මහා අන්ධකාරයේ එක් පහන් එළියක් සොයමින් අඳුරේ අතපත ගාන දුක්ඛිතම මොහොතක් තමයි ශ්‍රී ලාංකික අපි මෙහි ජන්මලාභය ලද පුරවැසියන් ලෙස ගෙවමින් සිටින්නේ. මේ වෙලාවෙ රට ගොඩගන්න ආවේගශීලී වෙලා බැහැ. බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්. ඉවසීම වැදගත්. රටේ සිදුවෙන සමහර කාරණාවලදී ඉවසීම ඉක්මවා යනවා. ඒත් මට කියන්න තියෙන්නෙ ඉවසන්න අවශ්‍ය වන්නෙ ඉවසලා බැරිම තැනත් ඉවසීමයි කියන කරුණයි.
ඔබත් මාත් ජීවත් වන සමාජ සංස්කෘතික පරිසරය සමාජ තත්ත්වය, ආර්ථික පසුබිම වෙනස් වෙන්න පුළුවන්. එහි ස්වරෑප කවර මාදිලියකින් යුතු වුවත්, කවර හැඩතල සහිත වුණත් පොදු සමාජයීය අරාජිකත්වය තුළ ඔබත් මමත් සමානයි යන විනිශ්චයට එළඹිය හැකි මොහොතක් මේ...
අව්ව වැස්ස වලංගු නැති අනවරත ජීවන අරගලයක් තුළ අපමණක් තැලෙන පොඩිවෙන මිරිකෙන සුවහසක් මනුස්ස ජීවිතවල සත්‍යවාදී හදගැස්ම අහන්න යන්න ඔබ වරු ගණන් දවස් ගණන් ගෑස් පෝලිම්වල තෙමෙන වේලෙන කරවෙන මිනිස්සු ළඟට.... සැප වාහන ලොකු වාහන අතරේ දුවන ගමන් වාර වෙනුවෙන් දවසේ ගතමනාව හොයාගන්න එලවන ත්‍රීවිල් එක, ලොරිය, බයිසිකලය තියාගෙන වරු ගණන් දවස් ගණන් තෙල් පෝලිම්වල ලගින මිනිස්සු ළඟට... පොඩි උන් කිරි උගුරක් ඉල්ලලා අඬද්දි උන්ගෙ බඩගින්න නිවන්න කිරි පැකට්ටුවක් ගන්න නැති දුකට හූල්ලන අම්මලා තාත්තලාගෙ හද ගැහෙන රිද්මය අහන්න....
දරාගන්න බැරි සීතලට සහ හම්බ කරන දේට ඔරොත්තු දෙන විදිහට පාන්, රොටී මත යැපුණු සීතල වතුකරයේ මිනිස්සුන්ට අද පාන් කාලක්, රොටියක් කන්න තරම් වත්කමක් නෑ... තමන්ගෙ දුක වේදනාව, ලෙය කකියවන ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති, තැනක් නැති මිනිස්සු අද මේ වර්ග කිලෝමීටර හැටපන්දහස් හයසීය දහය ගාන ඇතුළේ අප්‍රමාණයි...
සමහර අයට තමන්ගේ රුකියා අහිමිවෙලා. බොහෝ මිනිසුන්ට සිය දෛනික අවශ්‍යතාවත් ඉටුකරගන්නට නොහැකිව අනන්ත පීඩනයන්ට ලක්වෙලා ඉන්නෙ. බහුතරයක් මානසික ආතතියෙන්. ඇතැම් අය කාංසාව, විෂාදය වැනි මානසික රෝගවලිනුත් පීඩා විඳිනවා.
මිනිසුන්ගේ ගැටලුවලට ඔබට දෙන්න විසඳුමක් හෝ විකල්පයක් නැතිවෙන්න පුළුවන්... ඒත් ඕනෑම කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නයක් වේදනාවක් තවත් කෙනෙක්ට කියන්න ලැබෙන ඉඩහසර, ඔබ තවත් කෙනෙක්ට ඇහුම්කන් දෙන්න වෙන් කරන කාලය මහා සැනසීමක් වෙන්න පුළුවන්. කෙනෙක් තමන්ගෙ පීඩනය දුක කියනකොට තමා කාර්යබහුල වුවත් එය නොසලකා හරින්නට එපා. ඔවුන්ට ඇහුම්කන් දෙන්න. තමාගේ හිතේ තියෙන පීඩනය වේදනවා තවත් කෙනෙක්ට කිව්වම මනස සැහැල්ලු වෙනවා. මේක භාව විශෝධන ක්‍රමයක්. ඒ නිසා ඇහුම්කන්දීම ඉතා වැදගත්.
දේශපාලන වශයෙන් සමාජයීය හෝ ආගමික වශයෙන් අපේ මතවාදී දර්ශනය, අරගලයේ භූමිකාව වෙනස් වෙන්න පුළුවන්... එහෙත් එවැනි සංවාදයකදී පවා ශික්ෂණයක් සහිතව හැසිරෙන්න, කතා කරන්න, කිසිම මොහොතක තමන්ගේ මතවාදය නිවැරදිම මතවාදය යන උපකල්පනයේ සිට අනෙක් කෙනා පෙළමින් යටපත් කරමින් හැසිරෙන්න එපා... නිරපේක්ෂක කිසිවක් ලෝකයේ නැහැ.... ඔබේ විනිශ්චය කුමක් වුණත් සාවධානව ඇහුම්කන් දීමේ ගුණය ජීවිතය වෙනුවෙන් පුරුදු කරන්න.... ආධ්‍යාත්මිකව හෝ අල්පමාත්‍රයකින් හෝ කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න.
බුදුරජාණන් වහන්සේත් හැමවිටම අගය කළේ ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමීත්වය. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා දේශනා කළේ, “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය...” කියන දේශනා පාඨය. මේක ගිහි ජනතාවටත් අදාළ කරගන්නට පුළුවන්. බොහෝ ජනයාගේ හිතසුව පිණිය කටයුතු කරන්න කියන එක තමා ඒකෙ සංක්ෂිප්ත අර්ථය.
නබිතුමා ශුද්ධ වූ කුරාණයේ කියනවා සේවකයන්ගේ දහදිය බිඳු වියැකෙන්නට පෙර ඔහුගේ වැටුප ගෙවන්න කියලා.... එහි අරුත ගැඹුරුයි... ඇත්තටම මේ මොහොතේ සියල්ලන් - සියල්ලන් විෂයෙහි අනුකම්පා සහගත විය යුතුයි... ජීවන අරගලය තුළ මිනිස්සු පෙළන පීඩනය ආතතියක් බවට පරිවර්තනය වෙන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි... එය දරාගන්න ඉවසාගන්න බැරි තැන ඇතිවෙන තත්ත්වය වඩා වේදනාකාරී වෙන්න පුළුවන්... කිසිම කෙනෙක් මේ මොහොතේ තනි නොකරන්න, අත් නොහරින්න, නොරිදවන්න කියන ඉල්ලීම මම ඔබගෙන් කරන්නෙ ඒකයි.
සහකම්පනය, සංවේදී බව, අනුකම්පාව, මේ මොහොතේ ඔබ අවදි කළ යුතු මානුෂික ගුණ ධර්මයි... සහකම්පනය කියන්නෙ යම් කිසි පුද්ගලයෙකුට දැනෙන දුක, වේදනාව ඔහුට මෙන් තමාටද දැනෙන බව ඔහුට හෝ ඇයට ඒත්තු ගැන්වීමේ හැකියාව. එහෙම වෙනකොට ඔහුට හෝ ඇයට එයම මානසික සහනයක්.
ශ්‍රී ලාංකිකයන් කියන්නෙ ඈත ඉතිහාසයේ පටන් සංවේදී ජාතියක්. ඒ සංවේදී බව සතුරාටත් පතුරපු ජාතියක්. ඒ සංවේදී බව මේ මොහොතෙත් එලෙසම පවත්වාගෙන යන එක තමා අප සියලු දෙනාගේ පරම යුතුකම. පිපාසය, කුසගින්න කියන කාරණා සෑම ජීවියෙකුටම පොදු තත්ත්වයන්. සංවේදී පුද්ගලයෙක් අනෙකා පිපාසයෙන් සිටිද්දි තමා කුස පුරා වතු බොන්නෙ නැහැ. සංවේදී පුද්ගලයෙක් අනෙකා කුසගින්නේ සිටිද්දි තමා කුස පුරා ආහාර ගන්නෙ නැහැ. අනෙකාගේ කුසගින්න ගැනත් සිතනවා.
පසුගිය දවස්වල මම දුටුව පුවත් කිහිපයක්. කඩ සාප්පු කඩලා දේපළ මංකොල්ල කන සිද්ධි. සමහර මිනිස්සු තමන්ගේ කුඩා කඩ ඉතා අමාරුවෙන් ගොඩනගාගත් ඒවා. ඒවාට අවශ්‍ය භාණ්ඩ ඔවුන් ගන්නෙ බඩු විකුණා අවසන් වූ පසු මුදල් දෙන පදනම මත. ඔවුන්ගේ දේපළ සොරා ගත්තාම, විනාශ කරාම ඔවුන්ට ඇතිවන මානසික ආතතිය, මානසික පීඩනය කෙතරම්ද කියලා මොහොතක් සිතන්න. සංවේදී වෙනවා කියන්නෙ ඒකට.
ඔබට මානසික ආතතිය තියේනම් ඒකෙන් මිදෙන්නට ක්‍රමවේද කිහිපයක් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ ක්‍රමවේද අනුගමනය කරමින් මානසික යහපැවැත්ම ඇතිකර ගන්නට උත්සාහ කරන්න. තමාගේ ආතතිය තමාට විසඳා ගැනීමට නොහැකිනම් මනෝ උපදේශකවරයෙකුගේ සහාය ලබා ගන්නත් පුළුවන්.
අපට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන ගැටලුවලට අපිම විසඳුම් සොයා ගැනීම අපගේ මානසික ආතතිය අඩු කරන කරුණක්. තමාගේ ආහාර ප්‍රශ්නයට තරමක් දුරට හෝ විසඳුම තමාගේ ගෙවත්තෙන් සොයාගන්න උත්සාහ කරන්න. ගෙවත්තේ කොස්, පොල්, අල, බතල, මඤ්ඤොක්කා වැනි දෑ වැඩිපුර තියේනම් තමාගේ අසල්වැසියන්ටත් දෙන්න. ඒක ලොකු මානසික සුවයක්. දුන් දෙයෙහි විපාක අනිවාර්යයෙන්ම ඔබ ලැබෙනු ඇත.
විනාඩි 10ක් ඇවිදින්න. ඒක ඔබට තම නිවසේදි වුවත් කරන්නට පුළුවන්. ඔබ ඇවිදින්නේ නම්, එය ආතතියට හේතු වන පද්ධතියේ එන්ඩොර්ෆින් අඩු කිරීමට උපකාරී වෙනවා.
සිහිය පුරුදු කරන්න. ඔබේ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉගෙන ගැනීමෙන් ඔබට ආතතිය අඩුකර ගන්නට පුළුවන්. ඔබට දිනකට මිනිත්තු කිහිපයක් ගත කිරීමට සහ නිශ්ශබ්දව හුස්ම ගැනීමට හැකි නම්, මෙය ඔබේ ආතතිය අඩුකර ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා.
ඔබ ප්‍රිය කරන ව්‍යායාමයක යෙදීමට ඔබට ඔබේ දවසේ යම් කාලයක් ගත කළ හැකි නම්, එය ඔබට ලැබෙන ආතතිය අවම කර ගැනීමට සහ එය කළමනාකරණය කිරීමට උපකාරී වෙනවා.
ඔබම සංවිධානය කරන්න. ඔබේ සිතුවිලි නිවැරදි කර ගැනීම සඳහා දිනකට මිනිත්තු කිහිපයක් වෙන් කරන්න සහ දැනට ඔබ වටා සිදුවිය හැකි අවුල් සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා එය හේතුවක් වෙනවා.