2022 මැයි 08 වන ඉරිදා

වැස්ස වලාහක දෙවියෝ විදුලි කප්පාදුව නවතයි?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 74

දිවයිනට බලපානු ලබන නිරිත දිග මෝසම් කාල පරිච්ඡේදය ආරම්භ වන්නේ සෑම වසරකදීම මැයි මාසයේදීය. මෙය මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පවතී. ඔක්තෝබර් සහ නොවැම්බර් දෙවන අන්තර් මෝසම් කාල පරිච්ඡේදයයි. දිවයිනට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයෙන් සියයට තිහක්ම ලැබෙන්නේ මෙකී නිරිත දිග මෝසම් කාල පරිච්ඡේදයෙනි.

''දිවයිනේ නිරිත දිග කොටසින් මේ කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබෙයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ වැනි පළාත්වලින් මේ කාලයේදී වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. මේ නිසා මැයි මාසයේ දහනව වැනිදායින් පසුව නිරිතදිග මෝසම සක්‍රීය වීමක් සිදුවේවි යැයි සිතනවා. එය මේ වනවිට පවතින විශ්ලේෂණවලින් නිගමනය කළ හැකි වුවද ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිදුවීමටත් ඉඩ තිබෙනවා.'' යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

එවැනි කාල වකවානුවකදී උදේ කාලයේදී පරිසරය අඳුරු ස්වභාවයක් උසුලන අතර හිමිදිරි වර්ෂාවක් පවතින අතර දිවයිනේ බොහෝ පළාත්වලට අතරින් පතර සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මැයි මාසයේ වර්ෂාව ඇතිවීමත් සමඟ මේ වනවිටත් සති ගණනාවක් තිස්සේ සෑම දිනකම විසන්ධි කරනු ලබන විදුලියට යම් සහනදායී තත්ත්වයක් උදාවේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. බලාගාර ආශ්‍රිත ජලාශවලට ජලය පිරීයාමත් සමඟ විදුලිය විසන්ධි කිරීම නතර වේවි යැයි ඔවුන් ඉඟි පලකරති.

''මැයි මාසයේ'' එළඹෙන මෙම නිරිත දිග මෝසම හේතුකොට ගෙන දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ඇති විදුලි බලාගාරවලට සැලකිය යුතු ජල ප්‍රමාණයක් ලැබීමේ හැකියාවක් පවතින බව අපි විශ්වාස කරනවා. ජලාශ පිරුණද විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක වන්නට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. කොපමණ වැස්සත් ජල විදුලියෙන් ලැබෙන්නේ 35% - 40%ක් වැනි අගයක්. ගල් අඟුරු සහ අනිකුත් දෑවලින් ඉතිරි අවශ්‍යතාවයන් පිරිමහ ගැනීමට සිදුවෙනවා. නමුත් එම වර්ෂාපතනය හේතුකොට ගෙන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ජලය ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.'' යැයි අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

එකදිග ඇදහැලෙන වර්ෂාවත් සමඟ බොහෝ දෙනකු ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් සැක පල කරති. ඇතැම් වසරවලදී එකදිගට ඇදහැලෙන වර්ෂාවෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගංවතුර ආපදා තත්ත්වයක් ඇතිවේ. නමුත් දිවයින අවට ඇති බෙංගාලබොක්ක ප්‍රදේශය සහ කලාප මුහුදේ ඇතිවන තරංගමය අඩු පීඩන කලාප සහ සුලි කුණාටු වැනි තත්ත්වයන් ඇති වූ විට ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. මේ නිසා එවැනි ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් පූර්ණ දැනුම්දීමක් මේ වනවිට කීමට නොහැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයක් තුළ ඉදිරි දින දහය දොළහ කාලය ඇතුළත සිදුවන තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් වීමට හැකිවුවද මේ වනවිට ඉදිරි දින කිහිපය තුළදී ගංවතුර වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැත. නමුත් අන්දමන් දූපත්වල කුඩා කැළඹිලි ස්වභායක් පෙන්නුම් කළද එය දිවයිනේ ඉතා ඈතින් පෙන්නුම් කෙරෙන බැවින් එය කැළඹෙන ස්වභාවය හේතුකොටගෙන එහි ඍජු බලපෑමක් දිවයින තුළට ඇති නොවුණද එහි වක්‍ර බලපෑමක් හේතු කොටගෙන බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා ඇති මුහුදු තීරය තුළට සුළඟේ වේගය වැඩිවීමක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් බස්නාහිර, දකුණු පළාත්වලට මුහුදු ප්‍රදේශවල මෙම තත්ත්වය දැකගත හැකිය. මෙම බෙංගාල බොක්කේ කුඩා කැළඹිලි ස්වභාවය ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට ඍජුවම බලපානු ඇත.

■  දිශානි ජයමාලි කරුණාරත්න