2022 මැයි 08 වන ඉරිදා

බොලිවුඩ් නිළි ජාකලින් පැටලුනු තෑගි හුටපටය

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 45

බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් පසුගියදා ඉන්දියාවේ ආර්ථික අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය - Enforcement Directorate විසින් ප්‍රශ්න කරනු ලැබුවේ ප්‍රධාන පෙළේ මූල්‍ය වංචාවන් රුසක මහ මොළකරු වන සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ රුපියල් කෝටි 200ක කප්පම් සිද්ධිය සම්බන්ධයෙන්ය. ඔවුන් වාර්තාකර ඇත්තේ සුකේෂ් නිළියට රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි ලබා දී ඇති  අතර ජැකලින්ගේ පවුලේ සාමාජිකයින්ට ඩොලර් 173,000 කට ආසන්න මුදලක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 27,000 ක් පමණ ණයට දී ඇති බවයි.

පුද්ගලික ජෙට් යානා, හෙලිකොප්ටර් සවාරි, පර්සියානු බළලුන්, දියමන්ති කට්ටල, මිල අධික සන්නාම සහිත බෑග් ඇතුළු තවත් සුඛෝපභෝගී බොහෝ දේ සුකේෂ්ගෙන් තමාට තෑගි ලැබුණු බව නිළිය අවසානයේ ED වෙත හෙළිකර තිබුණි.  
ජැකලින් ෆර්නැන්ඩස් කික්, මර්ඩර් 2, හවුස්ෆුල් 2 සහ 3, රේස් 2, ජුඩ්වා 2 සහ තවත් බොහෝ චිත්‍රපටවල රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් තැනැත්තියකි. මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට ඇය සම්බන්ධවීම ඇයගේ ප්‍රතිරූපයට පමණක් නොව මෑතකාලීනව සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටවලටද තීරණාත්මක බලපෑමක් කර ඇත.

මුලින්ම 2021 අගෝස්තු මාසයේදී, රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් මූල්‍ය වංචාවන් රැසක සැකකරුවන සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගත් විට, ජැකලින් ෆර්නැන්ඩස් අපරාධකරු සමඟ ඇති සම්බන්ධය පිළිබඳව බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය (ED) විසින් පරීක්ෂාවට ලක්කර පැය හතරක් ප්‍රශ්න කරන ලදී. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ (PMLA) විධිවිධාන යටතේ ඇයගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබුණි. අගෝස්තු සහ ඔක්තෝබර් මාසවලදී ඇයගේ ප්‍රකාශය අතරතුර ජැකලින් සුකේෂ්ගෙන් ඩොලර් ලක්ෂ 1.5ක ණයක් ලබාගත් බව ED වෙත පාපොච්චාරණය කළාය. ඇයට ලැබුණු තෑගි අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ඉන්දියානු රුපියල් ලක්ෂ 9 බැගින් වටිනා පර්සියානු බළලුන් තිදෙනෙකු, ඉන්දියානු රුපියල් කෝටි 7ක් වටිනා මැණික් ඔබ්බවන ලද කරාබු ජෝඩු 15ක් සහ  දියමන්ති එබ්බවු හර්මීස් අත් පළඳනාවන් 2ක්ද, රොලැක්ස් ඔර්ලෝසු ගණනාවක්ද,  GUCCI වැනි ඉහළ සුඛෝපභෝගී අත්බෑග්ද, පාවහන්ද අයත්ව ඇති බව හෙළිවිය. ඔහුගෙන් නිළියට මිනි කූපර් රථයක්ද ලැබුණු බව වාර්තා වන අතර පසුව ඇය එය ආපසු ලබා දුන් බව වාර්තා විය. තවද ඇගේ දෙමාපියන්ට ඔහු නවීන MASERATI සහ PORSCHE කාර් රථ දෙකක්ද ලබාදී ඇති බව හෙළිවිය.

ඒ අතර මෑතකදී, බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය (ED) බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙත ලැබුණු තවත් රුපියල් කෝටි 7.27ක් වටිනා වත්කම් එළිදරව් කර ඇති අතර, එයට රුපියල් කෝටි 7.12ක ස්ථාවර තැන්පතුවක් සහ ජැකලීන් වෙනුවෙන් තිර රචකයෙකුට සුකේෂ් විසින් ගෙවන ලද රුපියල් ලක්ෂ 15ක මුදලක්ද ඇතුළත් විය.

මේ එළිදරව්වත් සමඟ සුකේෂ් සහ ජැකලින්ගේ පෙම් සබඳතාවයේ ප්‍රවෘත්ති සහ වාර්තා අන්තර්ජාලයේ සුලබ මාතෘකාවක් විය. ඒ අතර, 2022 ජනවාරි මාසයේදී, සුකේෂ් නිළිය සිප ගනිමින් සිටින දෙදෙනාගේ සමීප පින්තූරයක් සහ ඇය සෙල්ෆියක් “ක්ලික්“ කරන අයුරු දැක්වෙන සමීප ඡායාරූපයක්ද සමාජ මාධ්‍යවල ප්‍රචලිත විය. මේ හේතුවෙන් නිළිය නැවත වරක් සමාජ ජාල තුළ දැඩි විවේචනට ලක්විය. මෙසේ ඇය මාධ්‍ය මගින් අපහසුවට පත්වෙද්දී සුකේෂ් ඇය ආරක්ෂා කළේ සිරගෙදර සිට ලිපියක් ලියමිනි. එහිදී තමන් සහ ජැකලින් අතර සම්බන්ධතාවයක් ඇති බව පාපොච්ඡාරණය කළ ඔහු එවැනි වෙනත් ඕනෑම සම්බන්ධතාවයකදී සිදුවනවාක් මෙන් ඇයට තමන් තෑගි ලබාදීම සාමාන්‍ය බව පෙන්වා දී තිබුණි.

''මම ඇයට දේවල් තෑගි කරලා තියෙනවා, එයාගේ පවුල වෙනුවෙන් දේවල් කරලා තියෙනවා, කෙනෙක් එයාගේ ආදරණිය කෙනා වෙනුවෙන් කරන සාමාන්‍ය දේවල් ඒ. ඒක පුද්ගලිකයි. මට තේරෙන්නේ නැහැ ඇයි මේ තරම් ලොකු දෙයක් කර ගන්නේ කියලා. ඒ එක්කම මම මේ කිසිවක් ‘ඊනියා අපරාධවල ආදායමක්’ නොවන බව නැවත සහතික කිරීමට කැමතියි. ඒ සියල්ල නිත්‍යනුකූල ඉපැයීම් වලින් ලද දේ වන අතර එය ඉතා ඉක්මනින් අධිකරණයේදී ඔප්පු වනු ඇත.'' යනුවෙන් ඔහු සිය ලිපියේ සඳහන් කර තිබුණි.

ඇය මෙම නඩුවට සම්බන්ධ වීම නිසා ජැකලින් ගේ ප්‍රතිරූපය රසිකයින් අතර පළුදු වී තිබෙන අතර, ඇයගේ අවසන් චිත්‍රපට දෙක වන බච්චන් පාණ්ඩේ සහ ඇටෑක් සිතු මට්ටමේ ප්‍රතිඵල ගෙන ආවේ නැත. ඇය රඟපෑමට සිටි “ හරි හර වීර මල්ලු'' සහ කික් 2 හි  ඇය වෙනුවට වෙනත් නිළියක ආදේශ කර ඇති බවද වාර්තා විය. 

තමන් ජීවිතයේ අසීරු අඩවියක් පසුකරමින් සිටිනා බවත් තමන් කෙරෙහි ඇති විශ්වාසය අත් නොහරින ලෙසත් ජැකලයින් සමාජ ජාලා තුළින් ඉල්ලා සිටියාය. “මේ රට සහ එහි ජනතාව මට හැමවිටම ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබාදී ඇත. මෙයට මා බොහෝ දේ ඉගෙනගත් මාධ්‍ය මිතුරන්ද ඇතුළත්ය. මම දැනට රළු පැල්ලමක් ඔස්සේ ගමන් කරමින් සිටින නමුත් මගේ මිතුරන් සහ රසිකයන් එය හරහා සැබෑ මම, විනිවිද දකිනු ඇතැයි මට විශ්වාසයි. මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට අනවසරයෙන් ඇතුළු වන ආකාරයේ ඡායාරූප බෙදා නොහරින ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය ඇතිවය. ඔබ ඔබේම ආදරණීයන්ට මෙය නොකරනු ඇත, ඔබ මට මෙය නොකරන බව විශ්වාසයි. යුක්තිය සහ යහපත් හැඟීම පවතිනු ඇතැයි අපේක්ෂා කරමු. ඔබට ස්තුතියි! යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.

ජැකලින් ෆර්නැන්ඩස් යනු ශ්‍රී ලාංකික නිළියක සහ හිටපු නිරූපිකාවකි. ඇය 2006 විශ්ව රූ රුජින තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජයග්‍රාහකයාය. 1985 අගෝස්තු 11 වැනි දින බහරේනයේ මනමාහි එල්රෝයි සහ කිම් ෆර්නැන්ඩස්ට දාව උපන් ජැකලින් හැදී වැඩුණේ බහු වාර්ගික පවුලකය. 1980 දශකයේ ඇති වූ සිවිල් නොසන්සුන්තාව හේතුවෙන් සංගීතඥයෙකු වූ එල්රෝයි ෆර්නැන්ඩස් සිය උපන් රට වන ශ්‍රී ලංකාව හැර ගියේය. ගුවන් සේවිකාවක් වන කිම්, මැලේසියානු සහ කැනේඩියානු මිශ්‍ර කාන්තාවකි. විවාහයෙන් පසු ඔවුන් බහරේනයේ පදිංචි විය. ජැකලින් ඔවුන්ගේ දරුවන් හතර දෙනාගෙන් බාලයාය. ඇයට අමතරව ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සහ තවත් දියණියක් ද සිටී.

ඇය කුඩා කල සිටම රංගන අභිලාෂයන් ඇති කරගත් අතර ඇයට හොලිවුඩ් තරුවක් වීමට අවශ්‍ය විය. ඇයට වයස අවුරුදු 14 දී ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමට පටන් ගත්තාය. බහරේනයේ සේක්‍රට් හාට් පාසලෙන් මුල් අධ්‍යාපනය ලැබූ ඇය පසුව ජන සන්නිවේදනය හැදෑරීමට සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය ස්පාඤ්ඤ භාෂාවද ඉගෙනගත් අතර බර්ලිට්ස් භාෂා පාසලේදී ප්‍රංශ සහ අරාබි භාෂාව මැනැවින්  ප්‍රගුන කළාය.

ඇය සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට පෙර සැලකිය යුතු කාලයක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී වාර්තාකාරිණියක ලෙස සේවය කළාය. 2006 වසරේ විශ්ව රූ රුජින තරගයට තම රට නියෝජනය කිරීමෙන් පසු ඇය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිරූපිකාවක් බවට පත්විය. 2009 දී, ඇයගේ වෘත්තීය සංචාරයේදී ඉන්දියාවට ගිය ඇය සුජෝයි ගෝෂ්ගේ ‘ඇලඩින්’ හි ජැස්මින්ගේ චරිතයට පණ පෙවීය. 2011 වසරේ ‘මර්ඩර් 2’ චිත්‍රපටයේ ප්‍රියා ලෙස රඟපැ  ප්‍රධාන චරිතය ඇයගේ පෙරළිකාර චරිතය බවට විය. එම චිත්‍රපටය විවේචනාත්මක සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර, ෆර්නැන්ඩස්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක විය. එතැන් සිට ඇය Housefull 2 සහ 3, ‘Race 2’, ‘Definition of Fear’ සහ ‘Judwaa 2’ වැනි චිත්‍රපටවල රඟපෑවාය. ඇය සම්මාන කිහිපයක් දිනා ඇති අතර ජාත්‍යන්තර සමාගම් කිහිපයක සන්නාම තානාපතිවරියකි. ප්‍රජා කටයුතු රුසක ක්‍රියාකාරී සාමාජිකාවක් වන ඇය පුණ්‍යායතන කිහිපයකටද සහාය දක්වයි.

 සුගත් පී. කුලතුංගආරච්චි