2022 මැයි 15 වන ඉරිදා

ප්‍රශ්නය මෙන්ම විසඳුමත් වේදනාකාරීය! -

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 326

හිටපු විදේශ ලේකම් හා ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රික නිලධාරී - එච්.එම්.ජී.එස්. පලිහක්කාර

ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ තනතුරු රැසක් හෙබවූ එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා එ.ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම, තායිලන්තය ඇතුළු රටවල් රැසක තානාපති ධූර දැරීය. අනතුරුව විදේශ අමාත්‍යාංශ ලේකම් පදවියටත් උතුරු පළාත් ආණ්ඩුකාර පදවියටත් පත්වූ හෙතෙම සුප්‍රකට එල්.එල්.ආර්.සී. (සත්‍ය සෙවීමේ කොමිසමේ) කොමසාරිස්වරයෙක් ද විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ හටගෙන ඇති අර්බුදය ගැන ඔහු විසින් සිදු කරන ලද විග්‍රහයයි මේ.

ලංකාවේ දැනට හටගෙන තිබෙන අර්බුදයට සමානව මෑතකාලීනව ලෝකයේ අර්බුද හටගත් සෙසු රටවල් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පළමුවෙන් කිව යුතුයි, මම අර්බුද පිළිබඳව විශේෂඥයෙක් නොවෙයි. නමුත් ඇත්තටම  විටින් විට හටගන්නා ආර්ථික අර්බුද සුවිශේෂී දෙයක් නෙවෙයි. ලෝකයේ රටවල් කිහිපයකටම අදාළව මම දන්න ප්‍රමාණයට මම කතා කළොත් රටවල් රාශියක මෙවැනි අර්බුද මතුවුණා. විදේශ විනිමය අනුපාතය නිවැරදිව කළමනාකරණය නොකිරීමෙන්, අයවැය පරතරය පාලනය නොවීමෙන් හා මූල්‍ය විනය නිවැරදිව කළමනාකරණය නොකිරීමෙන්, එමෙන්ම අනවශ්‍ය සහනාධාර දීමෙන්, පිරිවැයට වඩා අඩුවෙන් මහජනයාට සේවා සැපයීමෙන් මේ ආදී දේවල් හේතුවෙන් මෙවැනි ආර්ථික අර්බුද හටගත්තා. උදාහරණයක් කියනවා නම් අපි තෙල්, විදුලිබලයට වියදම් කරන ප්‍රමාණයට අය කරන්නේ නෑ. එය කවදාවත් කරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. එවැනි හේතු මත මෙවැනි අර්බුද රටවල් රාශියක ඇතිවී තිබෙනවා. 

දියුණු නොදියුණු රටවල් ගණනාවක් මෙම තත්ත්වයට කොටු වුණා නේද?

එක්දහස් නවසිය අසූ ගණන්වල සිට බ්‍රසීලය ආජන්ටිනාව ආදී රටවලත්, පසුකාලයේ එනම් එක්දහස් නවසිය අනූහත වගේ කාලයේ තායිලන්තයේ ඩොලරයට පාඩුවීම නිසාත් මෑත කාලයේ ග්‍රීසිය වැනි යුරෝපයේ දියුණු රටවලත් මෙවැනි ආර්ථික අර්බුද ඇතිවුණා. ලෙබනනයේ ඇතිවූ ආර්ථික අර්බුදය වඩා සුවිශේෂී වන්නේ සංකීර්ණ හේතු රාශියක් නිසා. එවැනි ආර්ථික අර්බුද ඇතිවීම පුදුමයක් නෙවෙයි. ඒවා බොහෝ වෙලාවට ඇතිවෙන්නේ රාජ්‍ය පාලනය, ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ හටගත් ඌනතා නිසයි. ලංකාව සහ එම රටවල් සසඳා බලද්දී ලංකාවට සුවිශේෂී වූ දෙයක් තමයි ඒ රටවල් එම අර්බුද ඇතිවූ අවස්ථාවල එම අර්බුදවලින් ගොඩ ආවා. නමුත් ලංකාව තවම ඒකට අසමත්ව තිබෙනවා.

එම රටවල සිදුවූ කඩා වැටීම්වලින් ඔවුන් ගැලවුණු ආකාරය ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

සරල වශයෙන් පැහැදිලි කළොත් ඒ හැම රටක්ම එම අර්බුදවලින් ගොඩඒම සඳහා කාරණා කිහිපයක් ඉෂ්ට කරගත්තා. ප්‍රධාන වශයෙන් ඒ අය අවංකව එම අර්බුදවලට හේතු හදාරමින් ඒවාට විසඳුම් සොයා ගියා. ඉතාලිය ගත්තොත් ඉතාලියේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඊට හේතු වුණේ ඒ රටේ තිබුණු සමහර දේශපාලනමය සහ රාජ්‍යකරණය පිළිබඳ දූෂිත භාවයන්. ඔවුන් ඒවා පිළිගනිමින් එකඟත්වයක් ඇතිකර ගත්තා. ඊට පසු ඒවා පාලනය කිරීම සඳහා යුරෝපීය සෙන්ට්‍රල් බැංකුවට ගොස් ඒ සමඟ යම් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හදාගෙන ඒ රටේ හිටපු ඇගමැතිවරයාට අයින් වෙන්න කියලා නව අගමැතිවරයෙක් පත්කරගෙන නව වැඩපිළිවෙළක් ගෙනිච්චා. ග්‍රීසියේ මෑතකදී ඇතිවූ අර්බුදයේදී ඔවුන්ගේ ඒ.ටී.එම්. මැෂින්වල මුදල් පවා නැතිවුණා. ඔවුනුත් අයි.එම්.එෆ්. සහ යුරෝපියන් සෙන්ට්‍රල් බැංකුව සමඟ එක්වී ඉතා වේදනාකාරී වැඩපිළිවෙළක් හදාගෙන සම්මුතියක් රටේ ගොඩනගාගෙන කටයුතු කළා. අද වෙද්දී ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවසන් ණය වාරිකය පවා ගෙවා ඉවර කරළා තිබෙනවා. දැන් ඒ රටේ ස්ථාවර ආර්ථිකයක් තියෙනවා. එය ඉතා හොඳ ආර්ථිකයක් කියන්න බැරිවුණත් ඔවුන් අර්බුදයෙන් ගොඩ ඇවිත් සංවර්ධන වේගය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යනවා. ඒකට මූලික හේතුව තමයි තමන් කරුණු සොයාගෙන එයින් රට කරවන්නන් ඕනෑ කියන දේශපාලන සම්මුතියකට එළඹීම. ලංකාවටත් වැදගත් දේ එම පාඩම් ඉගෙන ගැනීමයි.

ඔබ කීවා ලෙබනනයේ ඇතිවූ අර්බුදය ඉතා සංකීර්ණයි කියලා?

ලෙබනනය කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ ගැටුම් සහිත රටක් ලෙසයි පැවතුණේ. හිස්බුල්ලාවරුන් සහ ඊශ්‍රායලය අතර ඝට්ටනය ඊළඟට ලෙබනන්හි ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජාතිකයන් අතර ඝට්ටනය ඒ අතරේ විශාල දූෂණ, ආණ්ඩු මාරුවීම් සිදුවීම, කලකට පෙර ඔවුන්ගේ වරායේ මහා පිපිරීමක් ඇතිවී විනාශයක් සිදුවීම එයින් ඔවුන්ගේ නාවික කටයුතුවලට විශාල හානියක් වීම වැනි සිදුවීම් රැසක් සිදුවුණා.

එම පිපිරීම්වලට මූලිකම හේතුව වුණේ යම්කිසි දූෂණයකට සම්බන්ධ හානිකර රසායනික ද්‍රව්‍ය තොගයක් ගබඩාකර තිබී එය පුපුරා යාමයි. 

එම නිසා එම රටේ විදේශ විනිමය අනුපාතය අප රටේ සිදුවුණා වගේ කිසිම පාලනයක් නැතිව ගිලිහී ගියා. මිනිසුන්ගේ මුදලේ වටිනාකම නැතුව ගියා. විදුලිබලය උත්පාදනය කිරීමේ හා සැපයීමේ ප්‍රශ්න මතුවුණා. අපිට මුහුණපාන්නට සිදුව ඇති තත්ත්වයටම එදා ලෙබනනය පත්වුණා. ඔවුන්ට එම අර්බුදයෙන් ගොඩඒමට බැරිම තැන ඉතා වේදනාකාරී වැඩපිළිවෙළකට ගමන් කළා. අවුරුදු තුනක පමණ කාලයක සිට ඔවුන් ඉන්නේ එම වැඩපිළිවෙළ තුළයි. ඔවුන්ටත් ග්‍රීසියට වගේම වැඩපිළිවෙළකට යන්න වෙනවා.

එතකොට තායිලන්ත අර්බුදය?

තායිලන්තයේ 1997දී පටන්ගත් අර්බුදය කොරියාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයකට ගියා. සිංගප්පූරුව හැරෙන්න අනෙක් රටවල් සියල්ලටම වගේ බලපෑවා. තායිලන්තය ඔවුන්ගේ මුදල් ඒකකය වන බාත් ඩොලරයට සම්බන්ධ කරලා තිබුණේ. ඒ කාලයේ තායිලන්තයේ මිලිටරි පාලනයක් තිබුණේ. ඔවුන්ගේ මුදල් ඒකකය පාකර හැරීම නිසා පාලනය ගිලිහී ගොස් සම්පූර්ණ මූල්‍ය රෙජිමයේම කඩා වැටීමක් වුණා. 

ඊට පසු තායිලන්තයේ මුදල් නෝට්ටු අර්බුදයක් ඇතිවුණා. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්න තායිලන්තය ධනවත් පන්සල්වලින් මහා භාණ්ඩාගාරයට රත්තරන් සහ මූල්‍යමය දායකත්වය ලබාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සෑහෙන්න වේදනාකාරී වැඩපිළිවෙළකට ගියා. එහෙත් අවුරුදු කිහිපක් ඇතුළත සිතුවාටත් වඩා වේගයෙන් ඔවුන් සංවර්ධන මාවතකට පිවිසුණා. අපිට මේ දේවල් දිහා බලා නොකළ යුතු සහ කළ යුතු පාඩම් රාශියක් ඉගෙන ගත හැකියි.

අර්බුද ඇතිවන විට එම රටවල්වල දේශපාලන නායකයන්ගේ හැසිරීම කොහොමද සිද්ධ වුණේ?

අර්බුදයක් ඇති බව වටහාගත් විට එවැනි අර්බුදයක් නොමැති බව කියමින් එය වසාගෙන ඉන්න හොඳ නැහැ. අර්බුදයක් ඇති බව පිළිගත යුතුයි. අපේ රටේ මේ අර්බුදය ඇති වී වසර ගණනාවක් වෙනවා. අපි එවැනි අර්බුදයක් නැතැයි ප්‍රකාශ නිකුත් කරමින් සිටියා මිසක් ඊට විසඳුම් සෙව්වේ නැහැ. ග්‍රීසියේ වේවා ඉතාලියේ වේවා ඔවුන් අර්බුදය හඳුනාගෙන එය වටහාගෙන එයට ප්‍රතිකර්ම සෙව්වා. තායිලන්තය හැරුණු විට අනෙක් රටවල් දේශපාලනිකව සම්මුතියකට ආවා. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා අපි වටහාගත යුතුයි ණය ගෙවිය යුතු රටවල් අපට සහය දෙන්න සූදානම් වුවත් ඉදිරි කාලය සඳහා කිසියම් පීඩාකාරී වැඩපිළිවෙළකට යා යුතු බව.

ඔබේ කල්පනාවෙ හැටියට මේ අවුල ලිහාගන්න අපට කොපමණ කලක් ගත වෙයිද?

අවුරුදු කිහිපයක් යනවා මෙවැනි වැඩපිළිවෙළක් ඔස්සේ අපට හොඳ සංවර්ධන මාවතකට පිවිසෙන්න. ඒ සඳහා අපි දේශපාලන වශයෙන් බහුපාර්ශ්වික නැත්නම් සර්ව පාක්ෂික සම්මුතියක් ගොඩනගාගන්න ඕනෑ.

සම්මුතියක් ගොඩනගා ගෙන අපි පෙන්විය යුතුයි විදේශ සබඳතා කරුවන්ට මේ සම්මුතිය අපි කඩන්නෙ නෑ. දේශපාලන වාසි තකා අපි මේ වැඩපිළිවෙළ කඩන්නේ නෑ කියලා. අනෙක් හැම රටක්ම ගොඩආවේ ඒ විදිහට. අනෙක් කරුණ ජාත්‍යන්තර වශයෙන් සහාය නැතුව අපට අර්බුදයෙන් ගොඩඑන්න බෑ. මොකද මේ අර්බුදයට ප්‍රධාන හේතුව විදේශ විනිමය නැතිකමයි. විදේශ විනිමය ඇතිකරගන්න විදේශ සම්බන්ධතා කාරකයන් සමඟ එකතු විය යුතුයි. ඒ සඳහා ඔවුන් තුළ විශ්වාසය ඇතිකළ යුතුයි. අප රටේ අර්බුදය ගැන පැහැදිලි පුරෝකථනයක් කළ හැකි ආණ්ඩුවක් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලින් ඇති බව. ඒ සඳහා තමයි දේශපාලන සම්මුති අවශ්‍ය වන්නේ.

ඔබ ඔය කියූ රටවල නායකයන් අර්බුදකාරී අවස්ථාවේ හැසිරුණේ කොහොමද?

එම රටවල්වල ආණ්ඩුවේ සහ විපක්ෂනායකවරුන් එයට නායකත්වය දුන්නා. තවත් දෙයක් අවධාරණය කළ යුතුයි. අප රටේ නායකත්වය කියන එක සම්පූර්ණ විෂමාචාරයක් වෙලා. නායකත්වය කියන්නේ මතවාද ගොඩනැගීම නොවෙයි. නායකත්වය කියන්නේ සම්මුති ගොඩනැගීම. අප රටේ ආණ්ඩුවේ හා විපක්ෂයේ නායකයන් හැමදෙනාම ඒ අය තමන්ගේ මතවාද ප්‍රකාශ කර කර සිටියා මිසක් ඒ අය උත්සාහ කළේ නෑ සම්මුතියක් ගොඩනගාගන්න.

නමුත් දැන් අප රටේ නායකයත් යම් සම්මුතියකට එන්න යනවා නේද?

මට සංතෝසයි සම්මුතියක් ගොඩනැගීමේ යම් පියවර කීපයක් ගැනීම ගැන. අන්තර්වාර පාලනයක් පිහිටුවීම, බහුපාර්ශ්වික යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුයි කියලා මූලික පියවර ගැනීම ඉතා වටිනවා. නමුත් එය කුරුවල් වෙන්න නොදී බලයට පත්වීමේ මෙවලමක් කර නොගෙන මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා අනෙක් රටවල් කළා වගේ බහුපාර්ශ්වික එකතුව සාර්ව පාක්ෂික එකමුතුවක් බවට පත් කරගෙන ගමන යන්න උත්සාහ කරන්න ඕනෑ. සම්මුතිය යනු සෑම පක්ෂයකට සතුට යොදාගැනීම නෙවෙයි. සියලුම පක්ෂ සාධාරණව අසතුට බෙදා ගැනීම. ඒක තමයි එහි නියම නිර්වචනය. එවිටයි සම්මුතිය තිරසාර වෙන්නේ. ඒ සංධිස්ථානයේ දැන් අප සිටින්නේ. 

ගාලු මුවදොර අරගලයක යෙදෙන තරුණ පිරිස මෙන්ම ආගමික හා සමාජ ක්‍රියාකාරීන්ට මෙහිදී පැවරෙන වගකීම කවර ආකාරද?

ගාලු මුවදොර සාමකාමී ප්‍රයත්නය, අපේ මහනායක හිමිවරු සහ පූජ්‍ය පක්ෂ ඇතුළු සියලුදෙනා සහ නීතිඥවරු එකතුව එකතු වී පොදු වේදිකාවක් ගොඩනගා තියෙනවා. රටේ නායකත්වයට කළ නොහැකි දෙයක් බාහිර සමාජ කණ්ඩායම් සිදුකර තිබෙනවා. සෑම අර්බුදයක්ම අභියෝගයක් විතරක් නෙවෙයි අවස්ථාවක්. ලංකාවේ ප්‍රථමවතාවට අවස්ථාවක් ඇවිත් තියෙනවා. මෙම සමාජ ක්‍රියාකාරිකයන් නිසා පොදු වේදිකාවකට එන්න. දැන් එය නායකයන් පාවිච්චි කරන්න ඕනෑ. වෙන රටවල් කළේ එහෙමයි. තායිලන්තයේ අර්බුද කාලෙ මිලිටරි පාලනයක් තිබුණත් ඒ මිනිස්සු සහ පන්සල් දේශපාලන ක්‍රියාකාරිකයන් එක් වී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට සහාය දුන්නා. ඒ අය ගිහින් ගෙවල් ගිනි තිබ්බේ නෑ. ප්‍රචණ්ඩ වුණේ නෑ. කොල්ලුපිටියෙන් බලධාරීන් පටන්ගත් ඒ නරක වැඩේ කොයිතරම් දුරදිග ගියාද බලන්න. තුන්වැනි ලෝකයේ මොඩලයක් ලෙස සිටි ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ අප දැන් අසමත් රාජ්‍යයන් යන තැනට වැටී තිබෙනවා. ඉතින් අන්න එයින් අප ගොඩඑන්න ඕනෑ. මේ අර්බුදය හමුවේ අපි කලබල ගෙවී එයින් ගොඩඒමට අවශ්‍ය මූලිකම දෙය වන දේශපාලනික සම්මුතිය ගොඩනගාගෙන පීඩාකාරී වැඩපිළිවෙළට මුහුණදීම. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කල් මරනවා කියන්නේ අපේ රටේ ජනතාවගේ පීඩනය මාස ගණන්වලින් අවුරුදු ගණන්වලින් තව දික් වෙනවා කියන එකයි.

 රන්ජිත් ආනන්ද ජයසිංහ