හිතුණා...
මාර්ෂල් මැක්ලූහන් කියන සන්නිවේදන විශේෂඥයා විශ්ව ගම්මානය යන සංකල්පය ඔස්සේ කතා කළේ ගම්මානයක සීමාවන් තුළ ලෝකය ලඝුවීමේ අසිරිමත් විස්මය ගැන... ඒත් විශ්වය ගම්මානයක සෙයින් ලඝු වුණේ තාක්ෂණය යන මෙවලම ඔස්සේ තාක්ෂණික ප්‍රවේශයක් කරා පමණයි... වන්දනා ශිවා විසින් රචිත “Stolen Harvest” හෙවත් “සොරාගත් අස්වැන්න” යන ග්‍රන්ථයේ මිනිසුන් බඩගින්න දරිද්‍රතාවය සහ මේ ලෝකයේ පවතින නිර්ධන ධනේශ්වර අසමානත්වය තුළ ජීවත්වීම වෙනුවෙන් කරන අරගලය මැනවින් විශ්ලේෂණය කර තිබෙනවා.
මිනිසුන්ගේ චින්තනයේ දිශානතිය වඩා ධෛර්යය සම්පන්න සුබවාදී සහ විප්ලවීය මානයන් ඔස්සේ පෙළ නොගැසෙනතාක් ඊට අවැසි විශ්වීය නායකත්වයක් බිහි නොවන තාක් මිනිසුන් බඩගින්නෙන් මියැදීම දරිද්‍රතාවයෙන් පීඩා විඳීම සහ හුස්ම රුකගැනීම වෙනුවෙන් කරන මාරාන්තික ජීවන අරගලය නිමා නොවෙන විසූක දස්සනයක් පමණයි.
එම්. මනිකන්දන් යන දමිළ සිනමාවේදියාගේ “Kaaka muttai” යන දමිළ සිනමා රෑපකාරකය ඔස්සේ දිගහැරෙන අතිශය සංවේදී සිනමාමය ප්‍රස්තුතය මේ මොහොතේ මගේ මතකයට නැගෙනවා... ඒ සිනමා වියමන තුළින් මුණගැසෙන කුඩා දරුවන් දෙදෙනා අන්ත දුගී භාවයෙන් පීඩා විඳිනවා.... ළමා කම්කරුවන් ලෙස ඔවුන් ජීවිතය එක්ක අරගල කරන්නෙ බඩගින්න නිවාගන්න.... ඔවුන් ජීවත්වෙන ප්‍රදේශයේ තියෙන විශාල ගසක ඇති කපුටු කූඩුවක බිත්තර පවා මේ දරුවන් අමුවෙන්ම බොනවා දරාගන්න බැරි බඩගින්නට. හැබැයි උන් බිත්තර 2ක් ගන්නෙ බිත්තර 3ක් තියෙන තැනකින් එකක් රකින්න ඉතුරු කරලා... එයාලා දවසක් දැන ගන්නවා මේ ලෝකයේ පී(z)සා කියලා කෑම ක් තියෙනවා කියලා... උන් හීන දකින්නේ පීසා එකක රහ බලන්න... ඒත් කිළිටු පෙරාගෙන ඉන්න ඒ පැටවුන්ව කවුරුත් කඩේකටවත් වද්ද ගන්නෙ නෑ... පීසා රස බැලීමේ හීනය ජීවිතයම කරගෙන දුවන මේ පුංචි උන් දෙන්නගෙ කතාව හරිම සංවේදනාත්මක අයුරින් සිනමාවේදියාගේ ඇසට හසුවී තිබෙනවා.
මේ වගේ දරුවන් කොච්චර ලෝකයේ ඉන්නවාද?
මන්ද පෝෂණය නිසා මන්දමානසික භාවයන්ට ගොඳුරු වූවන් ලෝකයේ කොච්චර ඉන්නවාද?
එහෙම ලෝකෙක මැඳුරු සදිසි ධනවතුන්ගේ මන්දිරවල දවසකට කොච්චර ආහාර ප්‍රමාණයක් අපතේ යවනවාද?
ඒ කුණු බක්කි අවුස්සලා කන්න දෙයක් හොයාගන්න එක දවසකට ඇස් කොච්චර සංඛ්‍යාවක් බලාගෙන ඉන්නවාද?
අස් නොවැදුණු බිම් කොච්චර මේ ලෝකයේ තියෙනවාද?
ඒ බිම් මුඩුබිම් බවට පරිවර්තනය වෙද්දී එක කෑම පිඟානක් වෙනුවෙන් මිනිසුන් කී දාහක් සිඟමන් යදිනවද?
පෙරදිග ධාන්‍යාගරය ලෙස අබිසෙස් ලද චීනයටත් සහල් යැවූ අප මාතෘ භූමියේ අද වෙසෙන්නන් සහල් ඇටය ධාන්‍ය ඇටය පිටරටින් එනතුරු බලා හිඳින තත්ත්වයට පත්වුණේ කොහොමද? යුගයෙන් යුගයට අප මාතෘ භූමිය එවන් අරාජිකත්වයක් කරා ගෙනගියේ කවුද? වර්තමාන තත්ත්වයට සෘජුව වගකිව යුතුවන්නේ විෂය පිළිබඳ අවබෝධයක් නොමැති මුග්ධ දේශපාලනඥයින් බව සෑමදෙනාම එකඟ වන කරුණක්. කෘෂිකර්මාන්තයෙන් සාර සුබාවට අස්වැද්දුණු... වැව් අමුණු මතින් උතුරා ගිය ජල දහරාවෙන් සාර සුසාර වූ මේ මහ පොළොව යළිත් නිලට නිලේ අස්වද්දන බැරි ඇයි? ස්වභාවික රසකාරකවලින් මිස විසකාරකවලින් පොහොසත් නොවුණු ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය යළි බලගන්වන්න බැරි ඇයි ?
ඇයි මේ වගේ ප්‍රශ්න අපේ සිතට නැගෙන්නෙ. වර්තමානයේ අපේ රටේ අපට නොපෙනෙන ගොඩාක් මිනිස්සු අසරණ වෙලා දුක්විඳිනවා. හරියට කුසට ආහාර වේලක් නැති සාගින්නෙන් පෙළෙන මිනිස්සු මේ රටේ ඉන්නවා. මේ විදියට එකම රොටිය මුළු පවුලම කන, ඉන්න තැනක් නැති හිසට වහලක් නැති මිනිස්සු මේ රටේ ඉන්නවා.
ඔබට මේ පිළිබඳව හරියටම දැනගන්න අවශ්‍ය නම් තන්තිරිමලේ පැත්තෙ තියෙන විලච්චිය වැනි ගම්මානවලට යන්න. වැලිකන්ද වගේ ගම්මානවලට යන්න. මෙවන් ගම්වල මිනිස්සු හරිම අහිංසක දුක්ඛිත ජීවිත ගත කරන්නෙ. අපේ රටේ බොහෝ පාලකයින් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය හරහා පුරාජේරුකම් දොඩනවා. ඒත් කොතරම් මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නවාද කියලා හිතෙන්නේ කුසට අහරක් නැතිව අන්ත දුක් විඳින මිනිසුන් දැක්කම.
කන්න නැතිකමට කහට බීලා ගෙල වැලළාගත් මිනිසෙක් පිළිබඳව පසුගිය දවසක ගල්ගමුව වළස්වැව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ ඩිංගිරි බණ්ඩා කියන අසරණ මිනිසෙක් ඔහු තමන්ගේ හේනෙ ගෙළ වැලළාගෙන මියගියේ. මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා තියෙනවා. ආහාර සහ ජලය ඒ අතර ප්‍රධාන වෙනවා. මූලික අවශ්‍යතාවත් ඉටුකරගන්නට නොහැකි වනවිට මිනිසුන් අන්ත අසරණ වෙනවා. දැඩිලෙස ඉච්ඡා භංගත්වයට පත්වෙනවා. මානසික ආතතියට, ක්ලමථයට, විෂාදයට පත් වෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය තමා සිය ජීවිතයෙන් වන්දි ගෙවීම.
ජීවිතයේ ප්‍රයිඩ් රයිස්, යෝගට් කියන දේවල් අහලා තියා දැකලත් නැති ළමයි ලංකාවෙ සමහර ගම්වල ඉන්නවා. ඇතැම් ගම්වල මිනිස්සු ජීවත් වෙන්නේ මරණ බයෙන්. ඒ අලි මිනිස් ගැටුම නිසයි. සමහර මිනිස්සු දවස් ගණන් අලින්ට බයේ උයාගෙන කන්නේ ගස් උඩ අට්ටාල ගහලා. ඇතැම් ගෙවල්වල අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා මේ සේරම නිදාගන්නේ එකම කටුමැටි ගෙයක එකට වැටිලා. වැසිකිළි කැසිකිළි නැති අන්ත අසරණ දුප්පත් පවුල් ඉන්න ගම් තියෙනවා ලංකාවෙ. දුෂ්කර ගම්වල සමහර කටුමැටි ගෙවල්වල එක පැත්තයි වැහිලා තියෙන්නේ. සමහර ගෙවල්වල තියෙන්නේ එක වළඳයි මැටි කෝප්පයයි විතරයි. වතුර බොන්නේ එක කෝප්පෙන්. අපේ රටේ ඉන්න බලධාරින්ට ඇයි මේ මිනිසුන්ගෙ දුක පේන්නේ නැත්තේ. ඇතැම් ගම්වල දුප්පතුන් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ගමම අසරණයි. එක රොටියක් හැදුවොත් ඒ රොටිය කෑලි කෑලිවලට බෙදාගෙනයි කන්නේ. වර්තමානෙ උදාවෙල තියෙන තත්ත්වෙ අනුව මිනිසුන්ට රොටියක්වත් කන්න බැහැ. අහස උසට ගියපු බඩුමිල නිසා. බත් වේලක් ඇර වේලක්වත් කන්න නැහැ. හාල් කිලෝ එකක් රුපියල් 220 ක් වෙනවා. මේක තමා පාලකයින් නියම කරපු පාලන මිල. ගම්වල එදා වේල හම්බ කරන් කන දුප්පත් මිනිසුන් කොහොමද මේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ.
පසුගිය දවසක මේ වගේ පුවතක් සමාජ මාධ්‍ය මගින් මම දුටුවා. ඒ පුවත තමා මාකොළ පදිංචි අන්ධ යුවළකට පවතින ගෑස්, භූමිතෙල් අර්බුදය හමුවේ ආහාර පාන සකසා ගැනීමට නොහැකිව ඉතා අසරණ වී සිටින බව. තත්ත්වය පාලනය වනතෙක් ළඟම ස්ථානයකින් පිසූ බත් පාර්සල් 2ක් (දිවා ආහාරය) ඇනවුම් කිරීමට සිදුවෙලා තිබුණා. ඒ ආහාර සඳහා සුලු මුදලකින් හෝ දායක වීමට කැමති අය මට inbox කරන්න කියලා තමා අපගේ සිසුවියක් මුහුණු පොතේ දාලා තිබුණේ. රාත්‍රියට ආහාරත් අරන් මමත් ගියා ඒ අන්ධ අසරණ යුවළ හොයාගෙන. ඒ යුවළ ආහාර නොමැතිව අසරණ ජීවිතයක් ගත කරන්නෙ. සමාජයේ ජීවත්වන පරිත්‍යාගශීලී මිනිසුන්ගේ මැදිහත් වීමෙන් එම අන්ධ යුවළගේ ආහාර ගැටලුවට නම් විසඳුමක් ලැබිලා තිබෙනවා. එහෙත් මේ වගේ අසරණ මිනිසුන් වර්තමානයේ කෙතරම් සිටිනවාද?
යාචකයන්ට ලැබෙන ආහාර ප්‍රමාණයත් වර්තමානයේ අඩුවෙලා. ඒකට ප්‍රධාන හේතුව තමා බොහෝ මිනිසුන්ට ආහාර ගැටලු පැවතීම. තමාට අවශ්‍ය ආහාර සපයා ගන්නට නොහැකිව තවත් කෙනෙක්ට ආහාර දෙන්නෙ කොහොමද? සමාජයේ තවත් පිරිසක් ඉන්නවා ඒ අය හඳුන්වන්න පුළුවන් හොඳම වචනය තමා පුළන්නන් කියන වචනය. බොහොම හොඳට කාලා ඇඳලා ජීවත් වෙච්ච මිනිසුන් ඉන්නවා ආහාර අවශ්‍යතා ඉටුකරගන්නට නොහැකිව. ආත්මගරුත්වය ගැන හිතන නිසා අසල්වැසියන්ගෙන්වත් ඉල්ලන්න යොමුවෙන්නෙ නැහැ.
අප රටේ මිනිසුන්ට ඇයි මෙහෙම වුණේ? පැහැදිලි ලෙසම දේශපාලනඥයින්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා තමා මෙහෙම වෙන්නෙ. වසර ගණනාවක් තිස්සේ අප රටේ මිනිසුන් හුරුවෙලා තියෙන කෘෂිකාර්මික රටාවක් තියෙනව. කෘෂිකර්මාන්තය පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් නැති මිනිහෙක් කෘෂිකර්ම ඇමති ලෙස පත් කරාම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්ත රටාව එකවර වෙනස් කරන්නට උත්සාහ කරනවා. ඒකෙ ප්‍රතිඵල තමා අද මිනිසුන්ට අත් විඳින්නට වෙලා තියෙන්නෙ. මේ තත්ත්වයට වහා විසඳුමක් නොසෙව්වොත් ආහාර ප්‍රශ්නය ඉදිරියට තවත් දරුණු වේවි. පාලකයන් කළ යුතු වන්නේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධයක් නොමැති මිනිසුන් ඉවත්කොට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබා දී ලංකාව මේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට කටයුතු කිරීමයි.