''පාරේ යන ත්‍රීවීල් එකක් ඇතුළේ ගෑනු කෙනෙක් කෑ ගහනවා. සමහරවිට පැහැරගෙන යනවද දන්නේ නෑ. ඒ තරමට කෑගහන ශබ්දය ඇසුණා. දැන් ඒ ත්‍රීවීල් එක බේස්ලයින් පාරේ ගියා. මේ වෙද්දී බොරුල්ල කිට්ටුව ඇත්තේ....''
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකය වෙත පුද්ගලයකු විසින් මෙම තොරතුර ලබාදී තිබුණි. වහා ක්‍රියාත්මක වූ එම අංශයේ නිලධාරීහු තොරතුර සම්බන්ධයෙන් බොරුල්ල පොලිස් ස්ථානය දැනුම්වත් කළහ.
කාන්තාවක පැහැරගෙන යන බවට ලබාදුන් තොරතුර සමඟ ඇය රැගෙන යනවා යැයි කී ත්‍රිරෝද රථයට අදාළ වාහන අංකයක්ද තොරතුරුකරු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලබාදී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ බොරුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් බොරුල්ල නගරය ආශ්‍රිත බේස්ලයින් මාර්ගයේ රැකවල්ලා සිට තිබුණේ සැකසහිත ත්‍රිරෝද රථය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙනි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ට සැකසහිත ත්‍රිරෝද රථය හඳුනාගෙන මග හරස්කර නවත්වා ගැනීමට හැකිව තිබුණි. ඒ මොහොතේ එම ත්‍රිරෝද රථයේ තවත් කාන්තාවක ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් අධික ශබ්දය නගමින් කතා කරමින් සිටින බව දකින්නට ලැබී ඇත.
ලැබුණු තොරතුර පරිදි පිරිස පරීක්ෂාවට ලක්කිරීම සිදුකෙරුණේ ඒ අනුවය. තොරතුර ලැබුණු පරිදි කාන්තාවක පැහැර ගැනීමක් හෝ එවැනි සිදුවීමක් දකින්නට නොවුණි. පිරිස පරීක්ෂාවට ලක්කිරීමේදී එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනා අධික බීමතින් සිටින බව හඳුනාගෙන ඇත. මේ අතර එහි රියැදුරුගේ බලපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ බීමතින් හසුවූ කාන්තාවන් දෙදෙනා,
''ඇයි උඹලට සල්ලි ඕනද...? ඇ... පගා කාරයෝ.... අපි නවත්වා ගත්තේ මොකටද?'' අසමින් පරුෂ වචන කියමින් පොලිස් නිලධාරීන්ට බැණ තිබුණි. මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචන කියා මුළු ප්‍රදේශයටම ඇසෙන පරිදි කෑගසන කාන්තාවන් දෙස පාරේ ගිය පිරිසද අසල්වැසි රැඳී සිටි පිරිසද බලා සිට ඇත. ඔවුන් අතර තරුණයකු සිදුවීම වීඩියෝ ගතකර ඒ මොහොතේම සමාජ මාධ්‍ය ජාලයකට මුදාහැර තිබුණි.
නගර මධ්‍යයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට පරුෂ වචන කියමින් බැණ වදින වීඩියෝ දර්ශනය නොකඩවාම සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් තිබුණේ දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රදර්ශනය වෙමිනි. මේ නිසාම සිදුවීමට වඩාත් ප්‍රසිද්ධියක් ලැබී තිබුණි.
මේ අයුරින් රාජකාරියට බාධාකරන කාන්තාවන් දෙදෙනා පිළිබඳවත් පැහැරගෙන යන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙනුත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා දැනුම්වත් කර තිබුණි. එහිදී ඒ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ වහාම සැකකාරියන් අත්අඩංගුවට ගන්නා ලෙසය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවති සාදයකට සහභාගී වී නැවත පිටත්ව යන මොහොතේ මෙසේ බීමතින් කෑකෝ ගසමින් ගොස් ඇත. මෙම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියකි. වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය 27 හැවිරිදිය. අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නියක වූ ඇය එම මත්ද්‍රව්‍ය ජාවාරමද සිදුකරන බවට පාපොච්චාරණය කොට ඇත.
සැකසහිත ත්‍රිරෝද රථයේ ඉහත කී තරුණියට අමතරව තවත් තරුණ යුවළක් සිට ඇත. එම තරුණයා හා තරුණිය 21 වැනි වියේ පසු වූවෝ වෙති. අධික ලෙස මත් ගතියෙන් පසුවූ ඔවුන්ද පොලීසියට පරුෂ වචන කියමින් බැණ තර්ජනය කර තිබුණි. අත්අඩංගුවට ගත් එම යුවළේ තරුණිය දමිළ ජාතික තරුණියකි. ඇය කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පදිංචි දුප්පත් පවුලක තරුණියකි. ඇයද අයිස් මත්ද්‍රව්‍ය වෙත දැඩිව ඇබ්බැහි වූ තැනැත්තියක බව පොලීසිය හඳුනාගෙන ඇත. මේ අතර ඇය සන්තකයේ තිබියදී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් හමුවී තිබුණි.
මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු පසුව පසුගිය 11 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ. මොවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවක සේවය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා නියෝග කෙරුණේ ඔවුන් විශේෂ පරීක්ෂාවකට ලක්කර සමාජ රෝග ඇතිදැයි තහවුරු කරගන්නා ලෙසය. එසේ වෛද්‍ය පරීක්ෂාවට ලක්කළ දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර සිටි බවද තහවුරු කර ඇත.
බොරුල්ල පොලිස් වසමේ බේස්ලයින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ සිදුවීමට අදාළව මත්ද්‍රව්‍ය පානය කළ තරුණියන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බොරුල්ල පොලීසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා උපදෙස් ලබාදී තිබුණි.
ඒ අනුව පොලිස් පරීක්ෂක දිසානායක අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් 49091 නිරෝෂන්, කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන 10826 කෞෂල්‍යා, 12147 ප්‍රනාන්දු හා 7956 තනූජා යන නිලධාරීහු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.
සමන්ත ප්‍රදීප් විල්තෙර