දවසින් දවස ඩොලරය ඉහළ යමින් තිබේ. ඊට සමගාමීව රුපියල බාල්දු වීමත් නිතිපතා සිදුවේ. උද්ධමනය ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සිට සියලුම භාණ්ඩ හා සේවාවල මිල අධික වීම මහජනතාවට දැරිය නොහැකිය. මේ අයුරින් වත්මන් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට තුන්වේල බඩ පුරවා ගැනීම තබා ජීවත් වීමද බරපතළ ගැටලුවක්ව පවතී.
වසර තුනක් තිස්සේ රටට බලපා තිබෙන කොවිඩ් අවදානම නිසා බොහෝ පිරිසකගේ රැකියා ව්‍යාපාර හා දෛනික ආදායම් අහිමිව ගොසිනි. එවැනි තත්ත්වයක් තුළ රටේ විදේශ විනිමය හෙවත් ඩොලර් හිඟය නිසා හටගෙන තිබෙන ආර්ථික අර්බුදය මිනිසුන් කබලෙන් ළිපට වැටුණා වැනිය. මේ නිසා කිසිවෙකුටත් ආර්ථික වශයෙන් නැගී සිටීම පහසු නැත. තත්ත්වය මෙසේ බැවින් වැඩි ආදායම් සොයා විදෙස්ගත වීමට කවුරු කවුරුත් උත්සාහ කරති.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජීවත්වීම අසීරුය. අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තුවක් හෝ පැහැදිලි අදහසක් තබාගත නොහැක. තරුණ ප්‍රජාව ඇතුළු බහුතරයක් කෙසේ හෝ විදෙස්ගත වන්නට උත්සාහ ගන්නේ එබැවිනි. ඉකුත් මාස කිහිපය තුළම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා තරුණ තරුණියන් පෝලිම් ගැසුණේ එබැවිනි. උද්ධමනය හමුවේ මාස කිහිපයකට ඉහතදී විදෙස්ගත වීමට අයකළ ගාස්තුවද අධික ලෙස ඉහළ ගොස් තිබෙන බව පැවසේ. මේ හේතුවෙන් නීතිවිරෝධීව විදෙස්ගත වීමට උත්සාහ ගන්නා පිරිස 30%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි.
නාවික හමුදාව පවසන්නේ නීතිවිරෝධීව විදෙස්ගත වීමට උත්සාහ කරන පිරිස් මුහුදු මාර්ගවලින් පලා යාමට ගන්නා ප්‍රවණතාවක් පවතින බවය. මේ අතර පැවසෙන්නේ ඉකුත් මාස කිහිපයකදී උතුරු ප්‍රදේශයේ 200ක පමණ පිරිසක් එසේ පලා ගොස් ඇති බවකි. එවැනි වටපිටාවක් තුළ මෙරට තරුණ තරුණියන් කතාබහ කරන්නේ අලුතින් තොරතුරු සොයන්නේ කෙසේ හෝ ශ්‍රී ලංකාවෙන් පිට වෙනත් රටකට යාම සඳහා වීසා බලපත්‍රයක් සකසා ගැනීම ගැනය. ගමේ, නගරයේ, කාර්යාලවල හෝ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන තොරතුරු අනුව මේ කාරණය වඩාත් පැහැදිලි වේ. එවැනි තොරතුරු සොයන තරුණ ප්‍රජාවගේ පහසුව සඳහා අලුතින් සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් බිහිව තිබෙන බව දකින්නට ලැබේ. මීට අමතරව ඒ සඳහා ප්‍රධාන පෙළේ ඒජන්සි හිමියෝද පෙරමුණ ගෙන සිටිති. කෙසේ වෙතත් අවධාරණය කළ යුතුව ඇත්තේ එකී පිරිස් අතර විදේශ රුකියා ලබා දෙන බවට බොරු පොරොන්දු දී අහිංසකයන්ගේ සේසතම සූරාකන ජාවාරම්කරුවන්ද සිටිය හැකි බවය.
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ නීතිවිරෝධීව විදෙස්ගත වන ඇතැම් පිරිස් උතුර හා වයඹ වෙරළ තීරය හරහා බහුදින යාත්‍රාවලින් ඉන්දියාවට පැන යාමට උත්සාහ ගනිති. මේ අතර බහුතර ප්‍රජාව දමිළ ජාතිකයන් බවට වාර්තා වේ. විදෙස්ගත වීමට උත්සාහ කරන තරුණ ප්‍රජාව නිරතුරුවම පවසන්නේ මේ රටේ ඉඳලා කිසිම ඵලක් නොමැති බවකි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය බැරි නම් කොහේ හෝ පොඩි රටකට යාමට උත්සාහ ගැනීම සුදුසු බව ඔවුන්ගේ මතයයි. රටේ ආර්ථිකය හා දේශපාලන තත්ත්වය අනුව කලකිරෙන බවත් දිනෙක ලංකාවෙන් පිටව ගිය පසු නැවත නොඑන බවද ඔවුහු පවසති. එසේ නමුත් මෙකී අදහස් ප්‍රකාශ කරන තරුණ ප්‍රජාවට විදෙස්ගත වීමට තබා මෙරට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැතිකම බරපතළ සමාජ ගැටලුවකි.
බරපතළ ආර්ථික හා දේශපාලනික සෝදා පාළුවකට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ වර්තමාන ශ්‍රම බලකායේ බහුතරය නියෝජනය කරනු ලබන්නේ වයස අවුරුදු 25 – 40 අතර ජනතාව බවට සඳහන්ය. මෙවැනි තත්ත්වයක් තුළ මෙරට තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ප්‍රබල ගැටලුවකි. 2019 වසරේදී ලෝක බැංකුව නිකුත් කළ වාර්තාව අනුව ලංකාවේ ශ්‍රම බලකායේ සැලකිය යුතු පසුබැස්මක් පවතී. වාර්තාව අනුව මෙරට තරුණ ප්‍රජාවෙන් රැකියා වෙළෙඳපොළට ලබාදෙන දායකත්වය 50% කි. එසේම රටේ පුරුෂයන්ගේ දායකත්වය 72.4% කි. මේ අනුව කාන්තාවන් ශ්‍රම බලකායට ලබාදෙන දායකත්වය 32.5%ක් බව කියැවේ. එබැවින් මෙරට කාන්තාවන්ගේ විරුකියා අනුපාතය 36.3%ක් බවද එම තත්ත්වය පුරුෂ පාර්ශ්වයෙන් 21.1%ක් බවද සඳහන් වේ. මෙරට ජනගහණයෙන් 52%ක් කාන්තාවන් බව කියැවේ. ඔවුන් අතරින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට දායකත්වය සපයනුයේ සෑම කාන්තාවන් තිදෙනකුගෙන්ම එක් අයකු බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් අනුව මෙරට පුද්ගලයන් විදෙස්ගත වීම හරහා රටට ලැබෙන විදෙස් විනිමය වටිනා සම්පතකි. විදෙස් රැකියා සඳහා යන නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් වෙනුවට ශිල්පීය නිපුණතාවක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම හරහා රටට වැඩි විදෙස් විනිමයක් ලැබෙන බවද සඳහන් වේ. මේ ආකාරයට රටක සංවර්ධනයට වඩාත් අවශ්‍ය වන්නේ රැකියාවේ නිරත වීමට හැකි තරුණ ප්‍රජාවය. නමුත් ලංකාවේ තරුණ ප්‍රජාව විදෙස්ගත වීමේ ප්‍රවණතාව මත රටේ සංවර්ධනයට යම් බාධාවක් පවතින බවද පැහැදිලිය.
විදෙස් රැකියා හා බලපත්‍ර මෙන්ම අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මූල්‍ය ජාවාරම්වල නිරත පිරිස් ක්‍රියාත්මක බවට වාර්තා වේ. ඒ පිළිබඳ තොරතුරු ඇත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කිරීමට අවස්ථාව පවතී. එම කාර්යාංශය දත්ත අනුව වාර්තා වන්නේ රැකියා සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 15 – 25 අතර වන බවය. මේ අතර නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලා යාම සඳහා ගිය පිරිසක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එහි පිරිස 60ක් පමණ රැඳී සිටි අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණු පසුබිමක නැවත වරක් එම පිරිස රටින් පලා යාමට උත්සාහ කිරීමේදී ඉකුත් දිනක කොටුකර ගැනීමට හැකි වූ බව නාවික හමුදාව වාර්තා කළේය.
මේ ආකාරයට වාර්තා වන්නේ බොහෝ පිරිස් ඉන්දියාව වෙත පලා යාමට උත්සාහ ගන්නා බවකි. එතැන් සිට වෙනත් රටකට ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වන්නට හැකිය. කෙසේ වෙතත් එවැනි නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහිව ඇවැසි ආරක්ෂිත ක්‍රියාමාර්ග තර කර තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
සමන්ත විල්තෙර