අහස උසට යන ඉන්ධන මිල අසා හෘද ස්පන්දන වේගය වැඩිවී සිටින ජනතාවට දෙන මුදලට ලැබෙන ඉන්ධනවලින්වත් කිසිම සැනසීමක් නැත. ඉන්ධනහල්වලින් නිකුත් කරන බාල තෙල් සම්බන්ධයෙන් ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
ඉන්ධන හිඟය හේතුවෙන් රටේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අප පුවත්පතද මෙයට පෙර අවස්ථා ගණනාවකදීම වාර්තා කළේය. ඉන්ධන ඉල්ලා පෝලිම්වල දවස් ගණන් දුක්විඳින ජනතාවට, තෙල් බවුසර් එනතෙක් පිරවුම්හල් අසල වාහන නවතාගෙන නිදාගන්නා ජනතාවට ප්‍රමිතියෙන් තොර බාල තෙල් ලැබෙන බව රියැදුරෝ පවසති. බොහෝ රියැදුරන් පවසනුයේ වෙනදාට ප්‍රමාණවත් වූ පෙට්‍රල් ඩීසල් ප්‍රමාණය මේ වනවිට දෙගුණයක් වී ඇති බවයි.
නාරම්මල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ඉකුත් දිනක ජලය මිශ්‍ර වූ පෙට්‍රල් බවුසරයක් පැමිණ තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. ඉන්ධන රැගෙන පැමිණි බවුසරයෙන් ඉන්ධන තොගය අදාළ පිරවුම්හලට ගොඩබෑමට පෙර කළමනාකාරිත්වය විසින් එම ඉන්ධන පරික්ෂා කරනු ලැබීමේදී මේ බව හෙළි වී ඇතැයිද ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය ඉන්ධන බවුසරය ගොඩබෑම ප්‍රතික්ෂේප කළ බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
එසේම ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ලබා දී තිබූ ඉන්ධනවල ජලය ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කළහ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසූයේ ඉන්ධන පිරවුම්හලේ ටැංකිවල භූගත වතුර ඉවත් කර නිසි ක්‍රමවේද භාවිත කර නොමැති බවත් පරික්ෂණ අවසන් වනතුරු පිරවුම්හල වසා දැමීමට දැනුවත් කර ඇති බවත්ය. තවදුරටත් විවිධ ප්‍රදේශවලින් තැන තැන බාල ඉන්ධන බෙදාහරිනවැයි චෝදනා කරමින් ජනතාව විරෝධතාවල පවා නිරත වූහ.
වතුර පමණක් නොව ඇතැම් ජාවාරමුන් පෙට්‍රල් සහ ඩීසල්වලට භූමිතෙල් මිශ‍්‍රකර තිබෙන අවස්ථාද පසුගිය කාලයේ සමාජයේ ඕනෑතරම් අපි දුටිමු. බොහෝ අවස්ථාවල බස් රථවලට ඩීසල් සමග භූමිතෙල් කලවම් කර භාවිතය සම්බන්ධයෙන් යම් යම් අනාවරණ කෙරිණ. පෙට්‍රල් සහ ඩීසල් යන දෙකෙහිම මිල හා සාපේක්ෂව අඩුමිලට භූමිතෙල් තිබේ. එහෙත් ඊටත් වඩා මිල අඩුවට වතුර තිබේ. එසේ කියා ප්‍රෙටල් සහ ඩීසල්වලට භූමිතෙල් හෝ ජලය කලවම් කිරීමට කිසිවකුට අයිතියක් නැත. එහෙත් අපේ රටේ දැනට අහස උසට යන ඉන්ධන මිල අනුව පොල්තෙල් සහ තලතෙල්වලටත් වඩා භූමිතෙල් වටී. බාල තෙල් පාරිභෝගිකයන්ට විකුණුවද ඒ බෙදනුයේත් නියම මිලටය. ජනතාව අඩු මිලට බාල තෙල් කිසිදාක ඉල්ලා නැත. අනාගතයේත් ඉල්ලන්නේද නැත. ජනතාවට අවශ්‍ය වනුයේ තමන් ලබාදෙන මුදලට නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධනයි. එහෙයින් කාලයක පටන් මේ ඉන්ධනවලට විවිධ මුසුකිරීම් පිළිබඳ අනාවරණය වුවද මේ තාක් ජනතාවට සිදුවූයේ සල්ලිකාර මුදලාලිලාගේ එරවිලි ගෙරවිලිවලට යටත් වී ඉල්ලන ගාන ලබා දී අවශ්‍ය දෑ කොහොමහරි රැගෙන ගෙදර යාමටයි. ඉන්ධන කියා වතුර ලබාදුන්නත් එය දමාගෙන තම ගමන යාමටය. මෙය මහජනතාවට කරන ඉමහත් අසාධාරණයකි.
මේ ආකාරයට බාල ඉන්ධන භාවිතයෙන් ජනතාවට කොරේ පිටට මරේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකිය. නිසි ප්‍රමිතියට නොමැති ඉන්ධන භාවිතයෙන් වාහන මහමග නතර වීමත්, වාහන අමතර කොටස් ආනයනය නොවෙන වටපිටාවක එකවර වාහන රැසක මේ ආකාරයට වාහන එන්ජින්වල නඩත්තු පැමිණීමෙන් මතුවන ඛේදනීය තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. බාල පෙට්‍රල් ගෙන්නුවත් බාල ඩීසල් ගෙන්නුවත් වාහනවලට වතුර ගැහුවත් එහි අලාභය සංස්ථාවට නොවන හෙයින් සංස්ථාවට වගේ වගක් නැති ගාණය.
ප්‍රමිතියකින් තොර ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අප කළ විමසීමේදී පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසූයේ මෙවැන්නකි.
“මේ වනවිට ලංකාව පුරා බෙදන ඉන්ධන බාලයි කියලා අපට පැමිණිලි ලැබී තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා. අපේ වාහනත් ලෙඩ වෙලා තියෙනවා. මේ අර්බුදය ගැන අපි පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළා. අපේ රටේ තියෙන ප්‍රශ්නය රසායනාගාර පහසුකම තිබෙන්නේ සිපෙට්කෝ විතරයි. අපි දැනට අවුරුදු 4 කට කලින් පැමිණිල්ලක් දාලා ඒ පැමිණිල්ලට අනුව සිපෙට්කෝ එකට යැව්වා. 95 කියා විකුණන පෙට්‍රල් 92ටත් වඩා ප්‍රමිතියෙන් අඩුයි. ඒ වෙලාවේ අයිඕසී ආයතනය කිව්වා අපි තරගකාරී ආයතන දෙකක් ඒ නිසා මේක පිළිගන්න බෑ කියලා. ඒ කාලේ කැබිනට් ඇමැති හිටියේ බුද්ධික පතිරණ ඇමැතිතුමා. පිටරට යවන්න විශාල මුදලක් වැයවෙනවා කියලා මේක ලංකාවෙන් යැව්වේ නෑ. මුලින් කීව වගේ අපේ රටේ තියෙන ප්‍රශ්නය රසායනාගාරයකට ලංකාවේ තියෙන්නේ සිපෙට්කෝ විතරයි. ඒත් ඒකෙ වාර්තා පිළිගන්න බෑ. මේ ප්‍රශ්නය විසඳන්න මේව පිටරටකට යවලා තත්ත්ව පරීක්ෂාවක් කළ යුතුයි. ආණ්ඩුව ඒකට කැමැති නෑ. මගේ වාහනයත් බණ්ඩාරවෙලදී කැඩිලා ඉන්ජෙක්ටර් පවා සුද්ධ කරන්න වුණා. පෙට්‍රල් බාලයි කියන එක අපිට සියයට සියයක් විශ්වාසයි.”
ඉන්ධනවල නිසි ප්‍රමිතිය නොමැතිවීම පිටුපස මාෆියාවක් ඇත්දැයි අප කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු මෙසේද කීය.
“අපි පිරවුම්හල් හිමියන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන්ට කිසි වාසියක් නෑ. මාෆියාවක් නම් කාටහරි වාසි තියෙන්න ඕනෑනේ. හරි ගාණට ලැබෙද්දීයි ඒකෙ ගුණාත්මක භාවය බලන්න ඕන. බත් එකක් වුණත් එහෙමයි. පිරවුම්හල් හිමියන් සමගත් අප කතා කළා. එයාලාත් පිළිගන්නවා තෙල් බාලයි කියලා. ඒ මිනිසුන්ට එහෙම බාල තෙල් විකුණුවා කියලා අඩුවට ඒවා ලැබෙන්නෙත් නෑනෙ. ඒ විදිහට බැලුවොත් මේකෙ මාෆියාව තියෙන්න ඕනෑ ඛනිජ තෙල් සංස්ථාව සහ මිලදී ගන්නා පිරිස අතර. මේක විශාල ප්‍රශ්නයක් .මේක හරහා දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. වාහන අමතර කොටස් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට වාහන සේරම කැඩෙද්දී ඒවාට යන වියදමත් වැඩිවෙනවා. මේ ප්‍රශ්නය සාමාන්‍ය විදිහට පෙනුණාට මේක ලොකු අර්බුදයක්” යැයිද රංජිත් විතානගේ මහතා පැවසීය.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් 06 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
එහි සඳහන් ආකාරයට ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල – නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන සාම්පල ලබාගෙන මේ වනවිටත් පරීක්ෂණාගාර වෙත යවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි මෙසේද සඳහන් වෙයි.
ඉන්ධන තොග ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයන්ට බෙදාහැරීම දක්වා අවස්ථා හතරකදී ඉන්ධනවල ප්‍රමිති පරික්ෂාවක් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ප්‍රමිතිය බලන්න ආයතන තියෙද්දී බාල තෙල් වෙළෙඳපොළට එන්නේ කොහොමද ? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙසේ කීය.
“ඉන්ධනවල කිසිදු ආකාරයක ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් ප්‍රමිති ආයතනයෙන් දැනට සිදුවන්නේ නෑ. ඉන්ධන සම්බන්ධයෙන් දැනට ප්‍රමිතිය පරීක්ෂාව සිදුකරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. මේ වනවිට ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය ප්‍රමිති පරීක්ෂාව සිදුකරනවා”යැයිද හෙතෙම පැවසීය.
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රජයේ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසූයේ ''ප්‍රමිතියෙන් බාල තෙල් තොග රටට ගොඩබාන්න දෙන්නේ නෑ කියන වගකීම තමා ගන්නා බවයි.” එසේම අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ඉන්ධන බෙදාහැරීම නිම වනතුරු තෙල් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.
කාලයෙන් කාලයට පත් වන අමාත්‍යවරුන් මෙන්ම ආයතන බලධාරීන් කුමන ප්‍රකාශ සිදුකළද මහමඟ දකින්නට ඇත්තේ ඒ කතාවලට පරස්පර කතාවකි. ත්‍රිමලේ තෙල් ටැංකි ජාතිය සතුකරනවා යැයි අණබෙර ගසා මහා පුරාජේරු ගැසූ කාලයක් අපේ රටේ තිබිණ. එය දන්නෝ දනිති. එහෙත් කයිවාරු පැත්තක දමා අපේ රටේ ජාතික සම්පත් හරියාකාරයෙන් ප්‍රයෝජනයට ගත්තානම් එම සම්පත් නිසි විදිහට නඩත්තු කළේ නම් අද පිටරටවලින් එවන ඕනෑම තෙලක් ගැනීමට තරම් යාචක තත්ත්වයට පත්වන්නට සිදුවන්නේද නැත. එමෙන්ම පාර දිගට වාහන තියාගෙන රටේ ජනතාවට මහපාරේ දවස් ගණන් නිදාගන්නට සිදුවන්නේද නැත. පෝලිම්වල වාහන නවතා තබා නැව් එනතෙක් මුහුද දිහා බලාගෙන ඉන්නට වන්නේද නැත. තෙල්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක්ද නොඑන්නට තිබුණි. එහෙත් ඒ ඉරණම රටේ දේශපාලකයන් මෙන්ම ඇතැම් නිලධාරීන් තමන්ගේ සුඛවිහරණයට වෙනස් කර තිබේ.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ඉකුත්දා ප්‍රකාශ කළේ අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතා කුඩා අගයක් ගන්නා බවත් මේ සියලු දුෂ්කරතා හමුවේ ඩීසල් රුගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගත් බවයි. දවස් ගණන් පෝලිම්වල සිටින ජනතාව එන තෙල් නැව දිහා දෑස් දල්වාගෙන බලාපොරොත්තු පොදි බැඳගෙන බලා සිටිති. එවන් මිනිසුන්ගේ අපේක්ෂා බාල තෙල්වලට දියවන්නට ඉඩදීම ජාතික අපරාධයකි.
සසංක චලන ගිම්හාන