2022 මැයි 08 වන ඉරිදා

විශ්වාසභංගයට ගලඋඩ සටනක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 44

රටේ බොහෝදෙනා විමසමින් සිටි විශ්වාසභංගය පසුගියදා විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදුන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතින්මය. එක විශ්වාසභංගයක් ගැන කතාබහ ඇති වුණත් විපක්ෂය විසින් විශ්වාසභංග දෙකක්ම කථානායකවරයාට ලබාදී තිබුණේය. කෙසේ වෙතත් ඉන් එකක් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විය. අනෙක ජනාධිපතිවරයාට එරෙහිවය. ඒ නිසා විශ්වාසභංග දෙකකි.

එහෙත් බොහෝදෙනා කතාවුණේ ජනාධිපතිවරයාට එරෙහිව කුමක් සඳහා විශ්වාසභංගයක් බාර දුන්නාද යන්න ගැනය. විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් බාරදෙන බව කීවත් කිසිසේත් විශ්වාස කළ නොහැකි ලෙස ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් බාරදීම බොහෝදෙනාට ප්‍රශ්නයක් විය. එනම් එයට නීතිමය හැකියාවක් තියෙනවාද? විශ්වාසභංගය හරහා ජනාධිපතිවරයාට කුමක් කළ හැකිද? ඔහුට සිදුවන පාඩුව කුමක්ද? එසේත් නැතිනම් විපක්ෂයට වැරදුණාද යන්න බොහෝදෙනාට ඇතිවුණු ප්‍රශ්නයක් විය. එහෙත් ඇත්තටම සජිත් ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනතාවගේ අකමැත්ත පළකිරීම සඳහා බව ඔවුන් විසින් පැහැදිලි කළ කරුණක් විය. ඔවුන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට ජනතාවගේ පණිවිඩය රුගෙන යාම මූලික අරමුණ බවයි.

කෙසේ වෙතත් බොහෝදෙනා බලා සිටියේ සජබය විසින් කථානායකවරයා ලබාදුන් විශ්වාසභංගයේ කුමක් ඇතුළත් වුවාද? රජයට එල්ලකර ඇති චෝදනා මොනවද යන්නය. ඉන් කරුණු කෙටියෙන් මෙලෙස වෙන වෙනම සඳහන් කරමි.
• ව්‍යවස්ථාවේ 43(1) වගන්තිය අනුව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකියන බවත් උත්තර දීමට බැඳී සිටින බවත් එහෙත් එය උල්ලංඝණය කර ඇත.

• ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව මූල්‍ය බලතල පාර්ලිමේන්තු සතු වුවත් අත්තනෝමතික ලෙස මුදල් අමාත්‍යවරයා එය පවරාගෙන, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම.

• ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය අනුව ආහාරපාන ඇඳුම් පැළඳුම්, නිවාස සහ ජීවන තත්ත්වයේ නිරන්තර ප්‍රවර්ධනයට ලක්කිරීම ආණ්ඩුව කළයුතු නමුත් ආණ්ඩුව එම වගකීම මග හැරීම.

• වංචාව දූෂණයට මුල්තැන ලබාදීම සහ ගජමිතුරන්ට අවස්ථාව දීම නිසා දකුණු ආසියාවේ දුර්වලම ආර්ථික වර්ධන ඒකකයක් සහිත රට බවට පත් කිරීම.

• මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් රු. ට්‍රිලියන 3ක මුදල් මුද්‍රණය කරමින් උද්ධමනය ඉහළ දමා, මුදල් මුද්‍රණය කිරීමට හේතු නොදැක්වීම.

• රසායනික පොහොර තහනම් කරමින් අත්තනෝමතික තීන්දු හරහා කෘෂිකර්මාන්තය කඩා වට්ටමින් ආහාර සුරක්ෂිතභාවය බිඳ හෙළීම.

• අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම හරහා සෞඛ්‍ය ක්ෂෙත්‍රය කඩා වැටීම.

• කොරෝනා වසංගත මොහොතේ විශේෂඥ යෝජනා පසෙක දමා මිත්‍යාවට ඉඩදීම.

• සුදුසු මොහොතේ කොරෝනා එන්නත් මිලදී නොගෙන වැඩිමිලට එන්නත් මිලදී ගැනීමත්, දූෂණ වංචා කොරෝනා මර්දන වැඩසටහනේදී සිදුවීම.

• දූෂණ වංචාවට ඉඩදී ආර්ථික තත්ත්වය අවුල් කොට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වී පෝලිම් නිර්මාණය කිරීම.

• පරිසරය සහ වනාන්තර විනාශය.

• සීනි බදු මුදල් රු.50 සිට ශත 25 දක්වා පහළ හෙළා රජයට අයිති බදු මුදල් බිලියන 10 මුදලක් වංචා කිරීම.

• ආණ්ඩුවේ ක්‍රියකාරම් සහ වැඩසටහන්වලදී විනිවිදභාවයකින් තොරව රජයේ මුදල් විනාශ මුඛයට දැමීම.

යන චෝදනා විපක්ෂය විසින් මෙහිදී එල්ලකර තිබුණි. කෙසේ වෙතත් මෙම චෝදනා සමස්තයක් හැටියට පොදු විපක්ෂයෙන් එල්ලවෙන චෝදනා බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් මෙම විශ්වාසභංගය ඇත්තේ කථානායකවරයා ළඟය. විවාදයකින් පසුව මෙම විශ්වාසභංගයට ඡන්දය විමසීම කරනු ඇත. ප්‍රශ්නය පැන නගින්නේ එම අවස්ථාවේදීය. ඒ විශ්වාසභංගය ජයගත ගත හැකි ඡන්ද සංඛ්‍යාවක් විපක්ෂයට තිබේද යන්න ගැනය. එය දැන් හැමෝටම ප්‍රශ්නයක් වී ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ දැනටමත් විශ්වාසභංගයට දිනාගැනීමට අවශ්‍ය ප්‍රමාණය සිටින බවය. එහෙත් ඒ සඳහා සමගි ජනබලවේගයට සහය දෙන්න එම විශ්වාසභංග ජයග්‍රහණයෙන් පසුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන ලෙසට ඔවුන් සඳහන් කරයි. එසේම අන්තර්වාර ආණ්ඩුව සඳහා සජබය සහභාගි විය යුතු බවද දන්වා ඇත. එසේ නොමැති නම් කිසිදු සහයක් ලබා නොදීමට හවුල්කාර පක්ෂ තීරණය කර ඇත. එහෙත් තවම ශ්‍රීලනිපයේ ස්ථාවරය ප්‍රකාශ කර නැත. ඔවුන් සඳහන් කරන එකම කාරණය වන්නේ අන්තර්වාර පාලනයකට යනවා නම් සියලු පක්ෂ සිටිය යුතු බවත් එසේ නොමැති නම් ඔවුන් ඊට එක් නොවන නැති බවත්ය. කෙසේ වෙතත් පක්ෂ විවිධ මතවල සිටින නිසා විශ්වාසභංගයට කුමකින් කුමක් වේද යන්න කවුරුත් දන්නේ නැත. ජවිපෙය, ටී.එන්.ඒ. පවා තවමත් නිශ්චිත අදහසක නැත. ඒ නිසා විශ්වාසභංගයෙන් විපක්ෂය පරාජය වීමේ ඉඩකඩ වැඩිය. එහෙත් දේශපාලනය නිශ්චිත නැත. කාලගුණය සේ වෙනස් වන නිසා කුමකින් කුමක් වේද යන්න හරියටම කිව නොහැක.

කෙසේ වෙතත් මේ විශ්වාසභංගය නිසා එක දෙයක්  සිදුවුණේය. ඒ මහින්ද රාජපක්ෂ මහතා කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න සිටියත් විශ්වාසභංගය නිසා ඔහු ඉවත්වීම නතර කර ඊට මුහුණ දීමට තීරණය කර ඇත. ඒ නිසා පක්ෂ විපක්ෂ අයගේ බලය උරගා බැලිය හැකි හොඳම දවස ඉදිරි දිනයකදී උදාවනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05