2022 මැයි 22 වන ඉරිදා

තිත්ත ඇත්ත එක මිටට ගත් රනිල්ගේ කතාව

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 84

අනුන්ගේ දරුවකු ඇකයේ හොවා කැඩුණු වැල් පාලම දිගේ ඇවිද යන්නා ජාතියක් අමතා කළ ප්‍රකාශය සැ‌ෙකවින් විමසීමට අපි අදහස් කළෙමු. හුණුවටේ කතාවේ ගෲෂාට තමාව සමාන කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය ඇමතුවේය. එය මෙරට දේශපාලන ඉතිහාසයේ පුරවැසියන් කෙරෙහි විශාලම රිදුම ඇති කළ ජාතිය ඇමතීමයි. වික්‍රමසිංහ මහතාගේ කතාව තුළින් හෙළිදරව් වූ තිත්ත සත්‍ය පුරවැසියා තැති ගන්වන සුළුය. අවසානයේ යම් බලාපොරොත්තුවක ආලෝකයක් පුරවැසියාගේ මනසේ දැල්වුණු නමුත් එය කණාමැදිරි එළියක් පරයා නොයන බව කිව යුතුය.

සිය කතාවේ පළමු අර්ධයේදී වික්‍රමසිංහ මහතා උත්සාහ දැරුවේ රටේ සැබෑ ආර්ථික වටපිටාව පිළිබඳ නිසි අවබෝධයක් පුරවැසියාට ලබා දීමටය. තමාට ජනතාවට බොරු කීමට අනවශ්‍ය බව පවසමින් ඔහු සත්‍ය අනාවරණය කළේ පැවති රජයේ අදූරදර්ශී බවද හැඟවෙන පරිදිය.

• රජයේ ආදායම : ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.6

• රජයේ වියදම : ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 4

• අයවැය හිඟය : ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2.4 (දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක්)

• ණය සීමාව : මැයි 2 වැනි සතිය වන විට අපේ අනුමත ණය සීමාව වන ශ්‍රී ලංකා රුපියල් බිලියන 3200 න් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1950 ක් වියදම් කර ඇත.

• විදේශ සංචිත : 2019 නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 7.5 ක් විය. කෙසේ වෙතත්, අද භාණ්ඩාගාරයට අමෙරිකානු ඩොලර් මිලියන 1ක් සොයා ගැනීම අභියෝගයකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ ජනතාව මුහුණපා සිටින ඉන්ධන, විදුලි බල, ගෑස් සහ ඖෂධ ගැටලු පිළිබඳව යථා තතු හෙළි කිරීමට උත්සාහ දරනු දැකගත හැකි විය. ඒ ඔස්සේ නිර්මාණය වී ඇති අවදානම නොසඟවා කී හෙතෙම විසඳුම් පිළිබඳ බලාපොරොත්තුවක සේයාවක් ජනිත කළේය.  

විදුලි බලය:

• ගැටලුව: විදුලියෙන් හතරෙන් එකක් තෙල් හරහා නිපදවන බැවින් දෛනික විදුලිය ඇණහිටීම් දිනකට පැය 15 ක් දක්වා වැඩිවීමට ඉඩ ඇත.

• විසඳුම: දින 40කට වැඩි කාලයක් බොරතෙල් සහ දැවි තෙල් සහිත නැව් 3ක් ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය තුළ නැංගුරම්ලා ඇත. මේ අර්බුදය මඟහරවා ගැනීමට අපි දැනටමත් මුදල් ලබාගෙන සිටිමු.

ගෑස්:

• ගැටලුව: පාරිභෝගිකයන්ට ගෑස් සැපයීම සඳහා අපට අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ඉක්මනින් අවශ්‍ය වේ.

• විසඳුම: අඟහරුවාදා (17) පැමිණීමට නියමිත ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමක් කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.

ඖෂධ:

• ගැටලුව: ඖෂධ සහ ශල්‍ය උපකරණවල උග්‍ර හිඟය මෙන්ම ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝගීන් සඳහා ආහාර සැපයුම්කරුවන්ට මාස හතරක් සඳහා ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකා රුපියල් බිලියන 34 කි.

• විසඳුම: නියමිත ගෙවීම් කිරීමට සහ ඖෂධ හිඟය පියවා ගැනීම සහතික කිරීමට අපි විසඳුම් සෙවීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු.  

මේ අතර 2022 සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කරන බවත්, දැවැන්ත අලාභයක් ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඔහු එලෙස පවසා සිටියේ ආර්ථික අර්බුදය විසඳීමට ඔහු තුළ ඇති දැක්ම පැහැදිලි කරමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩුව සංඛ්‍යාලේඛන සහිතව වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේ එබැවිනි‍.

&මේ වන විට දැඩි ලෙස අලාභ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පෞද්ගලිකකරණය කළත් මේ පාඩුව අපට දරන්නම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38 ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19 ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55 ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 136.31 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 ක් පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩුව තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතළ ගැටලුවක්." 

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය, රාජ්‍ය වියදම අවබෝධ කර ගැනීම, බදු ආදායම වැඩිකර ගැනීම ආදී වූ ප්‍රතිපත්තිමය සැලසුම්වලට පාදමක් නිර්මාණය කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා වෙහෙසෙන අයුරු දැකගත හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරියේදී යම් සහනයක් ලබාගැනීමට නම් මෙම ප්‍රතිපත්තිමය එකඟතාවලට එළැඹීම අනිවාර්ය වේ. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් සූදානම් කිරීම වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන බව පෙනී ගියේය.

තමාට දැඩි අකැමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දීමට  සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට හේතුව ලෙස හෙතෙම සදහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීමට මුදල් අවශ්‍ය වීමය. එසේ නමුත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව සිහි තබාගත යුතුව ඇතැයි වික්‍රමසිංහ මහතා කීය. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට රුපියල් පවා සොයා ගැනීමට ද හැකියාවක් නොමැති බව ඔහු පැහැදිලි කළේ රටක් ලෙස අප කොතරම් අසරණ වී ඇත්දැයි අවධාරණය කරමිනි.

“කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි." 

ජනතාව තුළ යම් තැති ගැන්මක් ඇති කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රකාශය සිදු කළේය. එහෙත් පෙරළා නැවතත් ජනතාවට බලාපොරොත්තුවක් ලබා දීමටද ඔහු අමතක නොකළේය. අග්‍රාමාත්‍යවරයාගේ ජාතිය ඇමතීමේ කතාව පුරාවට "අවදානම" සහ "බලාපොරොත්තුව* යන ස්වභාවය එහි දී කැපී පෙනුණි.

“මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වුවත් අප්‍රසන්න වුවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටිකාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොළු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේදී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා."

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේ අවසාන අර්ධයේදී දේශපාලන අර්බුදය සහ ඊට පිළියම් ලබාදීම පිළිබඳව ද සැකෙවින් කතා කළේය. විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් වෙත ඔහු යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ස්තුතිවන්ත වන බව කීය. දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාදීම ඔහුගේ සැලසුම වී ඇති බව ඒ අනුව තවදුරටත් පැහැදිලි විය.

“සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාලරාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකි වෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝලිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝලිම්වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා." 

ජාතිය ඇමතීමේදී බලාපොරොත්තු සහගත අවසානයක් ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලම තරණය කළ හුණුවටයේ ගෲෂා සිහි කරමින් ඔහු විසින් භාරගනු ලැබූ අභියෝගය සම්බන්ධව උපමා කතාව කීය. දේශපාලන - ආර්ථික සාක්ෂරතාවය ඇති නැති සියලුම පුරවැසියන්ට අවබෝධ වනු පිණිස කතාවේ අවසානය සඳහා වික්‍රමසිංහ මහතා එම කතාන්දරය කීවා විය හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ඉතිහාසය රාජ්‍ය නායකයකු විසින් සිදු කරනු ලැබූ ප්‍රබලතම රිදවුම් සහගත සත්‍ය අනාවරණය මෙයයි.  පළමුව කී පරිද්දෙන් මෙය එය බිහිසුණුය.  එහෙත් ඒ තුළ බලාපොරොත්තුවේ සේයාවක් රුඳී තිබේ.

“මේ අභියෝගය මම බාරගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරාගැනීම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරාගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මුහුණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න

මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.

ඒ මා ඔබට දෙන පොරොන්දුවයි."

■   චමිඳු නිසල් ද සිල්වා