ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලමින් ගාලු මුවදොර පිටියේ තරුණ තරුණියන් විසින් ආරම්භ කළ අරගලය මසකට වැඩිකලක් පුරා ඇදෙමින් පවතී. ප්‍රථමයෙන් ඔවුන්ගේ විරෝධය එල්ල වූයේ ජනාධිපතිවරයාට වූ අතර ඔවුන්ගේ අරගල භූමිය වූ ගාලු මුවදොර පිටිය ''ගෝඨා ගෝ ගම'' ලෙසින් හැඳින්වීමට ඔවුහු පියවර ගත්හ. එහි පැවතියේ සාමකාමී, නිරායුද, දැනුම බෙදන, ඔළු හදන සෞන්දර්යාත්මක අරගලයකි. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ජනපීඩක ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසටය.
ඉන් දින කිහිපයකට පසු තවත් පිරිසක් අගමැති නිල නිවෙස වන අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තවත් ගමක් නිර්මාණය කළහ. එය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දියත් කළ විරෝධතාවක් වූ අතර එම ප්‍රදේශය ''මයිනා ගෝ ගම'' ලෙස හැඳින්වූහ. ''ගෝඨා ගෝ ගමේ'' පිරිස හා ''මයිනා ගෝ ගමේ'' දෙපිරිස අත්වැල් බැඳ ගනිමින් විරෝධතා දක්වද්දී එයට සහය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෝඨා ගෝ ගම් සහ මයිනා ගෝ ගම් නිර්මාණය වන්නට විය. ඒ අතරට අලුතින්ම එක්වූයේ ''හොරු ගෝ ගම''ය. ඒ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනාම හොරුන් හා වංචාකාරයන් බවත්, ඔවුන් සියලු දෙනාම පළවා හැරිය යුතු බවටත් කියමින් පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ඉදි වූ ගම්මානයයි. මේ සියලු අරගලවල පෙරමුණ ගත්තේ මෙරට තරුණ කොටස්ය. 74 වසරක් පුරා මෙරට පැවැති සමාජ දේශපාලන ක්‍රමය තවදුරටත් අනවශ්‍ය බව පවසමින් නව නායකත්වයක් හා නව සංකල්ප යටතේ රට ඉදිරියට යා යුතුය යන්න ඔවුන්ගේ විශ්වාසය වූ අතර රටේ සෑම දෙසින්ම ඔවුන්ගේ සාමකාමී අරගලයට සහය දැක්වුණේ නව ප්‍රවණතාවක් මතු කරමිනි. ඒ නව පවණතාව වූයේ 225ම එපා යන්නය.
මෙම නව ප්‍රවණතාව හෙවත් ''225ම එපා. අපට අවශ්‍ය අලුත් ලංකාවක්'' යන සංකල්පය තුළ ගැබ්ව ඇති අරමුණ කුමක්දැයි අප විමසා බැලුවේ මෙරට සිටින ප්‍රවීණතම දේශපාලන විශ්ලේෂකයකු හා රාජ්‍යතාන්ත්‍රිකයකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙනි. පහත පළවන්නේ ඒ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්ය.
''අරගලයේ ප්‍රධාන අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ රටේ සමාජ සම්මුතිය ඉරා දමා අවසන් බැවින් ඔහු වහා ගෙදර යා යුතුය කියන මතයයි. ඒ අරමුණ තවමත් එසේම පවතිනවා. ''ගෝටා ගෝ හෝම්'' කියන සටන් පාඨය තුළ රාජපක්ෂ පවුලේ සියල්ලන් ගෙදර යා යුතුය කියන මතය ඇතුළත්ව තිබුණා. මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ බලය අතහැරලා. ජනාධිපතිවරයා බලය අත්හැරිය යුතුය යන්න ප්‍රධාන අරමුණ ලෙස මතු වුවත් මේ වන විට තවත් අරමුණු කිහිපයක්ම ප්‍රධාන අරමුණ වටා එකතු වී .තිබෙනවා. ඔවුන් වසර 74ක් පුරා රටේ පැවැති අසාර්ථක භාවය පිළිබඳවත් කතා කරනවා. මෙතන කිසියම් පරිණාමයක් සිදු වී ඇති බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ආරම්භයේ පැවතියේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල ඉවත් විය යුතු බවට හා 20 වැනි සංශෝධනය ඉවත් කොට 19 වැනි සංශෝධනය යළි බලාත්මක කළ යුතුය යන සංකල්පයයයි.
මේ වන විට 225ම එපා කියන සටන් පාඨය, පවතින ක්‍රමය වෙනස් කළ යුතුය යන සටන් පාඨය, දියවන්නාවෙන් ඔබ්බට බලය ගෙන යා යුතු බවට වන සටන් පාඨය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය කියන සටන් පාඨය ප්‍රධාන සටන් පාඨය සමඟ එක්වී තිබෙනවා. මේ ඉල්ලීම් හොඳයි හෝ නරකයි යනුවෙන් මට විනිශ්චයක් දෙන්න බැහැ. දේශපාලන විශ්ලේෂකයෙක් හා රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් මගේ අත්දැකීම් අනුව මට ලොව වෙනත් රටවල සිදුවූ අත්දැකීම් සම්බන්ධයෙන් කතා කළ හැකියි. ලොව සාර්ථක අත්දැකීම් අනුව ඒකාධිපතිපති පාලකයන් පෙරළා දැමීමේ සටන්වලදී එම සටන සාමකාමී වුවත්, සටන්කාමී වුවත් එහිදී භාවිත කෙරෙන ප්‍රධාන මූලෝපාය වන්නේ තනි ඉලක්කයක් වෙත සමස්ත අවධානය යොමු කිරීමයි. ඉතාම රුඩිකල් විප්ලවයක් වූ කියුබානු විප්ලවය ගත්තොත් ෆිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ සහ චේ ගෙවාරා වැනි අය විප්ලවයට කලින් සිටම දැනුම්වත් මාක්ස්වාදීන්. එහෙත් ඔවුන් විප්ලවය ආරම්භ කරන විට ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ එම සටන බැටිස්ටාට එරෙහිව කරන සටනක් ලෙසිනුයි. කියුබානු විප්ලවය ජයග්‍රහණය කළේ 1959 ජනවාරියේ. එහෙත් එම විප්ලවයේ සමාජවාදී ස්වභාවය ප්‍රකාශයට පත් කළේ 1961 අප්‍රේල් මාසයේ. ඔවුන් විප්ලවය ජයග්‍රහණය කර තවත් වසර දෙකකට අධික කාලයක් බලා සිටියා සමාජවාදී වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමට. විප්ලවය කරන අවස්ථාවේ එය ප්‍රකාශයට පත් කළා නම් පුළුල් ජාතික සර්වපාන්තික පෙරමුණක් ගොඩ නඟා ගැනීමට අසීරු වන බව ඔවුන් දැන සිටියා. එමෙන්ම පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් පලවා හැරීමේදීත් ඒකාධිපතියා පළවාහැරීමේ අරගලයක් ලෙසයි මතුවුණේ. හිට්ලර්ගේ නට්සි පැසිස්ට්වාදයට එරෙහිව ලෝකය අරගලය කරන විට වසර 75 පැරණි ජර්මානු අධිරාජ්‍යවාදය ගැන කතා කළේ නැහැ. ඔවුන්ගේ ඉලක්කයත් නිශ්චිත ඉලක්කයක් වූ අතර. එම ඉලක්කය නාභිගත වූයේ හිට්ලර්, පැසිස්ට්වාදය හා නට්සිවාදය පරාජය කිරීම වටායි.
අපේ රටේ මේ වනවිට නිර්මාණය වී ඇති අරගලයේ ආරම්භයේ පැවැති ප්‍රධාන සටන් පාඨය වටා එක්රොක් වීමේ පැහැදිලි තත්ත්වයක් මේ වනවිට දැකගැනීමට අසීරුයි. අරගලයේ අරමුණ පිළිබඳව නිවැරැදි ස්ථාවරය ඉදිරිපත් කළේ රුට්ටා නමින් හැඳින්වූ තරුණයායි. ජාත්‍යන්තර අත්දැකීම් අනුව ඔහුගේ ස්ථාවරය වඩාත් නිවැරැදියි. මූලික අරමුණට අමතරව අනෙකුත් සටන් පාඨ එකතු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් සාර්ථක වූ මුලෝපායන්ගෙන් පිට පැනීමක් සිදු වෙනවා. සටන් පාඨ කිහිපයක් එක් වුණාම ඒ පිළිබඳව මත ගැටුම් ඇති වෙනවා. අරගලය තුළ මත ගැටුමක් නොවෙන්න පුළුවන්. එහෙත් සමස්ථ සමාජ දේශපාලන අවකාශය තුළ එවැනි තත්ත්වයක් ඇති විය හැකියි. උදාහරණයක් ලෙස ඇතැමෙක් ගෝඨාභය හා රාජපක්ෂවරුන්ට විරුද්ධයි. නමුත් පවතින ක්‍රමයට විරුද්ධ නැහැ.
225 ම එපා කියන පිරිසක් සිටිනවා. එම පිරිස හොඳ නැත්තම් ඔවුන්ව පාර්ලිමේන්තු මැතිවරණයකදී එළවා දැමිය හැකියි. ඔවුන් එළවා දැමීමෙන් පසු කවුද එන්නේ. එසේනම් අරගලයේ නිරත තරුණ කොටස් දේශපාලනයට පැමිණිය යුතුයි. ඒ සඳහා ඔවුන්ට අලුත් පක්ෂයක් ස්ථාපනය කර හෝ ඔවුන්ගේ මතවාදවලට ගැලපෙන පක්ෂයක් හරහා පාර්ලිමේන්තු ක්‍රමයේ සිට ප්‍රදේශීය සභා දක්වා සෑම දේශපාලන ආයතනයක් සඳහාම තරග කළ යුතුයි. චිලියේ සිදුවුණේ එවැනි ක්‍රියාවලියක්. එරට නව ජනාධිපතිවරයා අවුරුදු 35ක් පමණ වන තරුණයෙක්. ඔහු නීතිය හැදෑරූ තරුණයෙක්. ඔහු සමාජය තුළ මතු වුණේ නව ලිබරල්වාදී ආර්ථිකයට එරෙහිව චිලියේ සිදු වූ දැවැන්ත ජනතා අරගලය තුළ නායකයක් ලෙසිනුයි. ඔහු පසුගියදා පැවැති මැතිවරණයෙන් චිලියේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටිනවා.
225ම එපා කියන ගමන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස පැවසීම තුළ අර්බුදයක් තිබෙනවා. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමෙන් පසු බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව කියන්නේ අර 225 කණ්ඩායම. මෙහිදී තර්කානුකූලභාවයේ කිසියම් ගැටලුවක් තිබෙනවා. ඇතැමෙක් කියන්න පුළුවන් අපි කතා කරන්නේ පවතින පාර්ලිමේන්තුවට බලය ලබාදීම නොව දියවන්නාවෙන් ඔබ්බටට එනම් මහජන සභා වැනි දේට කියලා. එයත් හොඳ අදහසක්. නමුත් ඉතිහාසයේ කිසිම අවස්ථාවක රාජ්‍ය බලය අත්පත් කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවීමට හෝ අහෝසි කිරීමට නොහැකියි. ලෙනින් වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අරගලය පැවැති අවස්ථාවේ නොව බලය අත්පත් කර ගැනීමෙන් පසුවයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යන්න ඉතා හොඳ දෙයක්. නමුත් එම අදහස මුලින්ම ඉදිරිපත් කළ රෝසා ලක්සම්බර්ග් කිව්වේ පාර්ලිමේන්තුව යනු සියවස් ගණනක් පුරා පැවැති අරගල තුළින් බිහි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක්. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යනු ඊට ප්‍රතිවිරුද්ධව නොව සමාන්තරව යන වෙනත් ආයතනයක් වන අතර පාර්ලිමේන්තුව අස්ථාවර කොට වෙනත් තැනකට බලය මාරු කිරීමක් නොවන බවයි.
අරගලය තුළ බොහෝ වැදගත් අදහස් තිබෙනවා. අරගලයක් යනු ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය තුළ යම් යම් අදියරයන් තිබෙනවා. ඒවා අඛණ්ඩව එකිනෙක හා සම්බන්ධවෙමින් ඉදිරියට යනවා. එහෙත් ආරම්භයේදී තිබූ සටන් පාඨය අවසන් වන විට ඇත්තේ නැහැ. සටන් පාඨ සියල්ලම ආරම්භයේ සිට අවසානය දක්වාම රැගෙන යා නොහැකියි. ඒවා අවස්ථාවෙන් අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒ තමයි ජාත්‍යන්තර අත්දැකීම. තරුණ පිරිස මෙම අරගලය ඉතා හොඳින් ක්‍රියාත්මක කර තිබෙනවා. එහෙත් ඔවුන්ගේ අවසන් අරමුණ කරා යන මාවත කුමක්ද? කියුබාවේ අවසන් අරමුණ වූයේ සමාජවාදය කරා යෑමයි. පවතින තත්ත්වය කෙබඳු මුහුණවරක් ගනීද කියල කියන්න අමාරුයි. එය විවෘතව පවතින දෙයක්. කෙසේ නමුත් මේ තරුණ පිරිස තුළ දැනට සිටින 225ට වඩා හොඳ ගුණාංග රැසක් තිබෙන බව පැහැදිලියි. ඔවුන් පුළුල් පෙරමුණක් ගොඩ නඟාගෙන ප්‍රධාන පොදු සතුරා තනි කළ යුතුයි. දිනාගැනීමට අසීරු අතරමැදි පිරිස සතුරු කඳවුරු වෙත තල්ලු නොකර අවම වශයෙන් නිෂ්ක්‍රීය කළ යුතුයි. කෙතරම් ආවේග තිබුණත් කිසියම් මූලෝපායික පැහැදිලි අරමුණක් තුළ අරගලය ඉදිරියට යා යුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා