ලොව දෙවැනි වැඩිම උද්ධමනයක් සහිත රට යන නම ශ්‍රී ලංකාව ඉදිරියේ පළමුවරට සටහන් වූයේ ඉකුත් සතියේය. ඒ සඳහා හේතු වූ ආර්ථික අර්බුදයේ ආරම්භය මීට වසර තුනකට පෙර සිදුවිය. එනම් පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය බිඳවැටීමෙන් පටන්ගත් ආර්ථික කඩා වැටීම තවදුරටත් බරපතළ තත්ත්වයකට කොවිඩ් වසංගතය නිසා තල්ලු විය. එහි අතුරු විපාක පළමුවෙන්ම විඳින්ට සිදුවූයේ අම්මලාටය. ඒ ඉවුම් පිහුම් කිරීමට අවශ්‍ය ගෑස් අහිමි වීමෙනි. එහි තත්ත්වය කවදාටත් වඩා දැන් දරුණු අතකට හැරී. රටටම බෙදාදුන් ගෑස් නගරයට පමණක් සීමා කිරීමට සිදුව ඇත. එසේ නොකර බැරි තැනකට අපේ ආර්ථික ශක්තිය හීන වී ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ ගෑස් අත්‍යවශ්‍යම පාරිභෝගිකයන්ට පමණක් ගෑස් නිකුත් කිරීමට සිදුව ඇති බවයි. එහෙත් දැඩි ගෑස් හිඟයක් දැනටමත් වෙළෙඳපොළේ පවතී. පවතින ගෑස් හිඟයෙන් නොයෙක් අසීරුකම්වලට මුහුණ පා සිටින නාගරික වැසියන් සති දෙකක පමණ කාලයේ සිට ගෑස් ඉල්ලමින් උද්ඝෝෂණවල නිරත වනු වාර්තා විය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් දේශය කළ විමසුමට එම සමාගමේ මාධ්‍ය නිලධාරියා පිළිතුරු දෙමින් කියා සිටියේ මෙවන් අදහසකි.
“අපිට ඊයේ (17) ගෑස් තොග ලැබුණා. ඒත් ඒවා ඊයෙ රෑ ගොඩබාන්න බැරි වුණා රැල්ලේ සැර වැඩි නිසා. කොළඹ වරායේ නැව පාක් කරලා සබ් එකක් ගන්නයි උදේ ඉඳන් අපි උත්සාහ කරන්නේ. එතකොට අපිට හෙට ඉඳන් බෙදාහැරීම් පටන්ගන්න පුළුවන්. හෙට 12න් පස්සේ ළඟ තැන්වලට විතරක් බෙදන්න පුළුවන් වෙයි. තත්ත්වය සෙට්ල් කරගන්න සිකුරාදා වෙයි.”
මාධ්‍ය නිලධාරී කේතීෂ්වරන් මහතාට අනුව දැනට ලැබී තිබෙන ගෑස් තොගය අවශ්‍ය ප්‍රමාණයට වඩා සීමිත බැවින් ඒවා ප්‍රමාණවත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට පමණි. “අපිට දවස් දෙකකට මෙට්‍රික් ටොන් 3700ක් ඕන. ඒත් මේ ලැබිල තියෙන්නේ මෙට්‍රික් ටොන් 2800යි. මේ ප්‍රමාණය දවස් එකහමාරකට වගේ ඇතිවෙයි. අපේ පාරිභෝගිකයෝ බහුතරය ගෑස් වගේම දරත් පාවිච්චි කරනවා. නගර ආශ්‍රිතව තට්ටු නිවාසවල ඉන්න අයට තමයි ගෑස් අත්‍යවශ්‍යම. එයාලට වෙන විකල්ප බලශක්තියක් නෑ. උදේට විදුලියත් කපන නිසා එයාලගේ ඉවුම් පිහුම්වලට ගෑස් අනිවාර්යයෙන් දෙන්න වෙනවා. ඒ නිසා අපි ප්‍රමුඛතාව දීලා තියෙනවා ඉවුම් පිහුම්වලට ගෑස් විතරක් පාවිච්චි කරන ඒ අයට. ඒ අයට දරවත්, ලාම්පු තෙල්වත්, විදුලියවත් පාවිච්චි කරන්න බෑ. එනිසා එයාලට අපි ප්‍රමුඛතාව දුන්නෙ නැත්තම් එයාලා අසරණ වෙනවා.”
සැබෑ තත්ත්වය එසේ වුවත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා උපුටා දක්වමින් අද (බදාදා) සිට දෛනිකව ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට ඇතැයි මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළ වී තිබිණි. අප කළ කරුණු විමසීමේදී ලිට්‍රෝ සමාගම නිවැරදි කිරීමක් කරමින් සිටියේ එය 80,000 නොව 8,000ක් ලෙස නිවැරදි විය යුතු බවයි. එමෙන්ම ගෑස් නැව් දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6ක් සමාගම ගෙවීමට කටයුතු කර ඇති අතර මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් දෙවැනි නැව මේ මස 19 වැනිදා වරායට ළඟා වීමට නියමිත විය.
ඒ අනුව දෙවැනි නැවේ ගෑස් බෑමෙන් පසු බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවලටද ගෑස් සැපයීම් කළ හැකිය. ලිට්‍රෝ සමාගම ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ දර භාවිතයට යොමුවන ලෙසය. පවතින බලශක්ති අර්බුදයට විකල්ප ක්‍රම මිසක වෙන විසඳුම් නැතැයිද පවසයි. ග්‍රාමීය ප්‍රදේශවලට ගෑස් බෙදාහැරීමක් සිදු නොවන නිසා ගෑස් මිල දී ගැනීමට පෝලීමේ සිටීමෙන් තේරුමක් නැතැයිද ලිට්‍රෝ සමාගම පෙන්වා දෙයි. ඒ අනුව එම ප්‍රදේශ දර කලාප ලෙස සලකා දර භාවිතයට යොමු වීම කාලෝචිතය.
ග්‍රාමීය ප්‍රදේශවල දර භාවිතය පිළිබඳ අප කළ සොයා බැලීමකදී මැදවච්චිය ප්‍රදේශයේ මවක් කියා සිටියේ මීට මාසයකට පෙර ඇගේ නිවසේ ගෑස් සිලින්ඩරය හිස් වූ බවයි. එතෙක් උදේ ආහාරය සූදානම් කරගැනීමට පමණක් ගෑස් භාවිත කළද දැන් දර පමණක් භාවිත කරන බවය. මහනුවර උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුතු නිසංසලා මහත්මියගේ පවුලද ගෑස් භාවිතයෙන් සම්පූර්ණයෙන් බැහැර වූ බවත් ඇගේ නිවස අවටින් සපයා ගන්න දර භාවිත කරන බවත් පැවසුවාය. වැසි දිනවලට පමණක් අසල කඩයකින් දර මිල දී ගන්නා බවත් පැවසුවාය. වැල්ලවාය පදිංචි ෆාතිමා හුස්නා මහත්මියද කියා සිටියේ ගෑස් අර්බුදය පටන් ගත් දින සිට දර භාවිතයට යොමුවීම නිසා මුදල් ඉතිරියක් තිබෙන බවත් ගෑස් මිල දී ගැනීමට පෝලිමේ සිටීමට සිදුනොවූ බවත්ය.
රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් දර කලාප වෙත ගෑස් නිකුත් කිරීම ලිට්‍රෝ සමාගමට ගැටලුවක් වී ඇත. සමාගම ප්‍රමුඛතාව දී තිබෙන්නේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ සඳහා පමණි. දැනටමත් සමාගම දෛනිකව නිකුත් කරන සිලින්ඩර 80,000ක ප්‍රමාණය සිලින්ඩර 30,000ක් දක්වා අඩුකර ඇත. ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය නිලධාරී කේතීෂ්වරන් මහතාට අනුව වර්තමානයේ තිබෙන තත්ත්වය හමුවේ දෛනිකව සිලින්ඩර 30,000ක් නිකුත් කිරීමද ප්‍රශ්නාර්ථයක් වී ඇත. වාණිජ අවශ්‍යතා සඳහා නිකුත් කරන ගෑස් සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති වීමට නියමිතය. දැනටමත් වෙළෙඳපොළේ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවය සහ බඩු මිල ඉහළ යාම නිසා සිදු වූ හානියට වඩා දැවැන්ත හානියක් ගෑස් සීමා කිරීමෙන් ආපන ශාලාවන්ට සිදුවනු ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඉකුත්දා පාර්ලිමේන්තු සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටියේ මේ වනවිට හිස් ගෑස් සිලින්ඩර මිලියන 4ක් ඇති බවත් දිනකට නිකුත් කරන සංඛ්‍යාව අනුව සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින 20ක් ගත වන බවත්ය. එමෙන්ම මුදල් අමාත්‍යංශය සමඟ එක්ව ගෑස් බෙදාහැරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ නමුත් මාසිකව ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 30ක් අවශ්‍යය. අත්‍යවශ්‍ය ඖෂධ පවා මිල දී ගත නොහැකි ආර්ථික අර්බුදයකට රට මුහුණ පා තිබෙන තත්ත්වයක මේ සා ඩොලර් ප්‍රමාණයක් ගෑස් වෙනුවෙන් වියදම් කිරීම අසීරුය. එබැවින් ගෑස් වෙනුවට විකල්ප බලශක්තිය භාවිත කළ හැකි 73%ක මෙරට ජනගහණය ගෑස් වෙනුවට විකල්ප බලශක්තීන් භාවිතයට යොමුවිය යුතුය. ගෑස් වෙනුවට විදුලිය විකල්පයක් වුවද විදුලි උත්පාදනය සඳහාද ඩීසල් ආදී වෙනත් ඉන්ධන වැය කිරීමට සිදුවේ. එනිසා ගෑස් වෙනුවට විදුලිය භාවිත කිරීම හිසේ ඇම්මට පිටේ බෙහෙත් බඳිනවා සේ නිෂ්ඵල ප්‍රයත්නයක් වනු ඇති.
උද්ගත වී ඇති අර්බුදයට වඩාත් හොඳ විකල්පය ''දර කලාප'' ඇතිකර ගැනීමයි. කොළඹ, ගම්පහ සහ සෙසු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර හැර සියලුම ගම්වල ප්‍රමාණවත් දර සපයා ගැනීමේ පහසුකම් තිබේ. ගෑස් ළිපට හුරු වීමෙන් පසු දර ළිපට නැවත යාම අසීරු කටයුත්තක් වුවද අකැමැත්තෙන් වුවද එය කළ යුතුය. නැතහොත් ඉදිරියේ උපකල්පනය කළ නොහැකි අර්බුදයන්ට අපට මුහුණ පෑමට සිදුවනු ඇත. මන්ද දැනටමත් අර්බුදයේ උපරිම කෙළවරට අප පැමිණ සිටින බැවිනි.
සටහන - සකීෆ් සාම්