අද වනවිට ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව නොඑසේ නම් මනෝ විද්‍යා උපදේශනය වඩා ජනප්‍රිය ක්ෂේත්‍රයක් බවට පත් වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසුන් තුළ දිනෙන් දිනම ජීවත්වීම විෂයෙහි ඇති ගැටලු මහා අර්බුදකාරී ස්වරෑපයක් දක්වා පරිවර්තනය වීමේ පසුබිමක් නිර්මාණය වීමයි. වෘත්තිය හා සමාජ ජීවිතයේ ගැටලු, රටේ පවත්නා අරාජික තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති ආර්ථිකමය ගැටලු, කොරෝනා වසංගතය හේතුවෙන් පැන නැගුණු නන්විධ ගැටලු යනාදී වශයෙන් බොහෝ අර්බුද හේතුවෙන් මිනිසුන් පීඩාවට පත්වීම ආදිය මිනිසුන් දැඩි මානසික ආතතියට හා ව්‍යාකූලත්වයකට පත්වීමට හේතු වී ඇත. මෙවැනි වාතාවරණයකදී ජීවිතයේ සාර්ථකත්වය හා අරමුණු කරා ළඟාවීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරනු උදෙසා මානසික සෞඛ්‍ය වඩා යහපත් ලෙස පවත්වා ගැනීම අතිශය වැදගත්ය. මානසික සහනය බිඳවැටීම විෂයෙහි අධ්‍යාපනය පිළිබඳව උද්ගතව ඇති ගැටලු, ජීවන බර ඉසිලිය නොහැකි තැනකට පත්වීමේ ගැටලු, අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිතතාව, සබඳතා බිඳී යාම, අපේක්ෂිත අරමුණු කරා ළඟාවීමේ මඟ ඇහිරීම ආදී හේතු රාශියක් බලපානු ලැබේ. අධ්‍යාපනය, වෘත්තිය සහ පවුල යන කේන්ද්‍රීය සාධක මූලිකව නිර්මාණය වී ඇති ගැටලු සමනය කර ගැනීම සඳහා නිවැරදි මනෝ විද්‍යා උපදේශනය සමාජයට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් විය.
පොලිස් සේවාවේ සාර්ථකත්වයට පවා මේ වෙද්දී උපදේශනය ඉතා වැදගත් දායකත්වයක් ලබා දෙයි. එක් දිනකට පොලිසියේ පිහිට පතා එන සැලකිය යුතු තරම් පිරිසක් සිටිති. සැබැවින්ම මහජනයා වෙනුවෙන් අධිකරණයට කළ නොහැකි තරමේ කඩිනම් සේවාවක් පොලිසියට උපදේශනය ඔස්සේ ජනතාවට ලබා දිය හැකිය. විශේෂයෙන්ම පවුල් ආරවුල්, දික්කසාද වීමට තීරණ ගැනීම් නිසා ඇතිවන ගැටලු ආදියෙහිදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පොලිසියේ මැදිහත්වීම මත පිළිතුරු සොයා යාමේදී උපදේශන මගින් ආරවුල් සමථයකට පත්කිරීමේ කාර්යයට දායක වීමට පොලිසියට පුළුවන. අවබෝධය ලබාදීම තුළින් බොහෝ ගැටලු නිරාකරණය කළ හැකිය. සත්‍ය වශයෙන්ම උපදේශනය ඔස්සේ අප කරනු ලබන්නේ මිනිසා සිතන ආකාරය සහ මිනිසුන්ගේ හැඟීම් මෙන්ම හැසිරීම වෙනස් කිරීමයි. ගැටලු නිර්මාණය වන්නේ මිනිසාගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් යන සාධක ත්‍රිත්වය පදනම් කරගෙනය. වැරදි සිතුවිලි හේතුවෙන් මිනිසා වැරදි තීරණවලට එළඹෙන අතර වැරදි සිතුවිලි කරණ කොටගෙන වැරදි හැඟීම් ඇතිවෙයි. නිවැරදි නොවූ චර්යාත්මක කාරණා බවට පත්වන්නේ මෙම දෝෂ සහගත සිතුවිලි සහ හැඟීම්ය.
මිනිසුන් අත්තනෝමතික ලෙස වැඩ කිරීම සහ බරපතළ පීඩාවන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවය අද ඉහළ අගයක් ගනිමින් පවතී. හැඟීම් සහ සිතුවිලි නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අර්බුද රුසක් නිර්මාණය වී තිබේ. චිත්තවේගීය බුද්ධිය යන සංකල්පයට අනුව තමන්ට තමන් පිළිබඳ අවබෝධය, තමන්ට අනෙකා පිළිබඳ අවබෝධය සහ තමාට සමාජය පිළිබඳ අවබෝධය වැදගත් වේ. එහෙත් වත්මනෙහි අප දකින්නේ එම ත්‍රිත්ව අවබෝධයෙන් වියුක්ත බහුතර මිනිසුන්ගෙන් සුසැඳි සමාජයකි.
අපට පැහැදිලිව අනෙකා විඳින දුක් වේදනාවන් තේරුම් ගත හැකි නම් ඊට විසඳුම් දීමටද ඉදිරිපත් වීමේ හැකියාව නිර්මාණය වේ. එහෙත් එවන් සංවේදනාත්මක මානුෂිකත්වයක් සහ අවබෝධයක් නොමැතිකම මිනිසුන් තමන්ගේ පීඩනය සමඟ මහ මඟට ඇද දමන්නට තරම් ප්‍රබල වී තිබේ. අද්‍යතන මිනිසා දැඩි පීඩනයකට හා අරගලයකට මැදිව ජීවත් වන්නේ මේ සංවේදනාත්මක සවිඥානිකත්වය වෙනුවට හුදු ආත්මාර්ථකාමීත්වය රජයන සමාජයක පුරවැසියන් බවට පත් වීම නිසාය. යමෙකුට තමන්ගේ නොහැකියාව තේරුම් ගත නොහැකි යම් තැනක් වේද එතැන නිතැතින්ම නිර්මාණය වන්නේ දැවැන්ත අර්බුද රාශියකි. යථාර්ථවාදීව සමාජ සන්දර්භය පිරික්සද්දී අප විඳින්නේ ඒ කටුක සත්‍යයයි. පොදු සමාජය පීඩනයෙන් පීඩනයට පත්ව ඇති පසුබිමකත් වගකිවයුතු සියලු පාර්ශ්ව ඇස් කන් නැති උන් සෙයින් සිටින්නේ ඒ නිසා නොවේද? මේ සියලු ගැටලු මනෝ විද්‍යාත්මකය.
මිනිසාට මිනිසා තේරුම් ගැනීමට නොහැකි වූයේ ඇයි? එක්කෝ කපටිකම, නැත්නම් තමාගේ බඩ වියත රුකගැනීමට ඇති ආත්මාර්ථකාමී සිතුවිල්ල, බලයට ඇති කෑදරකම හෝ මානසික රෝග නිසා එසේ වී ඇති බව මැනවින් පැහැදිලිය. මානසික රෝගයක් ඇති පුද්ගලයෙක් කිසිම විටෙක තමාට මානසික රෝගයක් ඇති බව පිළිගැනීමට මැලි වෙයි. සැබැවින්ම අප වඩාත් විශ්ලේෂණාත්මකව විමසුමක යෙදෙද්දී පැහැදිලි වන්නේ සමාජයේ සැලකිය යුතු තරම් පිරිසක් මනෝ විකෘතිතාවයකින් සහ මනෝ ව්‍යාධියකින් පෙළෙන බවයි.
මිනිසාට මිනිසා පිළිබඳව සංවේදනය, අවබෝධය, වැඩ කිරීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවය වඩා දැනෙමින් පවතින වර්තමානයක ඊට සමගාමීව මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ වටිනාකමද ඉස්මතු වෙමින් පවතී. නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි නායකත්වයක් නිර්මාණය කිරීම, අනාගත පරම්පරාව නිවැරදි සුබවාදී දිශානතියක් කරා යොමුකිරීම උදෙසා ප්‍රථමව මිනිසා නිවැරදි චින්තනයක් කරා ප්‍රවේශ විය යුතුය. මිනිසා නිර්මාණාත්මකව සිතා වැඩ කරන පිරිසක් බවට පත් කළ යුතුය. අද රටට අවශ්‍ය වී ඇත්තේ නවෝත්පාදනයයි. විචාර චින්තනයකින් නිර්මාණාත්මක බවකින් සහ සහයෝගයකින් තොරව රටක් සංවර්ධනය කළ නොහැකිය. අද මිනිසා සහ මිනිසා අතර ඇති සහයෝගය දරුණු ලෙස පළුදු වී ගොස් ඇත.
21 වැනි සියවසේ කුසලතා ඔස්සේ එනම් විචාර චින්තනය, නිර්මාණාත්මක චින්තනය සහ නවෝත්පාදන හැකියාව, සාක්ෂරතාවය, තාක්ෂණික කුසලතා, සහයෝගීතාව, මුලපිරීම, මේ සියල්ල සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය වෙයි. මනෝ උපදේශනය යටතේ මේ සියල්ල නිවැරදිව හා ක්‍රමවත්ව පුරුදු පුහුණු කරනු ලැබේ. ආයතනයක් සමාජයක් ගොඩනගන්නේ කෙසේද? මේ සියල්ලටම පිළිතුරු මනෝ විද්‍යාව සතු වුවත් ඒ න්‍යායන් හා ප්‍රායෝගික මූල ධර්මයන් නිවැරදි හා විධිමත් ලෙස සමාජය වෙත සම්ප්‍රේෂණය වූයේ නැත.
අද වනවිට දැකිය හැකි ඛේදනීයම තත්ත්වයක් වන්නේ මනෝ විද්‍යාවේ %අද^ යනු %ආ^ යනුවක් නිවැරදිව නොදන්නා පිරිසක් මනෝ විද්‍යා උපදේශනය වෙත ප්‍රවේශ වී සිටීමයි. මනෝ විද්‍යාව යනු සැබැවින්ම විෂය ධාරාවන්ට, උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලාවලට පමණක් සීමා විය යුතු විෂය ක්ෂේත්‍රයක් නොවන අතර එය සැමවිටම සමාජයේ ඵලදායීතාවය සහ ශෝධනය උදෙසාත් මානව චින්තනය නිවැරදි සුබවාදී දිශානතියක් කෙරේ යොමුකිරීම පිණිසත් ප්‍රබල ආධාරයක් බවට පරිවර්තනය කළ යුතුය. එය එසේ විය යුතු වන්නේ එම මෙහෙවර ඉටුකිරීමේ සාධනීය හැකියාවක් මනෝ විද්‍යාවට සහ මනෝ උපදේශනයට ඇති හෙයිනි. සමාජ අභ්‍යන්තරයේ ගැටලු රැසක් නිර්මාණය වීම විෂයෙහි මනෝ විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රය තුළින් උත්පාදනය කළ හැකි සාරය සමාජය වෙත සම්ප්‍රේෂණය නොවීම මූලිකවම බලපා ඇති කරුණකි. මනෝ විද්‍යා උපදේශනය කාලීන වැදගත්කමක් උසුලන්නේ මෙවැනි පසුබිමකදීය.
පවුල් ආරවුල් විසඳීම විෂයෙහි පවුල් උපදේශනය ඉතා වැදගත් වේ. මාර්ගගත අධ්‍යාපනය හේතුවෙන් දරුවන් මාර්ගගත ක්‍රීඩා සහ තාක්ෂණය කෙරේ නැඹුරුවීම දැඩි ඇබ්බැහිවීමක් බවට පත්ව තිබේ. කංසාවලට ඇබ්බැහි වූ සෙයින් තාක්ෂණය විසින් අතික්‍රමණය කරන ලද වහල්භාවයකට නතු වූ දරු පරම්පරාව එයින් මුදවා ගැනීමට ළමා මනෝ විද්‍යා උපදේශනය, ඇබ්බැහිකම පිළිබඳ උපදේශනය ව්‍යාප්ත විය යුතුය. දරුවන්ගේ නිර්මාණාත්මක සාධනීය හැකියාවන් මෙම ඇබ්බැහිවීම් නිසා මොට වී තිබේ. දෙමව්පියන්ට දැඩි වේදනාකාරී අත්දැකීමක් බවට පත්ව ඇති මෙම අර්බුදය උදෙසා ළමා මනෝ විද්‍යා උපදේශනය මගින් සාර්ථක විසඳුම් ලබා දිය හැකිය.
එමෙන්ම පාසල් උපදේශනයද අත්‍යවශ්‍ය වී තිබේ. මේ සියල්ල සමාජගත කිරීමට විශාලම බාධකය වී ඇත්තේ නිසි පුහුණුවක් ඇති මනෝ උපදේශකවරුන් අවශ්‍ය තරම් නොමැති වීමය. අද උසස් ආයතනවල මනෝ උපදේශනයේ යෙදෙන්නේ එසේ උපදේශනයේ යෙදීම සඳහා අවශ්‍ය මූලික කුසලතාවලින් වියුක්ත පිරිසකි. කුසලතා සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ කිසිදු කුසලතාවක් නොමැති පිරිසකි. යම් පණිවිඩයක් නිවැරදිව සන්නිවේදනය කළ නොහැකි, එමෙන්ම උපදේශනය හෝ මනෝ විද්‍යාව පිළිබඳ විද්වත් දැනුමකින් වියුක්ත පිරිසක් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සැබැවින්ම මහා ඛේදවාචකයකි. සුදුස්සා නුසුදුස්සා බවට පත්වී නුසුදුස්සන් සුදුස්සන් බවට පත්වූ පසුබිම නිර්මාණය කළේ බලයයි. බලය අනිසි ලෙස භාවිත කිරීමේ දුෂ්ඨ චක්‍රය තුළ රටේ අසංවර්ධනය හා අර්බුද නිර්මාණය වී ඇති අතර මෙහි අවසන් ප්‍රතිඵල වන්නේ අසහනය, පීඩනය, ගැටුම සහ අරගලයයි. අද සමාජය පැමිණ සිටින්නේ එතැනටය.
සැබැවින්ම මනෝ විද්‍යා විෂය සරසවියක ඉගැන්වූ පමණින් මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුටවත් උපදේශනයේ යෙදීමේ අයිතියක් නැත. උපදේශනය පුහුණු කළ යුතුය. උපදේශනය ඉගැන්වීම, පුහුණු කිරීම, ඒ පිළිබඳ සායනික අත්දැකීම් ලබාදීම, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ පමණින්ම කළ නොහැකිය. ඕනෑම රටක පුද්ගලයකුගේ විශේෂඥභාවය මනින්නේ ඔහුගේ පර්ෙය්ෂණ ක්ෂේත්‍රය අනුවය. විශේෂඥභාවය තීරණය වන්නේ පශ්චාත් උපාධිය මතය. එසේ නම් පශ්චාත් උපාධියකට මනෝ විද්‍යාව පිළිබඳව පර්ෙය්ෂණයක් නොකර එහි නියැලෙන තාක් මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයකු වීමට නොපිළිවන. එසේම මනෝ විද්‍යා උපදේශනයේ රැඳෙන්නකුට අවුරුදු පහක්වත් විධිමත් පුහුණුව පළපුරුද්ද හා අත්දැකීම අත්‍යවශ්‍ය වෙයි. අද උපදේශකවරයකු ලෙස සේවය කිරීමට රජය පිළිගත් ආයතනයක අවම වසරකවත් පිළිගත් ඩිප්ලෝමාවක් අවශ්‍යයි. එහෙත් මාස තුනේ, හයේ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරෑ උපදේශන වැඩමුළුවලට සහභාගිවූවන් උපදේශකවරු ලෙස කටයුතු කරති. ඇතැම් පාසල්වල මනෝ උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නේ එසේ නිසි පුහුණුවක් ලැබූවන් නොව පාසලේ නිසි ලෙස කිරීමට කාර්යභාරයක් නැති ගුරුවරුය. ඇතැම් උපදේශකවරු මානසික රෝග සඳහා ඖෂධ ලබාගන්නන්ය. ඇතැම් උපදේශකවරු හේතුවෙන් මනෝ විද්‍යාවට සාප කරන තත්ත්වයක් පවා නිර්මාණය වී තිබේ. රාජ්‍ය අංශයේද මෙවැනිම තත්ත්වයක් දැකිය හැකිය. මෙවැනි ව්‍යාජ මනෝ උපදේශකවරුන් නිසා වන්නේ සමාජයටම අගතියකි. ඔවුහු මනෝ උපදේශනය යන වටිනා විෂය ක්ෂේත්‍රය විකුණාගෙන කමින් පීඩනයට පත් මිනිසුන්ගේ මුදල් වංචාවක පැහැදිලිවම නියැලී සිටිති. එහෙයින් ඔබ පුද්ගලයෙක් වශයෙන් හෝ ආයතනයක් වශයෙන් උපදේශනය ලබාගැනීමට යොමුවේ නම් මූලිකවම උපදේශකවරයාගේ සුදුසුකම් පිළිබඳව මුලින්ම සොයා බලා තහවුරු කරගත යුතුය.
උපදේශකවරුන් ලියාපදිංචි කිරීමේ නියාමනයක් තවමත් ලංකාවේ ස්ථාපිත වී නැත. එමෙන්ම මනෝ උපදේශකවරුන්ගේ සංවිධානයක් තවමත් ලංකාවේ නැත. අද විද්වත් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති ලෙස සඳහන් කරගත් ව්‍යාජ සංවිධාන මේ විෂයෙහි නිර්මාණය වී ඇත. මේ නිරුවත ඔබ හඳුනා නොගතහොත් ව්‍යාජ උපදේශකවරුන්ට රුවටීමට ඇති ඉඩ සුලභය. අද මනෝ චිකිත්සක ලෙස බෝඩ් ලෑල්ලක් සමඟින් කටයුතු කරන බහුතරය ඊට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා නැති පිරිසක් බව වගකීමෙන් සඳහන් කළ හැකිය. මානව හැකියා විශේෂඥ, ධන චින්තක උපදේශක, වෘත්තිය අභිප්‍රේරක, පෞරුෂ සංවර්ධන විශේෂඥ වැනි තනතුරු නාමවලින් පෙනී සිටින කිසිදු ව්‍යාජ උපදේශකවරයකුට ජනතාව මුලා විය යුතු නැත. ඇතැම් මනෝ උපදේශකවරුන් ලෙස පෙනී සිටිනා පුද්ගලයන් අසභ්‍ය වචන භාවිත කරමින් උපදේශයේ යෙදෙන ප්‍රවණතා පසුගිය කාලයේ දක්නට ලැබුණි. කනගාටුවට කරුණු නම් එවැනි සුදුසුකම් විරහිත මනෝ උපදේශකවරුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මනෝ උපදේශනය සඳහා ද ගෙන්වීමය. උපදේශනය පිළිබඳ ආචාරධර්ම පද්ධතියක් පවතී. එය මැනවින් හදාළ අයෙක් එවන් අසභ්‍ය කතා ඔස්සේ කිසිදු විටෙක උපදේශනයේ නොයෙදෙයි. සැබැවින්ම ජනතාව රවටා ඒ අයුරින් මුදල් ගසාකෑමට වඩා සිඟමනේ යෙදීම සුදුසුය. කනගාටුවට අනෙක් කරුණ නම් මෙම වංචාකාර උපදේශකවරුන්ගේ අර්ථ විරහිත උපදේශනය සඳහා ගෙවන්නේ රාජ්‍ය මුදල් වීමය. මනෝ විද්‍යාඥයා යන තනතුර භාවිත කිරීමට නම් සායනික ක්ෂේත්‍රය පිළිබඳව නිවැරදි පළපුරුද්දක් සහ මනෝ විද්‍යාව පිළිබඳ විධිමත් පුහුණුවක් තිබීම අනිවාර්ය වේ. මනෝ විද්‍යාව සම්බන්ධිත විෂයන්ගෙන් ක්‍රමවත් ලෙස ආචාර්ය උපාධිය සමත් විය යුතුය.
මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ විධිමත් නියාමනයක් නොමැතිවීම පාර්ලිමේන්තුවේද විවාදයට ලක්වූ අතර මේ වනවිට මනෝ උපදේශනය සම්බන්ධයෙන් යම් රාජ්‍ය මට්ටමේ නියාමනයක් සැලසුම් වී තිබේ. වසර කිහිපයක් තිස්සේ අමාත්‍යාංශ මට්ටමින් එම නියාමනය පිළිබඳ විද්වත් කථිකාවක් දිගහැරුනු අතර වෘත්තිමය මනෝ විද්‍යා උපදේශන සේවා ආචාරධර්ම පද්ධතිය නමින් එම නියාමනය පිළිබඳ ග්‍රන්ථයක් මේ වනවිට සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය සහ ස්වයංරුකියා පිළිබඳ අමාත්‍යාංශය විසින් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව කෘතඥ පූර්වක ස්තූතිය ඒ විෂයෙහි සහයෝගය දැක්වූ සියලු පාර්ශව වෙත පුද කළ යුතුය. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් මා ද ඇතුළුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් මෙන්ම ආයතන රැසක් මීට දායකත්වය ලබා දුන්හ. මෙවැනි නියාමනයන් මගින් හාස්‍යජනක වංචනික හුදෙක් මූල්‍ය පරමාර්ථය පෙරදැරි කරගත් උපදේශන සේවාවන්ට වැට බැඳීම අනිවාර්යයෙන් කළ යුතුමය. එය සැබැවින්ම මහා මෙහෙවරක් වන්නේ උපදේශනය අවැසි වන්නේ බොහෝ විට පරාජිත වේදනාත්මක බිඳවැටීම්වලට ලක්වූවන්ට මෙන්ම ආයතනික මට්ටමින් සංවර්ධනය කරා යොමුවීමට අවශ්‍ය පන්නරය අවදි කිරීම උදෙසා වන බැවිනි.
සංජීවිකා සමරතුංග