2022 මැයි 22 වන ඉරිදා

ඇවෙන්රා හෝටලයේ ඩොලර් හොරු

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 432

ගෝල්ෆේස් අරගලයට දේශපාලන අන්තවාදීන් පිරිසක් විසින් මහ දවාලේ පහරදුන් පසුව එදින රාත්‍රියේ සිදුවූ අමිහිරිතම සිදුවීම මෙරට ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සටහන් වනු ඇත. දේපළ ගිනි තැබීම්, දේපළ විනාශ කිරීම්, මංකොල්ල කෑම්, ඝාතන මේ සියල්ලම පැය කිහිපයක් තුළ රටපුරාම සිදුවූයේ සිතා ගැනීමට නොහැකි ලෙසය. මෙම පහරදීම් ගිනි තැබීම් සඳහා යුක්තිය ඉටුවිය යුතු බව පාර්ලිමේන්තුවේදී පසුගිය දින කිහිපය පුරාම පක්ෂ විපක්ෂයේ අදහස විය. එය ඇත්තය. කාට වුවත් අසාධාරණයක් සිදුවී ඇත්නම් නීතියේ පිහිට පැතීමට හැකියාවක් ඇති සේම නීතියේ ආරක්ෂාවද ඔවුන්ට සමසේ ලැබිය යුතුය. එහෙත් ප්‍රශ්නය එය නොවේ. එදින ගෝල්ෆේස් අරගලයට පහරදෙන විට අද නීතිය ගැන කතාකරන බොහෝ මැති ඇමතිවරුන් එදා සිද්ධියේ පාර්ශ්වකරුවන් ලෙස සිටියදී ඒවාට උඩගෙඩි දී අත් බැඳගෙන සිටීමය. එය සැබවින්ම ප්‍රශ්නයක් මෙන්ම, අප්‍රසන්නම මොහොතක් බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ වෙතත් පැහැදිලිවම අප ප්‍රචණ්ඩත්වය, භීෂණය අනුමත කරන්නේ නැත. එය අපරාධයකි. අප රටක් ලෙස භීෂණය, ප්‍රචණ්ඩත්වය නිසා අනේකවිධ දුක් විඳ ඇත. ප්‍රධාන වශයෙන් ප්‍රචණ්ඩත්වයෙන් බැට කන්නේ ප්‍රචණ්ඩත්වය ආරම්භ කරන්නන්ටත් වඩා ප්‍රචණ්ඩත්වයට කිසිම අයු‍රකින් සම්බන්ධ නොමැති වූවන්ය. ඊට ප්‍රධාන හේතුව මේ සිදුවීම් පිටුපස ඇතැම් පුද්ගලයන් සංවිධාන තම තමන්ගේ පෞද්ගලික තරහා මරහා විසඳා ගැනීමය. ඒ නිසා ප්‍රචණ්ඩත්වය ඉතාම බරපතළ සංසිද්ධියකි.

අප මේ කියන්න යන්නේ 9 වැනිදා රාත්‍රියේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම නිසා ඉතාම බරපතළ ලෙස බැට කෑ ආයතනයක් ගැන කතාවකි. ඒ සම්බන්ධයෙන් ලියන්නම හිතුණේ එක් පැත්තකින් ආයතනය කෙතරම් රටට වැදගත්ද යන්නත් අනෙක් පැත්තෙන් ඒ ආයතනයේ පාඩුව නිසාත්ය. ඒ මීගමුවේ ඇවෙන්රා ගාඩ්න් හෝටලේ විනාශය ගැනය. ඒ නිසාම අපි ඒ විනාශය ගැන මෙසේ සටහන් කරමු.

9 වැනිදා සවස 5ට පමණ පිරිසක් ඇවෙන්රා හෝටලයට පැමිණ එයට පහරදී කඩා බිඳ දමන්නේ කිසිදු හේතුවක් නැතුවය. සියල්ල කුඩු පට්ටම් කළ 1000කට අධික පිරිසක් එම ස්ථානයෙන් බැහැරව යන්නේ මහා විප්ලවයක් කළ ජාතියක් ලෙසය. හෝටලයේ හිමිකරු වූ දනේෂ් ද සිල්වාව ඔහුගේ සේවකයන් විසින් ආරක්ෂා කර එදින එම ස්ථානයෙන් පිට කර හරින්නේ ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවෙතැයි බියෙනි.

කෙසේ වෙතත් ඇවෙන්රා හෝටලය එම ප්‍රහාරයෙන් පමණක් නිමවෙන්නේ නැත. ඊට පසුදින එනම් 10 වැනිදා තවත් සංවිධානාත්මක පිරිසක් පැමිණ ඇවෙන්රා හෝටලයේ ප්‍රධාන ශාලාව කිසිදු හේතුවක් නැතුව ගිනි තබන අතර එදිනම මීගමුවේ ග්‍රෑන්ඩීසා හෝටලයටද ගිනි තබනු ලබයි.

ඇවෙන්රා හෝටලයේ විනාශය සුලුපටු නැත. කෝටි ගණන් වටිනා භාණ්ඩ දේපල සියල්ල අළු කර, කුඩු කර විනාශ කරන්නට පැමිණි සන්නද්ධ පිරිස අමතක කර තිබුණේ නැත. සිදුවීමෙන් පසුව එම භූමිය පරීක්ෂා කරන විට ඇස් අදහාගත නොහැකි සිදුවීම් කිහිපයක් සිදුව තිබුණේය.

ඇවෙන්රා හෝටලයේ ප්‍රධාන කාර්යාලයේ තිබූ සේප්පු හතරක් බිඳ දමා තිබීම ඉන් එකකි. එසේම එක් සේප්පුවක් රුගෙන ගොස් තිබුණි. බිඳ දැමූ සේප්පු හතරම පැය පහක කාලයක් කුළුගෙඩියෙන් ගසා විවෘත කර ඇතැයි කියන අතර එහි තිබූ ඩොලර් ලක්ෂ දෙකක් සහ යුරෝ 35,000ක් කොල්ල කාගෙන ගොස් තිබූ බවද කියති. එපමණක් නොව දනේෂ්ගේ දියණියගේ විවාහයට සූදානම් කර තිබූ පවුම් 200ක රත්තරන්ද කොල්ලකා ගෙන ගොස් තිබූ භාණ්ඩ අතර වූ බව සඳහන් වේ. එපමණක් නොව බරපතළම ඛේදවාචකය වී තිබුණේ ඔහු විසින් විනෝදාංශයක් ලෙස එකතු කළ වාහන ගිනිතබා සිදුකළ අපරාධයයි. ලැම්බෝගිනි රථ දෙකක්, හමර් රථ දෙකක්, ලිමොසින් රථයක්, බෙන්ස් රථයක් සම්පූර්ණයෙන් ගිනි තබා අළුකර තිබුණි. එපමණක් නොව හෝටලයේ වැඩකටයුතු සඳහා යොදවා තිබූ වෑන් රථයක්, බස් රථයක්, ලොරි රථයක් පවා අළුවෙන්නට ගිනි තබා තිබුණේය.

එසේම දියණියගේ විවාහය සඳහා ගෙන්වා තිබුණු මිලියන ගණනක් වටිනා තවම භාවිත නොකළ පුටු තොගයක්ද කොල්ලකා ගෙන ගොස් තිබූ භාණ්ඩ අතර විය. විශේෂයෙන් කොල්ලකරුවන් විසින් ගලවාගෙන ගිය සේප්පුවේ පමණක් රුපියල් ලක්ෂ 40ක් තිබුණු බව සඳහන් වේ. මෙම ප්‍රහාරයට, මෙම විනාශයට තවම හේතුවක් නැත.

කෙසේ වෙතත් හෝටලයට ගිනි තැබූ අය අවට ප්‍රදේශයේ ජනතාව නොවන බවත් සොරකම් කිරීමට පැමිණියේ ප්‍රදේශයේ අවට පිරිස් බවත් සේවකයන් පවසා ඇත. ඒ නිසාම ඇවෙන්රා හෝටලයෙන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ වහාම සොරකම් කරගෙන ගිය භාණ්ඩ 25 දාට පෙර ආපසු ලබාදෙන ලෙස කියාය. ඒ අනුව ඇතැම් පිරිස් මග දිගට සොරාගත් භාණ්ඩ දමා යන බවද දැනගන්නට ඇත. දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

හෝටලයට - වාහනවලට ගිනි තිබ්බේ ඉරිසියාවට

මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු දනේෂ් ද සිල්වාගෙන් විමසූ කල ඔහු මෙසේ කීවේය.

''මම ඉතාම පොඩි තැනෙන් මේක පටන් ගත්තේ. මේවා අපේ ගම්, ටේබල් හයෙන් පටන් ගත්තේ. එදා ඉඳලා මට විවිධ කතා කිව්වා මිනිස්සු. කවදාවත් මම වැරදි විදිහට හම්බ කරලා නෑ. මම ගමේ අයටත් රස්සාවල් දුන්නා. ඒත් මේ සිදුවීමේදී ගමේ කවුරුත් හෝටලේ රැකගන්න ඉදිරිපත් වුණේ නෑ. ඒත් පුත්තලමේ එකට ගිනි තියන්න ආපු වෙලේ ගමේ අය ඒක බේරගත්තේ. මේකට ගිනි තිබ්බේ වෙන කට්ටියක්. ඒ ඉරිසියාවට. ඒත් බඩු උස්සන් ගියේ ගමේ අය. මට ඇත්තටම කලකිරීමක් තියෙන්නේ. ආයේ මම ගම එක්ක සම්බන්ධකම් තියාගන්නේ නෑ. හැබැයි මම ආයේ නැගිටිනවා. මම වැටෙන්නේ නෑ. මගේ වාහනවලට ගිනි තිබ්බේ ඉරිසියාවට. කමක් නෑ.''

මීගමුවේ ජර්මන් ජාතික යුවළකගේ නිවසක් ගිනි තිබ්බා. ඒකත් ඔබේද?

ඔව් මගේ නිවස. මම ඒ අයට කුලියට දුන්නේ ගෙදර බඩු එක්කම. ඒකත් ගිනි තිබ්බා. ඒ මිනිස්සු කරපු වරදක් නෑ. කොහොම වුණත් මම වැටෙන්නේ නෑ. මම මුල ඉඳලා මේ දේවල් ගොඩනගනවා. මම කාගෙවත් රස්සාවල් නැති කරන්නේ නෑ.
2008 වසරේදී ආරම්භ කළ ඇවෙන්රා ගාඩ්න් හෝටලය අද ගිනිබත් වී ඇත. එකම අළු ගොඩක් බවට පත්වී තිබේ. දැනට මෙහි පාඩුව ගණන් බලා ඇති ආකාරයට අවම මිලියන 350 කට අධික බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙය නැවත ගොඩනැගෙනු ඇත. එහෙත් මේ අපරාධය ඉතිහාස ගතවනු ඇත.

■  ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05