උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම හෝ වෙනත් ආකාරයක ජාවාරමක් කිරීම සඳහා විදේශ මුදල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි ජාවාරම්කරුවන් දෙදෙනකු කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව සිටී. අවස්ථා දෙකකදී සිදුකළ වැටලීම් දෙකක් තුළ අත්අඩංගුවට ගත් විදෙස් මුදල් අතර ඇමෙරිකානු ඩොලර් 47,000ක් හා යුරෝ 50,000ක් තිබී හසුවීය. එම මුදල් තොගයේ මෙරට වටිනාකම රුපියල් තුන්කෝටි පනස් අට ලක්ෂ පනස්පන් දහසක් ඉක්මවන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සනාථ කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 2 හ 3 අංශවල නිලධාරීන්ට ලැබුණු තොරතුරු දෙකක් මත ක්‍රියාත්මක වීමෙන් මෙකී ජාවාරම්කරුවන් දෙදෙනා කොටුකර ගැනීමට සමත්ව ඇත.
''අසාමාන්‍ය විදිහට දියුණු වෙච්ච මනුස්සයෙක් ඉන්නවා. මේ කාලෙ එහෙම වෙන්න ලේසි නෑනේ... අනිවාර්යයෙන්ම මිනිහා මොකක් හරි ජාවාරමක් කරනවා. නැතිනම් මෙහෙම දියුණු වෙන්න් බෑ. ලොකුවට බිස්නස් එකකුත් නෑ. කම්පියුටර් අලුත්වැඩියා කරන තැනක් කරගෙන යනවා. ඒකෙ නම ''ස්විස්කොට් පාර්ට්නර්ෂිප්'' වෙන මිනිස්සු අමතර කොටස් නැතුව ආයතන වහලා. මෙයා දිගටම වැඩ. ඒකෙන් මෙහෙම දියුණු වෙන්න බෑ.''
විශ්වාසනීය ඔත්තුකරුවකු විසින් මේ තොරතුරු ලබාදී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න මහතා වෙතය. මේ කාරණය පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා මගින් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා දැනුම්වත් කොට එම උපදෙස් හා නියෝග මත වැටලීම සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
ඔත්තුකරු විසින් වැඩිදුරටත් දන්වා තිබුණේ රත්තනපිටිය මංසන්ධියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙසට යන මාර්ගයේ ජී.එස්. පෙරේරා මාවත නමින් පාරක් ඇති බවය. එම මාර්ගයට යාබදව පිහිටි නිවසක අදාළ සැකකටයුතු ස්ථානය තිබෙන බව දන්වා තිබුණි. මෙම තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීන් තොරතුරුකරුට දන්වා තිබුණේ තවදුරටත් තොරතුරු සොයමින් සිට සැකකරු ගනුදෙනුවක් සඳහා සහභාගි කර ගන්නා ලෙසය. ඒ වනවිටත් ඔත්තුකරු සැකකරු සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගෙන සිටි හෙයින් ඔහු නිලධාරීන්ට දන්වා තිබුණේ සැකකරු ඩොලර් නෝට්ටු බිස්නස් එකක් සඳහා කතාකර ගන්නා බවය.
මේ අනුව අදාළ පුද්ගලයා මුණගැසී ඩොලර් වෙනුවෙන් රුපියල් ලබාදීමට හැකි බව ඔත්තුකරු පවසා තිබිණි. ඩොලරයක් සඳහා ඉහළ මිලක් ලබාදෙන බව ජාවාරම්කරු පවසා ඇත. මේ අයුරින් ජාවාරම්කරු පිළිබඳ තොරතුරු සනාථ කර ගැනීමත් සමඟ විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ 1 නිලධාරීහු වැටලීම සිදුකළහ. එසේ වටලා තිබුණේ තෙමහල් නිවසකි. එහිදී සැකකරු සතුව තිබූ ඩොලර් 47,000ක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි. ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ සැකකරු සන්තකයේ ඩොලර් 50,000ක් තිබූ බවත් ඉන් 3000ක් පිටස්තර අයකු වෙත අලෙවි කළ බවත්ය.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු මේවා තමා උපයාගත් ධනය බව කීවත් එය ඔප්පු කිරීමට හැකිවී නැත. මේ අතර සැකකරු කියා ඇත්තේ තවත් හිතවතකු ළඟ මුදල් ඇති බවත් තමා මෙම මුදල් කොළඹ කොටුවෙන් මිලට ගත් බවය. ඒ ඩොලරය රුපියල් 403 බැගිනි. එසේ ළඟ තබාගත් ඩොලර් නෝට්ටු ඩොලරය වැඩිවන මිලට අදාළව වැඩි මුදලට අලෙවි කරන බව කියා ඇත. පරිගණක අලුත්වැඩියා කරන මුවාවෙන් කාලයක සිට සැකකරු මෙම ජාවාරම සිදුකර ඇත. මොහු 40 හැවිරිදි අයකු වන අතර දෙවැනි සැකකරු 52 හැවිරිදි අයෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී ඇත. මෙම වැටලීම ඉකුත් 14 වැනිදා සිදුකර තිබුණි.
මේ අතර දිනය පසුගිය 15 වැනිදාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශ 3 හි නිලධාරියකුට ලද රහස් තොරතුරකි. ඉන් දක්වා ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කරන පුද්ගලයකු විදෙස් මුදල් තොගයක් අතැතිව සිටින බවය. ලැබුණු තොරතුර සැකහැර දැනගැනීමත් සමඟ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාට ඒ බව දන්වා තිබුණේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා මගිනි. අනතුරුව වැටලීම සඳහා පොලිස් පරීක්ෂක ඒ.එන්. ට්‍රිනිත් කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇත.
නිලධාරීන්ට ලද තොරතුරු අනුව දෙහිවල පැපිලියාන පාරේ වෙළඳ සංකීර්ණයක් වටලා තිබුණි. එහි ඉහළ මාලයක තිබූ ව්‍යාපාරික ස්ථානයට පුද්ගලයකුට පැමිණෙන ලෙස දන්වා තිබුණේ මුදල් ගනුදෙනුවක් සඳහාය. එම තැනැත්තා ආරක්ෂක අංශ සාමාජිකයකු බව හෝ සැකකරු හඳුනාගෙන නැත. මෙසේ ගනුදෙනුකරුට එම ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත්තේ යුරෝ මුදල් නෝට්ටු තොගයක් රුපියල් සඳහා මාරුකර ලබාදීම සඳහාය.
මේ අයුරින් සැකකරු වටලා අත්අඩංගුවට ගත් මොහොතේ යුරෝ 100 නෝට්ටු 500ක් ඔහු සතුව තිබී ඇත. එය පාර්සලයක් ලෙස අසුරා තබාගෙන සිටි ඔහු යුරෝ එකක් සඳහා රුපියල් 428 බැගින් ලබාදෙන බව පවසා ඇත. සැකකරු පුංචි බොරුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ශිරාෂ් නැමැත්තෙකි. මෙම යුරෝවල වටිනාකම ලංකා මුදලින් රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂයකට අධිකය.
2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත 4 වගන්තිය ප්‍රකාරව සැකකරුවන් කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරකර ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. (පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති (මාධ්‍ය) ගාමිණී පිටගම්පලට විශේෂ ස්තූතිය හිමිවේ.)
සමන්ත ප්‍රදීප් විල්තෙර