මේ වන විට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට අපේ රට මුහුණ දී තිබේ. සංවර්ධන කටයුතු කෙසේ වෙතත් එදිනෙදා වියදම් පිරිමසා ගැනීමට හෝ නොහැකිව ඇත. කුඩා කුටුම්බයන්ගෙන් පටන්ගෙන මුළු රටම මෙම ජීවත්වීමේ ගැටලුවට මුහුණ දී සිටී. දිළිඳු පවුල්වල සාමාජිකයන් දවසේ එක වේලක් සඳහා හෝ ආහාර ලබාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින අතර රටේ සමස්ත ජනතාවම එදිනෙදා ආහාර සඳහා වන වියදම සොයාගත නොහැකිවීමේ අර්බුදයකට ලක්ව සිටී. ආහාර පමණක් නොව අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, ඉන්ධන හා ගෑස් ආදිය සපයා ගැනීමත් මේ වන විට දුෂ්කරව පවතී.
ශ්‍රී ලංකාවේ ජනතාවට මානුෂීය ආධාර සැපයීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය තම ප්‍රාන්තයේ දිළිඳු ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. මෙය ආසියාවේ ධාන්‍යාගාරය බවට විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාවට අද පත්ව ඇති අවාසනාවන්ත ඉරණම කියාපාන ප්‍රබලතම සාධකයකි.
අපේ රට මෙවැනි අහේනියකට පත්වීම හදිසියේ සිදු වූ දෙයක් නොවේ. දශක දෙක තුනක සිට පැවතගෙන ආ මෙම අර්බුදය අද වන විට දරුණුතම අවස්ථාවට පැමිණ තිබේ. මෙයට වර්තමාන රජය පමණක් නොව නිදහස ලැබූ දිනයේ සිට මෙරට පැවැති බොහෝ ආණ්ඩු වගකිව යුතු වෙයි. මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු වූයේ රටේ ජාතික ආදායම එකතු කිරීම ගැන නොසලකා හැර දිගින් දිගටම ණය මත යැපෙන්නට කටයුතු කිරීමේ අමනෝඥ ක්‍රියා පිළිවෙත වේ.
නව අගමැති රනිල් වික්‍රමසිංහ තනතුර භාරගැනීමෙන් දින දෙකකට පසු විශේෂ ප්‍රකාශයක් කරමින් රටේ මුදල් තත්ත්වය පිළිබඳ විග්‍රහයක යෙදුණේය. එම කරුණු සත්‍ය නම් අද අප වැටී සිටින්නේ පහසුවෙන් ගොඩ යා හැකි වලකට නොවේ.
ඔහු පවසන්නේ රටේ ආර්ථිකය ඉතාමත්ම දරුණු තැනකට වැටී ඇති බවය. 2022 ආරම්භයේදී පසුගිය අයවැය ලේඛනයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බව පෙන්නුම් කළද, සත්‍ය වශයෙන්ම වසරේ ආදායම රුපියල් ට්‍රිලියන 1.6 ක් බවට පත්ව තිබේ. එසේම 2022 වසරේ රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක් බව පැවසුවද සත්‍ය වශයෙන් වියදම රුපියල් ට්‍රිලියන 4 ඉක්මවා යනු ඇතැයි අගමැතිවරයා කියයි. වසරේ අයවැය හිඟය ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% කි. වසරේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200 ක් වුවද මැයි මස දෙවැනි සතිය වන විට බිලියන 1950 ක් වැය කර ඇති බව හෙතෙම පවසයි. 2019 නොවැම්බර්වල විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.5 ක් වුවද අද වන විට මිලියනයක්වත් සොයාගත නොහැකි බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.
දැනට මුහුදේ රඳවා ඇති ගෑස් නැව් ගොඩබෑමට ඩොලර් මිලියන 5ක් හෝ සොයාගත නොහැකි බව පෙන්වා දෙන අගමැතිවරයා පෝලිම් පාලනය සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක්වත් සොයාගත යුතුව ඇතැයි පවසයි. එසේම ගෑස් ලබාදීම සඳහා ඩොලර් මිලියන 20 ක් වහාම සොයාගත යුතු තැනට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඩොලර් සොයා ගැනීමේ උග්‍රතම ගැටලුවකට මුහුණ දී තිබේ. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට තමා ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ නමුත් රජයේ සේවකයන්ට මේ මාසයේ වැටුප ගෙවීම සඳහා අලුතින් මුදල් මුද්‍රණය කිරීම හැර අන් විකල්පයක් නැති බව අගමැතිවරයා පෙන්වා දෙයි. ඔහු පවසන තවත් දෙයක් නම් දැනට පෙට්රල් ඇත්තේ එක දිනකට පමණක් බවය.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉතාම දරුණුතම ආර්ථික ගැටලුවකට මුහුණ දී ඇති බව පෙනේ. මෙයින් ගොඩ ඒමට අවශ්‍ය මුදල් සොයා ගැනීම ලෙහෙසි පහසු නොවේ.
මෙම තත්ත්වයට යන්තම් හෝ විසඳුමක් ලෙස රාජ්‍ය වියදම් අවම කිරීමේ පියවර රුසක් මේ වන විට ගෙන ඇත. රාජ්‍ය අංශයට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවත්වා ඇති අතර ඔවුන්ට අතිකාල සහ සෙසු දීමනා ගෙවීම සීමා කර තිබේ. එසේම ප්‍රාග්ධන වියදම් කපා හැර ඇති අතර අලුතින් කිසිදු සංවර්ධන වැඩක් ආරම්භ නොකිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. කිසිදු ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් නොකළ යුතු අතර දැනට අත්සන් කර ඇති එවැනි ගිවිසුම් දීර්ඝ නොකරන ලෙස ද නියම කර තිබේ.
මේ අතර අමාත්‍ය ලේකම්වරුන්ගේ වියදම් අවම කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ලේකම් සංගමයේ මහ ලේකම් අජිත් ජයසුන්දර ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා ඇත්තේ අමාත්‍යාංශ 20 ක් සඳහා එක අමාත්‍යාංශයකට ලේකම්වරුන් පස්දෙනා බැගින් 100 ක් අවශ්‍ය වන බවය. ලේකම්වරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් වන අතර ඒ අනුව වැටුප සඳහා ලක්ෂ 100 ක් වැය වේ. මෙම සංඛ්‍යාව අඩුකර ලේකම්වරුන් සඳහා පළපුරුදු රාජ්‍ය සේවකයන් පත් කළ යුතු අතර දැනට නවතා දැමිය යුතු බවද ලේකම් සංගමය කියයි. එසේම නව අමාත්‍යවරුන් සඳහා මන්ත්‍රී දීමනාව නොගෙවන ලෙස ද දන්වා ඇත. එසේම ජූනි මාසයේ සිට අගමැති කාර්යාලයේ වියදම් 50% කින් කපා හැරීමට තීරණය කර තිබේ. එහි සේවය කරමින් සිටි සේවකයන් 26 දෙනකු සහ වාහන 16 ක්ද මුල් ස්ථානවලට ආපසු යවා තිබේ.
රටේ එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාව සලකා 2022 වසර සඳහා අයවැයෙන් යෝජනා කළ විශේෂ බද්ද වහාම මෙම කාර්තුව තුළ ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මූල්‍ය සමාගම් සහ විශාල බදු ගෙවන්නන් වෙත දන්වා තිබේ. රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රජය සතු ආදායම ප්‍රමාණවත් නොවන නිසා මෙම ඉල්ලීම කර ඇත. පසුගිය අයවැය මගින් යෝජනා කළ විශාල සමාගම් සහ මූල්‍ය ආයතනවලින් අයකර ගැනීමට නියමිත මෙම අධිභාර බද්දෙන් රුපියල් බිලියන 100 ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරයි.
මේ අතර රටේ මුදල් තත්ත්වය මෙලෙස අයහපත් වී ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීමය. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි පසුගිය මාර්තු මාසයේ ඒ සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 519.8 ක් හෙවත් රුපියල් කෝටි 105,519 ක් වෙයි. එහි සඳහන් ආකාරයට 2012 වසරින් පසු ඉන්ධන ආනයනය සහා වැඩිම වියදමක් දරා ඇත්තේ මෙම මාර්තුවලය. එසේ වුවද මෙරටට බොරතෙල් ආනයනය නවතා තිබියදී මෙතරම් විශාල වියදමක් ඉන්ධන ආනයනයට දරා තිබීම විමතියට කරුණකි. 2022 ජනවාරි සිට මාර්තු මාස තුන සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 1412.3 ක් වේ. එය 2021 වසර එම කාලය සමඟ සංසන්දනය කිරීමේදී ඩොලර් මිලියන 977.2 ට වඩා 44.5%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
රටේ මුදල් තත්ත්වය දුර්වල වීම පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රටේ මුදල් ආදායම ලබන ප්‍රධානම ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුවේ පවතින අකාර්යක්ෂමතාව නිසා දීර්ඝ කාලයක සිට රටට ලැබිය යුතු ආදායම නොලැබී යාමේ අර්බුදයක් උද්ගතව ඇති බවය. එසේම රජය කඩිමුඩියේ ගත් අමනෝඥ තීරණ නිසා ලැබෙන්නට ඇති ආදායම නොලැබී ගිය බවද ඔහු පෙන්වා දෙයි.
&කිසිදු වසරක රජය බලාපොරොත්තු වන බදු ආදායම ලබාගන්නට හැකි වී නැහැ. මේ වසරේදි වුවත් අයවැයේ ඇස්තමේන්තු කර ඇති රුපියල් ට්‍රිලියන 2.3කින් ලබාගන්න හැකිව ඇත්තේ ට්‍රිලියන 1.6 ක් බව දැන් කියනවා. එහෙම එකතු කරගන්න බැරි නම් ඇයි එහෙම බොරු සංඛ්‍යා දැම්මේ. මෙම තත්ත්වය ඇතිව ඇත්තේ වගකිව යුතු ආයතනවල නොසැලකිල්ල නිසයි. ඒ ගැන බලන කෙනෙක් නැහැ. පසු විපරමක් කරන්නේ නැහැ. බදු ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක කළා නම් අද ලැබෙන ආදායම දෙගුණයක් කරන්න අපහසු නැහැ. එසේම මෙහිදී සිදුවන වංචා දූෂණ අවම කළ යුතු වෙනවා. මහා භාණ්ඩාගාරයට ලැබෙන ආදායමෙන් 90% ක් ලැබෙන්නේ බදුවලින් බව මතක තබාගත යුතුයි.
ආදායම එකතු කර නොගෙන මුදල් මුද්‍රණය කිරීමෙන් මෙම ගැටලුව විසඳන්න බැහැ. ලක්ෂ 14කට අධික රාජ්‍ය සේවකයන්ට වැටුප් නොගෙව්වොත් එය සමාජ අර්බුදයක් දක්වා දුරදිග යාවි. ඔවුන් පාරට බසීවි. ඒත් හැමදාම මෙය කරන්න බැහැ. පසුගිය කාලයේ තමා මුදල් නැතිවන සැමවිටම නව මුදල් න්‍යායක් බව කියලා අවිචාරවත් ලෙස මුදල් මුද්‍රණය කළේ. රාජ්‍ය සේවක වැටුප මේ මාසයේ ලැබෙන්නේ මාස 1 ½කට පසුවයි. ඔවුන්ට අප්‍රේල් වැටුප සිංහල අලුත් අවුරුද්දට පෙරයි ගෙව්වේ. ඒ නිසා ලබන මාසෙටත් මුදල් අච්චු ගහන්න බැහැ.
එසේම රටේ පවතින වර්ජන ක්‍රියා, උද්ඝෝෂණ ආදිය නිසා ද නිෂ්පාදනය අඩුවීමෙන් රටට පාඩු වෙනවා. පසුගිය කාලයේ දිගින් දිගටම අපනයන කලාප වැසුවා. අපනයන කලාප දිනක් වැසීමේ පාඩුව රුපියල් බිලියන 1 ½ ක්. වැඩවර්ජන නිසා අහිමි වූ වැඩ කරන පැය ගණන විශාලයි. අඩු වූ නිෂ්පාදනය ගණනය කළ නොහැකි තරම්. ඒ නිසා දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු වන්නේ වර්ජන, උද්ඝෝෂණ, පිකටිං ඇති නොවීමටයි. වර්ජන කළාට පසු සාකච්ඡාවලට යාමෙන් වැඩක් නැහැ. සාකච්ඡා ඇරඹිය යුත්තේ මුල් අවස්ථාවේ වර්ජනවලට පෙරයි.
අනිත් අතට කොතරම් ආනයන අධෛර්යමත් කළත් ආනයන අඩුවෙලා නැහැ. එයාර් ලංකාවලට තවමත් පානීය ජලය පවා ඩුබායි වැනි රටවලින් ආනයනය කිරීම හාස්‍යයට කරුණක්. අනවශ්‍ය දේවල් තවමත් කොතරම් ගෙන්වනවාද? ආනයන වැය 2021 දී බිලියන 18 යි. 2021 වන විට බිලියන 20.5 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ආනයන මෙතෙක් සීමා කර තිබියදී බිලියන 2 ½කින් ඉහළ ගියේ කොහොමද කියලා සෙවිය යුතුයි. රටේ කොතරම් කජු ගස් තිබුණත් කජු සංස්ථා තිබුණත් තවමත් කජු ආනයනය කරනවා. ඇපල් ආනයනය නවතා තිබුණත් ඇපල් තවමත් ආනයනය කරනවා. ඇපල් ආනයන බලපත්‍ර සියල්ල අවලංගු කරලා එක් අයකුට පමණක් බලපත්‍රයක් දී තිබෙනවා. ඔහු ඇපල් ආනයනය කරලා විශාල ඉහළ මිලකට අලෙවි කරනවා. ආනයන තහනම් ලේඛන ගැන යළිත් සමාලෝචනයක යෙදිය යුතුයි.
මුදල් මුද්‍රණය අතින් අපි අද වාර්තා තබලා. 2020 දී රුපියල් බිලියන 550ක මුදල් අච්චු ගසා ඇති අතර, 2021 වසරේදී බිලියන 1200ක මුදල් මුද්‍රණය කළා. 2022 දී රුපියල් බිලියන 3000ක මුදල් මුද්‍රණය කළ බව පැවසෙනවා. රටේ සමස්ත ආදායම බිලියන 1400 ක් වෙද්දි මෙතරම් මුදලක් මුද්‍රණය කිරීම විමතියට කරුණක්. මෙලෙස මුදල් නෝට්ටු විශාල ලෙස සංසරණයට එකතුවීම නිසා අද වන විට සාමාන්‍ය උද්ධමනය 29% ක් සහ ආහාර උද්ධමනය පමණක් 47% ක් වෙලා තියෙනවා. එහෙත් පසුගිය මාසයේ අපේ උද්ධමනය 132% ක් යැයි ජාත්‍යන්තර සංවිධාන පවසනවා. උද්ධමනය ඉහළ යාමේ වේගය අතින් අපේ රට ලෝකයේ දෙවැනි ස්ථානයට පත්වෙලා.
රාජ්‍ය මට්ටමෙන් ණය ලබාගැනීම දුෂ්කර වූ නිසා පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ණය ගන්න සිදුවෙලා තියෙනවා. සහනදායී නොවන ණය වැඩි පොලියට ලබාගෙන ඇත. ඍජු ණය බර ට්‍රිලියන 17ක්ව ඇති අතර රජය වගකියන සමස්ත ණය බර ට්‍රිලියන 19 ක් වී තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම සහ වැය අඩු කරගත යුතුව තිබියදී ආදායම අඩු කරගෙන වියදම වැඩි කරගෙන තිබෙනවා. 2019 – 2020 ආදායම් පරතරය දෙස බැලූ විට රුපියල් බිලියන බිලියන 559ක ආදායමක් අහිමි කරගෙන තිබෙනවා. රටේ ආදායම අඩු කරගෙන ඩොලර් සංචිත දිය කිරීම සිදු කළා. 2019 දී අමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් තිබුණු සංචිත මේ වන විට බිලියන 0.005කට අඩු කරගෙන තිබෙනවා. ටොන් 19.4 ක්වූ රන් සංචිත ප්‍රමාණය 0.5 ක් දක්වා පහළ බැස්සා.
අද පවතින අවාසනාවන්ත තත්ත්වය නැතිකර ගැනීමට නම් ප්‍රථමයෙන් කළ යුත්තේ ජාතික ආදායම වර්ධනය කරගෙන හැකි තරම් දුරට අනවශ්‍ය වියදම් පාලනය කිරීමයි. මෙසේ නොකර තාවකාලික පැලැස්තර දැමීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.
යසවර්ධන රුද්රිගූ