වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රටම අගාධයට පත් වී හමාරය. ජනතාවගේ දෛනික ජීවිතයෙන් අඩක් ගෙවෙන්නේ පෝලිම්වලය. ආහාර මිල අධිකය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිසිවක් නැත. රටම බංකොලොත් බව ආණ්ඩුවම පිළිගෙන තිබේ. මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා අන්තර්වාර පාලනයක් නිර්මාණය කොට පවතින දේශපාලන අර්බුදය කළමනාකරණය කොටගෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවට යෝජනා කිහිපයක්ම ඉදිරිපත් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ එකොළෙහ් කණ්ඩායම මෙම මතය ගෙනහැර පෑවේය. නීතීඥ සංගමයද දේශපාලනමය හා ආර්ථික වශයෙන් කළ හැකි වෙනස්කම් පිළිබඳව කරුණු 13ක් යටතේ යෝජනාවලියක් සකස් කොට ඉදිරිපත් කළේය.
රටේ ජනතාවගේ ඉල්ලීම වූයේ ජනාධිපති, අගමැති ඇතුළු සියලු රාජපක්ෂවරුන් පාලනයෙන් ඉවත් විය යුතු බවටය. එහෙත් එවැන්නකට රාජපක්ෂවරුන් සූදානම් නැත. ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම් ඔහුව ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීම පහසු නොවන බව බොහෝ පාර්ශ්වයන්හි මතය විය. ඒ අනුව ජනාධිපතිවරයා එලෙසම සිටියදී ආණ්ඩුව ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු යැයි ඔවුන්ගේ අදහස විය.
මේ අතර ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පසුගිය අප්‍රේල් 4 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර පාලනයක් නිර්මාණය කිරීම සහ එම අන්තර්වාර මණ්ලයට උපදෙස් දීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කිරීම, ජාතික ප්‍රතිපත්තියක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අදාළ යෝජනා පිළිබඳව විනිවිද භාවයකින් ජනතාව දැනුම්වත් කිරීම සහ එම මණ්ඩලයේ සාමූහික තීන්දුවලට අනුගතව ජනාධිපතිවරයා කටයුතු කිරීම වැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබිණි. ජනතා ගැටලු සම්බන්ධයෙන් අසංවේදීව කටයුතු කරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන බවද මහ නා හිමිවරුන් දන්වා තිබිණි. එයට පිළිතුරු ලිපියක් යවමින් ජනාධිපතිවරයා අන්තර්වාර පාලනයක් ස්ථාපනය කිරීමට කැමැත්ත පළ කළේය.
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට නම් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීම හෝ විශ්වාසභංගයක් හරහා බලයෙන් පහ කිරීම සිදුවිය යුතුය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය මේ අතර අගමැතිවරයා හමු වූ අතර ඔවුන් කියා සිටියේ අගමැතිවරයා හෝ ආණ්ඩුව ඉල්ලා අස් නොවිය යුතු බවටය.
තමා ඉල්ලා අස් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා තමන් ඉවත් නොකරන බවට විශ්වාස කරන බවද කියා සිටියේය. එක් අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවුවහොත් එහිද අගමැති තමා බවය. අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කරන අතරතුර ඉකුත් සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂ නියෝජනය කරන නායකයන් වෙත ලිපියකින් දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 29 වැනි සිකුරාදා පැවැත්වීමටද ඔහු පියවර ගත්තේය.
සිකුරාදා උදෑසන ජනපති හා පැවති සාකච්ඡාවට පක්ෂ එකොළහේ නායකයෝ සහභාගී වූහ. ඒ අනුව මුලින් කොන්දේසි දමා තමන් නොයන බව කියූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනාධිපති හමුවිය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය තව දුරටත් සංශෝධනය කර පිටු 13කින් සමන්විත නව යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය වී තිබේ. පැය කිහිපයක් ඇදී ගිය සාකච්ඡාව අවසානයේ ජනාධිපති මන්දිරයෙන් පිටතට පැමිණි ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වූ බවයි. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීම සියලු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩලය උපරිම වශයෙන් 20ක් පමණ විය යුතු බවද සඳහන් විය.
මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවකට යෑමට තමන් සමග සිටින 40 දෙනා තවම එකඟතාවක් පළකර නොමැති වුවද තම අරමුණ වන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කොට එමගින් ජනාධිපතිවරයා සතු බලතල වැඩි ප්‍රමාණයක් අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට ලබා ගැනීම බවයි.
සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ජනාධිපතිවරයා යටතේ අන්තර්වාර පාලනයකට එකතුවීම ප්‍රතික්ෂේප කර තිබේ. අන්තර්වාර පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිතසුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදාගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණි. අන්තර්වාර රජයක තනතුරු භාර නොගන්නා බවද ඔහු ඊට පෙර සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති හෙයින් ඔහු යටතේ අන්තර්වාර පාලනයකට තමන් සූදානම් නොමැති බවයි. තමන්ගේ යෝජනා වන්නේ පළමුව ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත් දෙවැනුව ආණ්ඩුව ඉවත් විය යුතු බවත්ය. ඉන්පසු ඉතාමත් සීමිත කාලයකට අන්තර්වාර පාලනයක් ඇතිකොට ඉක්මනින්ම මහා මැතිවරණයකට යා යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර අන්තර්වාර පාලනයක් වහා පිහිටුවන ලෙසට බලකරමින් මහා සංඝ සම්මේලනයක් පැවැත්විණි. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී අන්තර්වාර පාලනයක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීම සඳහා සංඝ සම්මුතියක් පැනවීමට කටයුතු කරන බව නිදහස් චතුරශ්‍රයේ පැවැති සංඝ සම්මේලනයේදී මහා සංඝරත්නය ප්‍රකාශ කළෝය.
මේ අතර ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවා පවතින අර්බුදය විසඳා ගැනීමට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය මැයි 2 දින ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වූහ. පසුගිය 29 වැනි සිකුරාදා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවේදී එවැනි ආණ්ඩුවක් පත් කිරීම සඳහා වන යෝජනා සහ අදහස් ලබාගැනීම සඳහා පත්කළ කණ්ඩායම එම සාකච්ඡාවට එක්ව සිටියහ. ස්වාධීන මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රමේෂ් පතිරණ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් එක්ව සිටියහ. පසුගිය කාලය පුරාම බැසිල් රාජපක්ෂ විවේචනය කරමින් ඔහු සිටින ආණ්ඩුවක නැවත අසුන් නොගන්නා බව පැවසූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙම සාකච්ඡාවලට ඔහු සමඟ එක්ව සිටීම විශේෂත්වයක් විය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණුවලට පොදුජන පෙරමුණු නියෝජිතයන් එකඟ වූ බව නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේය. එහෙත් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමේදී අනෙකුත් පක්ෂද සහභාගී කර ගැනීමට සියලු දෙනාම ක්‍රියා කළ යුතු බවට තීරණය කළ බවද ඔහු කීවේය. රටේ මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට දැඩි ඉල්ලීමක් තිබෙනවා. රට පත්ව ඇති අරාජික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් සියලු පක්ෂවලින් සැදුම් ලත් ජාතික ආණ්ඩුවක් පත්කරගත යුතුයි.* යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා කිසියම් කාලසීමාවක් සඳහා අන්තර්වාර පාලනයකට යෑමේ මූලික සංකල්පවලට තම පක්ෂය එකඟ වූ බවයි. &මෙවැනි සංකල්පයක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ අපේ රටේ මහනායක හිමිවරුන්. කාදිනල් හිමියන්ද මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කළා. රටේ විවිධ සමාජ කණ්ඩායම් ඉල්ලා සිටින්නේද එවැනි පාලනයකට යන ලෙසයි.* යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම සලකා බලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි. එවැන්නක් සිදු වුවහොත් කෙටි කලක් සඳහා පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුරුන්දැයි පක්ෂ නායක කමිටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ නම හැර වෙනත් නමක් යෝජනා නොකරන බවද ඔහු කියා තිබේ.
මේ අතර යෝජනා හා අදහස් ලබාගැනීමට පත්කළ කමිටුව 3 වැනිදා සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා හමු විය. එම හමුවෙන් පසු විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ එළඹෙන පාර්ලිමේන්තු සතිය පසුගිය පාර්ලිමේන්තු සතිය මෙන් නොවී රට මුහුණ පා ඇති අර්බුදවලට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවටය. සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට එකඟතාවක් ඇති කර ගැනීම මෙම හමුවේ අරමුණ බවද ඔහු පැවසීය. සමගි ජනබලවේගය පක්ෂයේ සෙසු නායකයන් සමඟ සාකච්ඡා කොට නැවත එම කමිටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසිණි..
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රුස්විය. එහිදී අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මාධ්‍ය විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ රටේ නිර්මාණය වී ඇති ආර්ථික ගැටලු පිළිබඳව ප්‍රකාශයක් සිදු කිරීම බවත් ඉල්ලා අස්වීමේ තීරණයකට අගමැතිවරයා එළඹ නොමැති බවත්ය.
අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ කඹ ඇදිල්ලකය. පාර්ලිමේන්තුව අවස්ථා ගණනාවකදී රුස් වූ නමුදු ජනතාව මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් කිසිවක් කතා නොකොට තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවට ජනතාව චෝදනා කරති. අන්තර්වාර පාලනයටද බාලගිරි දෝෂය බලපා තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා