2022 මැයි 15 වන ඉරිදා

ඇඳිරි නීතියට පෙර වැටෙන්පැන්න හදිසි නීතිය

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 100

මෙම මැයි මස 06 වැනි බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් යළිත් වරක් හදිසි නීතිය පනවනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක පනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ඒ පිළිබඳ නිකුත් කළ ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි පරිච්ඡේදය තුළ සහ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනත තුළ මේ පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් වෙයි.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ආරක්ෂාව සහ මහජනතාවට අත්‍යවශ්‍ය සැපයීම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සිදුවූයේ යළිත් ආණ්ඩුවට එරෙහිව මහජනතාවගේ විරෝධය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසටය.

මෙයට පෙර අප්‍රේල් මාසය අගදීද මෙලෙසම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබුණු අතර ඒ පිළිබඳ ඇතිවූ ජනතා විරෝධය හමුවේ එය අකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය.

මේ වනවිට දැනටද ඒ දෙය සිදුවෙමින් පවතී. ස්වේච්ඡා සංවිධාන, විද්වත් වෘත්තිකයන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයෝ හදිසි නීතිය පැනවීම පිළිබඳ දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරති. ඔවුන් මුලදී තර්ක කළේ හදිසි නීතිය යළි පැනවීමට තරම් දැඩි අවශ්‍යතාවක් රට තුළ නොමැති බවය. එහෙත් පසුගිය සතියේ කොළඹ ගාලුමුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට පහරදීම නිසා එයින් පසු රට තුළ උද්ගතව ඇති වාතාවරණය හේතුවෙන් හදිසි නීතිය මෙවර පැනවීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුවට පහසු වී තිබේ. ජනතාවගේ අදහසක් වන්නේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිද්ධියට පෙරාතුව හදිසි නීතිය පනවන ලද්දේ මතු එළඹිය හැකි තත්ත්වයට පෙර සූදානමක් ලෙසින් බවයි. එසේ නොවේ නම් යළිත් වරක් හදිසි නීතිය පැනවීමේ තේරුමක් නැත. එවැනි පරිසරයක් හදිසි නීතිය පනවන අවස්ථාවේ රට තුළ නිර්මාණය වී නොතිබිණි. මෙය හරියට කෙහෙල් කැනට ඉස්සර වැට පැන්නා වැනි සිද්ධියකැයි පවසන්නෝ වෙති. කෙසේ වුවද අද රට තුළ පවතින තත්ත්වය මත හදිසි නීතිය ළඟදී ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

එසේ වුවද මෙහි නීතිමය ප්‍රශ්නයක් තිබේ. එය නම් හදිසි නීතිය පනවා දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වීමය. එය එලෙස සිදු නොවුණහොත් දින 14කින් පසු එය ඉබේම අහෝසි වෙයි. දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය හා තත්ත්වය අනුව එය අනුමත කර ගැනීමට පහසු වන්නේ නැත. එහෙත් දින 14කින් පසු යළි පැනවීමට ජනාධිපතිවරයාට බලය ඇති නිසා මෙලෙස දින දාහතරක් ගතවන තැන එය යළි පැනවීමට හැකිය. එවිට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවේ.
කෙසේ වුවද හදිසි නීති නියෝගය නිසා රුස්වීම් පැවැත්වීමේ නිදහස, උද්ඝෝෂණ හා පෙළපාලි ආදිය පැවැත්වීම තහනම් වෙයි. මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට නීතිවේදීහු පෙන්වා දෙති. එසේ වුවද පසුගිය ආණ්ඩු කාලවලදී එකදිගටම දින සිය ගණන් හදිසි නීතිය පනවාගෙන රට ආණ්ඩු කළ බව අපට අමතක නොවේ.

හදිසි නීතිය පැනවීමෙන් පසු එයට හේතු දක්වමින් හිටපු සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබුණේ සාමකාමී ලෙස පටන්ගත් උද්ඝෝෂණ මේ වනවිට කලහකාරී තත්ත්වයකට පත්ව ඇති නිසා නැවත සාමකාමී පරිසරයක් සකස් කිරීමේ අරමුණෙන් හදිසි නීතිය පනවන්නට සිදුවූ බවය.

හදිසි නීතිය පැනවීමට රජය කටයුතු කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා සිටියේය.

''රටේ සාමකාමී තත්ත්වයක් ඇතිකර ගන්න ඕනෑ. පසුගිය දවස්වල සාමකාමී උද්ඝෝෂකයන්ට සාමකාමීව කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නා. ජාත්‍යන්තරව පිළිගත් තත්ත්වයන්ට අනුව කටයුතු කළා. උදාහරණයක් ලෙස ගෝල්ෆේස් එකට සනීපාරක්ෂක උපකරණ රැගෙනවිත් පාවිච්චි කරන්න ඉඩ දුන්නා. ඒ අයට අවශ්‍ය කෑම බීම එතැනට ගෙන ඒමට ඉඩ දුන්නා. භාෂණයේ නිදහස දුන්නා.

මේ වනවිට ජනාධිපති කාර්යාල දොරටුව අවහිර කරලා. නොයෙකුත් අසනීපවලට ජනාධිපති අරමුදලෙන් බෙහෙත්වලට උදව් ලබාගන්න එන අයත් අපහසුතාවට පත්වෙලා. මේකට නීත්‍යානුකූලව පොලිස් ආඥා පනත අනුව කටයුතු කිරීමට හැකිව තිබුණා. පොලිසිය ඉතා ඉවසිලිවන්තව කටයුතු කරමින් මේවා ගැන අධිකරණයට දැනුම් දුන්නා.

දැන් උද්ඝෝෂකයන් පොලිසියට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් බස් හරස් කරගෙන සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන්වලට බාධා කරමින් දරුවන්ට පාසල් යන්න බැරි විදිහට කටයුතු කරනවා. කඩ සාප්පු බලහත්කාරයෙන් වස්සවනවා. විවෘත කරල තියෙන කඩවලට තර්ජනය කරනවා. එහෙම වෙනකොට එතන සාමකාමී උද්ඝෝෂණයක් නැහැ. බැරියර් කඩාගෙන ඇවිත් කළේ සාමකාමී උද්ඝෝෂණයක් නොවෙයි. හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර වගේ මන්ත්‍රීවරුන්ට මුහුණ දෙන්න සිදුවූ සිද්ධි අපි දුටුවා.

පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයකදි ඡන්දය දෙන්නවත් මන්ත්‍රීවරයකුට එන්න බැරි තත්ත්වයක් ඇතිවුණාම එතැන සාමකාමී නැහැ. මේ වෙද්දි සාමකාමී උද්ඝෝෂණ කලහකාරී තත්ත්වයට පත්වෙලා. ආයෝජන මණ්ඩලයේ ෆැක්ටරිවල ළමයි බලහත්කාරයෙන් එළියට ගන්නවා.''

‍මේ අතර පැෆරල් සංවිධානය පවසන්නේ කුමන තත්ත්වයක් තුළ හෝ හදිසි නීතිය පැනවීම පවත්වා අර්බුදය විසඳීමට හේතුවක් නොවන බවය. එයින් සිදුවන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය තව තවත් තීව්‍ර කිරීමට හේතු සාධක සැපයීම පමණක් බව එම සංවිධානය කියයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අවධාරණය කරන්නේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ මූලික වගකීම දරන රජය විසින් පසුගිය කාලසීමාව තුළ ගන්නා ලද අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රට තුළ ආර්ථික හා දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙන බවකි. රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදයට මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් ලබාදීමට දේශපාලන අධිකාරිය නම්‍යශීලී නොවී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. මේ හේතුවෙන් ජනතාවගේ කෝපය හා විරෝධය දේශපාලකයන් වෙත එල්ලවීම තව තවත් උග්‍ර වන බව හෙතෙම අවධාරණය කරයි.

අර්බුදය නිර්මාණය වීමෙන් අනතුරුව ගෙවී ගිය දින කිහිපය තුළදී දින 9ක් පාර්ලිමේන්තුව පැවැත්වුවද කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැත. අති විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඔවුන් සිදුකර ඇත්තේ සංවාද පැවැත්වීම හා බැණ අඬගැසීම් පමණක් බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

ගැටලුවට සාධනීය පිළිතුරක් සපයන්නට මහජන නියෝජිතයන් අසමත් වීම අතිශයින් කනගාටුදායක තත්ත්වයක් වන අතර, වර්තමානයේදී ජනතාව ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම්වලට විසඳුමක් ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
එසේම හදිසි නීතිය පැනවීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද අප්‍රසාදය පළ කර ඇති අතර, යුරෝපා සංගමය සහ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ජනතාව පීඩාවට පත්ව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට හදිසි නීතිය පැනවීම කිසිසේත් පිළිගත හැකි විසඳුමක් නොවන බව සඳහන් කර තිබෙන්නේ යැයිද පැෆරල් සංවිධානය පවසා තිබේ. 

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් මෙසේද පවසයි.

''කුමන තත්ත්වයක් තුළ හෝ ජනතා අභිලාෂ යටපත් කිරීම සඳහා හදිසි නීතිය වැනි මර්දනකාරී අණ පනත් ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ යුතුයි. හදිසි නීතිය පැනවූයේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ කෙටිකාලීන පියවරක් ලෙස යැයි රජය පැවසුවද, මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමේදී අපගේ සංවිධානයේ අදහස වනුයේ තමන් විසින්ම නිර්මාණය කරන ලද අර්බුදය විසඳීම සඳහා හදිසි නීතිය වැනි මර්දනකාරී අණ පනත් ගෙන එන බවයි.''

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම ගැන දැඩිව විරෝධය දක්වා ඇති අතර, හදිසි නීතිය පැනවීම මේ වනවිට රට තුළ පැන නැගී ඇති ගැටලුවලට විසඳුමක් නොවන නිසා වහාම හදිසි නීතිය පැනවීමේ නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටී.

රට තුළ හදිසි නීතිය පැනවීම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධාවක් මිස ඒ සඳහා පහසුවක් සලසනු ලබන කරුණක් නොවන්නේ යැයි එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳිගේ ප්‍රමුඛ නීතිඥ ප්‍රජාව එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ. ප්‍රකාශනයේ නිදහස හා සාමකාමීව රුස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අතර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සඳහා හදිසි නීතිය පාවිච්චි නොකළ යුතු බව නීතිඥ සංගමය එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත.

''හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ මූලික විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 පරිච්ඡේදය තුළ හා 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනත තුළ අන්තර්ගතව ඇත. එකී පනතට අනුව ශ්‍රී ලංකාවේ යම් කොටසකට හෝ ශ්‍රී ලංකාව මුළුල්ලේම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැකි අතර ඒ නිවේදනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.

හදිසි නීතිය පැනවීමට එරෙහිව මෙන්ම විරෝධතා ව්‍යාපාර අඩපණ කිරීමට ආණ්ඩුව සිදු කරන මර්දන ක්‍රියාවලියට එරෙහිව 9 වැනිදා සිට මේ සතිය තුළ වැඩබිම් මූලික කර ගනිමින් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කළ බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කර තිබේ.

9දා සිට 17දා දක්වා ජනාධිපති පුම්‍රඛ ආණ්ඩුවට ගෙදර යාමට බල කරමින් තම වෘත්තීය සමිතිය විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තද ඒවායින් පාසල් කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කර තිබේ.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් පවසන්නේ හදිසි නීතිය මගින් දිගටම රට පාලනය කළ නොහැකි අතර, අගමැතිවරයා පමණක් ඉවත් වීමෙන් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවය.
කෙසේ වුවද හදිසි නීතියට එරෙහිව ඉදිරියේදී බහුජන සංවිධාන පෙළගැසෙන බවක් දක්නට ඇති අතර ආණ්ඩුවට යළි එය රිවර්ස් කිරීමට සිදු වුවහොත් පුදුමයක් නොවනවා ඇත.

■   යසවර්ධන රුද්රිගූ