අශ්වයෙක්, තිරික්කලයක්, රික්ෂෝවක්, පාපැදියක් ගමනාගමයේ ලා සුහුරු වාහන බවට පත්වෙමින් තිබේ. ලෝකය ඉදිරියට ගමන් කරන විට අපි පසුපසට ගමන් කරමින් සිටිමු. එම නිසාම දිනෙන් දින බරපතළ වන ඉන්ධන අර්බුදය පිළිබඳව විමසා බැලීමට අපි සිතූවෙමු. මේ පොම්ප ඉදිරියේ කම්පා වන ලක්ෂ ගණන් වටිනා යකඩ යක්කුන්ගෙ ඛේදවාචකයේ කතාවයි.
තව දින කිහිපයකින් ඉන්ධන හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීවේ ඉකුත් අඟහරුවාදාය. ඔහුගේ මෙම ප්‍රකාශයට හේතු වූයේ ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබීමයි. කෙසේ වෙතත් පවතින වාතාවරණය සැලකීමේදී මෙය බරපතළ ගණයේ පොරොන්දුවක් විය. සති අන්තය වනවිටත් එම පොරොන්දුව පූර්ණ වශයෙන් සඵලවන ලකුණු ඇද්දැයි අපහට අපැහැදිලි විය. එහෙත් සියල්ලෝම අපේක්ෂා සහගතව බලා සිටියහ.
ඉකුත් සතියේ අඟහරුවාදා වනවිට බලශක්ති අමාත්‍යාංශය ආරංචි මාර්ගවලට අනුව පෙට්‍රල් නෞකාව බදාදා දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විය. එසේම ඩීසල් රුගත් නෞකාවක් බ්‍රහස්පතින්දා දිනයේ පැමිණෙන බවද කියැවුණි. ඊට අමතරව පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ඉකුත් සෙනසුරාදා දිනයේ පැමිණෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අනුව මෙම ඉන්ධන තොග මිලදී ගැනීම හරහා ඉන්ධන හිඟය අවසන් කිරීමට උත්සාහ දැරීම අමාත්‍යවරයාගේ සූදානම බව පැහැදිලි වුණි.
කෙසේ වෙතත් ඉකුත් සතිය පුරා දිගු ඉන්ධන පෝලිම් රටපුරා දක්නට ලැබුණි. ඇතැම් පෝලිම් කොතරම් දික් වීද යත් එක් නගරයක තෙල් පෝලිමක් තවත් නගරෙක තෙල් පෝලිමක් අතරමගදී මුණගැසුණු තත්ත්වයක් උදාවිය. ඉන්ධන නොමැති පිරහුම්හල් අසලද පැය විසි හතරකට අධික කාලයක් ජනතාව රැඳී සිටියහ. විදුලිය ඇනහිටීමද හේතු කොටගෙන ඉන්ධන නිකුත් කිරීමට පමා විය. පොදු ප්‍රවාහන සේවය සඳහා යොදවා ඇති බස්රථවලද යම් හිඟයක් දක්නට ලැබුණේ ඉන්ධන හිඟයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
තත්ත්වය මෙලෙස සංකීර්ණ වන අතරේ ඉකුත් අඟහරුවාදා දිනයේදී දැනගැනීමට ලැබුණේ ඉන්ධන සම්බන්ධව තවත් අසුබ ආරංචියකි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නෞකා 5ක් ඩොලර්වලින් ගෙවීම් කළ නොහැකිව මේ වනවිට නැංගුරම්ලා තිබෙන බවත් ඉන් බොරතෙල් නෞකාවක් දින 8ක සිට මුදල් ගෙවීමට නොහැකිව තිබෙන බවත් ඒ අනුව වාර්තා විය. කෙසේ වෙතත් මෙම නෞකා ඩොලර් ලබා දී මිලදී ගැනීමට මහ බැංකුව සහ අමාත්‍යංශය විශාල පරිශ්‍රමයක් දරන බව ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණි.
එහෙත් ඉකුත්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාවේදී දැනගැනීමට ලැබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් තබා රුපියල් පවා සොයා ගැනීම අපහසු වී ඇති බවකි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව යම් ඉඟියක් ලැබුණි. ඒ අනුව විදුලි හා ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා ඔස්සේ ජන ගතවීමද බරපතළ අර්බුදයක් නිර්මාණය කළේය. මේ අතර පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මෙම පාඩුව ලබනුයේ එම ආයතන තුළ පවතින වංචා හා දූෂණ නිසා බවය.
ඉකුත් සතියේ ඇතැම් දිනවල ඉන්ධන පිරහුම් හල් වෙත නොයන ලෙස මහජන දැනුවත් කිරීමටද රජය කටයුතු කළේය. මේතාක් ඉන්ධන අර්බුදය හමුවේ රජය එවන් තීරණයකට එළැඹි පළමු අවස්ථාව එය විය. ඉකුත් සතිය ආරම්භයේදීම මෙම දැනුවත් කිරීම සිදුකරනු ලැබුවේ බලශක්ති අමාත්‍යවරයා විසිනි. ඉදිරි දින 03 තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රුස්කර ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ඉල්ලීමේ සඳහන් විය.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන තොග පවතිනු ඇති බවයි. ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීම් 1190ක් සිදුකිරීමට පවතින බැවින් ඒවා අවසන් වනතුරු ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. එහෙත් බලධාරීන් කොතරම් ඉල්ලීම් සිදුකළද ජනතාව ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු අපහට නිරීක්ෂණය විය. සැබැවින්ම ජනතාව සිටියේ දැඩි පීඩාවකිනි. ඉන්ධන අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාලව වී තිබුණි.
වෙසක් පෝය හේතුවෙන්ද ඉන්ධන බෙදාදීම යම් පමණකට අඩාල විය. එහෙත් පොහොය දිනයේදීද ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට රථ වාහන පෝලිම දැකගත හැකි වුණි. ඉන්ධන පැමිණෙන යම් විටෙක තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් ඔවුහු මෙලෙස රුඳී සිටියහ. ඇතැම්හු රූ කිහිපයක්ම ඉන්ධන පිරවුම්හල්වල පහන් කළහ. මේ අතර භූමිතෙල්ද ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට නොහැකි වූයෙන් බොහෝ දෙනෙක් අසරණව සිටියහ. ගෑස් නොමැති නිසා භූමිතෙල් භාවිතයට පෙළඹුණු ගෘහණියෝද අසරණ වූහ. ධීවරයන්ටද ඉන්ධන හිඟය දැඩි ලෙස බලපෑ අතර මාළු මිලද ඉහළ ගොස් තිබුණි.
මේ අතර ඉකුත් අඟහරුවාදා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලබාගත් තීරණයක් හේතුවෙන්ද යම් කැළඹීමක් ඇතිවූයේය. කොමසාරිස්වරයාගේ නියෝග නියෝගය මත සෑම දිස්ත්‍රික්කයකම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිසාපතිවරයා භාරයට ගෙන ඇතැයි මාධ්‍ය අනාවරණය කළේය. එම ඉන්ධන පිරවුම්හල්වලින් කෘෂිකර්ම, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළේය. මෙය සාධනීය තීරණයක් වුවත් ඉන්ධන සම්බන්ධව පොදු මහජනතාව අතර නිර්මාණය වී තිබූ පීඩනය හේතුවෙන් විවිධ ස්ථානවල ගැටලු මතු වූ බවද වාර්තා විය.
මේ අතර රටට ලැබුණු ඩීසල් තොග රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාදීම සිදු වෙමින් පැවතුණි. එම නිසාම සතියේ අගභාගය වනවිට බොහෝ පිරවුම්හල්වලින් ඩීසල් ලබාගැනීමට ලබා ගැනීමට මහජනතාව රොක් වූහ. එහෙත් පෝලිම් අවසන් නොවුණි. බදදා දිනයේ ඩීසල් තොග බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවුවත් පෙට්‍රල් බෙද හැරීම සීමිත මට්ටමකින් සිදුවන බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු පැවසුවේ පෙට්‍රල් ලබාගැනීමට පෝලිම්වල රුඳී සිටීමේ තේරුමක් නොමැති බවයි.
මේ අතර ඉන්ධන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විදුලි කප්පාදුව සඳහා වූ කාලයද පැය කිහිපයක් දීර්ඝ වෙමින් පැවතුණි. ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන සපයා ගැනීමද දුෂ්කර විය. වර්ෂාව ඇද හැළුණද විදුලි කප්පාදුවකට තවදුරටත් පැවතියේ එබැවිනි. ඉන්ධන බලාගාර වලින් දැනට ක‍්‍රියාත්මක වන්නේ සොජිස්ට් හා වෙස්ට්කෝට් බලාගාර පමණක් බවද ඒවායේද ඉන්ධන ප‍්‍රමාණවත් වන්නේ දින දෙක තුනකට පමණක් බවද විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බදාදා පවසා තිබුණි. මේ හරහා විදුලි අර්බුදය තත්වය තවත් සංකීර්ණ ලකුණු පහළ වූයේය.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඉදිරි දිනවලදී ලැබීමට නියමිත වූ ඉන්ධන නැව් නෞකා සම්බන්ධව යම් බලාපොරොත්තුවක් බලධාරීන් තුළ පැවතියේය. එහෙත් එහි ප්‍රමාණාත්මක බව සම්බන්ධව සත්‍ය වශයෙන්ම වශයෙන්ම ගැටලුවක් පැවතුණි. අග්‍රාමාත්‍යවරයාද ජාතිය අමතන අවස්ථාවේදී එම කරුණ පැහැදිලි කළේය. ඩොලර් සොයා ගැනීමේ දුෂ්කරතාවය මත පෝලිම් යුගය අවසන් කිරීමට බලධාරීන්ට හැකිවේද, එය සැබවින්ම ගැටලු සහගත විය. එහෙත් ඔවුන් පෝලිම් යුගය ඉදිරි සති කිහිපයේදී අවසන් කිරීම සම්බන්ධව ප්‍රතිඥා ලබාදී තිබුණි.
ඉන්ධන පෝලිම්වලින් නැසීගියේ මිනිසුන්ගේ වටිනා කාලය සහ ශ්‍රමයි. ඒ හරහාද ආර්ථිකයට සිදු වුයේ සුළු පටු පාඩුවක් නොවේ. මාර්ග හරස් කිරීම්, ගැටුම් අදියද රටපුරා ඉන්ධන පිරවුම්හල් අසලින් වාර්තා වූ බව කිව යුතුය. බොහෝදෙනා ප්‍රකෝපකාරී පීඩිතයන් බවට පත්ව සිටියහ. අර්බුදය බරපතළ වුවහොත් ඉන්ධනහල් අසල ප්‍රචණ්ඩත්වය රජ කරනු ඇතැයි අනාවැකි කියැවුණි. මෙය කිසිවෙක් මින් පෙර අත්නොවිඳි අවාසනාවන්ත තත්ත්වයක්ම විය. එහෙත් තවදුරටත් සාමකාමීව බලාපොරොත්තු සහගතව අපි බලා සිටිමු.
චමිඳු නිසල් ද සිල්වා