2022 මැයි 22 වන ඉරිදා

පාරේ මගීන් ගිය බස් වැනසූ නරුමයෝ

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 53

මැයි මස 09දා මෙරට සිදුවූයේ කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමකි. ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී අරගලයට මාසයක් සම්පූර්ණ වූ දිනයේදී කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් උද්ගත විය. කලහකාරීහු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නිවාස ගිනිබත් කළ අතර තවත් නිවෙස්වලට දැඩි අලාභ හානි සිදු කළහ. අරගලයට විරුද්ධව පැමිණි පිරිසට එළව එළවා පහර දුන්හ. මේ අතර අරලියගහ මන්දිරයට පැමිණි පිරිස ගමන් ගත් බස් රථ 50කට අධික සංඛ්‍යාවක් ගිනිබත් කර තිබිණි. තවත් බස් රථ කිහිපයක්ම බේරේ වැව ඇතුළු ජලාශවලට තල්ලු කර දමා තිබිණි.

අපේ බස් රථ ටික දැකලා අපි ලොකු කනගාටුවකින් ඉන්නේ. ඒ බස් රථවල අයිතිකරුවන් දැන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ දරු පවුල් දැන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ දරුවන්ට දැන් කන්න දෙන්නේ කවුද? මේ බොහෝ බස් රථ මෙතනට ආවේ හයර් එකටයි. පාක්ෂිකයන්ගේ බස් අටක් විතරයි මේ රුස්වීමට ආවේ. අනිත් හැම බස් එකක්ම හයර් එකටයි ආවේ. අපේ බස් ඕනෑම පක්ෂයකට හයර් එකට දෙනවා. මේ බස් හිමියන්ගෙන් අරලියගහ මන්දිරයේ රුස්වීමකට යන්න කියලයි බස් ටික ඉල්ලලා තියෙන්නේ. මේ කාලයේ බස් හිමියෝ ඉන්නේ හරිම අසරණ වෙලයි. ලීසිං ගෙවාගන්න විදිහක් නැහැ. ඒ නිසාම තමයි මේ බොහෝ දෙනා හයර් එකට කොළඹ ඇවිත් තියෙන්නේ.* යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

අලාභ හානි වූ බොහෝ බස් රථ හිමියන් මේ බස් රථ මිලදී ගෙන තිබුණේ ලීසිං පහසුකම් යටතේය. මේ බොහෝ බස් රථවල ණය වාරික තවමත් ගෙවා අවසන් නැත. ගිනිබත් වුණු බස් නැවත අලුත්වැඩියා කිරීමට ද නොහැක. මේ වන විට නව බස් රථයක මිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධිකය. මේවා එම මුදලට රක්ෂණය කර නැත. මේ සියල්ල සිදුවූයේ ජනතාවගේ ආවේගයත් සමඟය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අවුරුදු එකහමාරක් තිස්සේ ක්‍රමානුකූලව බස් රථ ධාවනය කිරීමට ඉඩක් ලැබුණේ නැත. එයින් බස් හිමියන් සහ බස් සේවකයෝ දැඩි ලෙස පීඩාවට පත් වූහ. පසුගිය කාලයේදී ඉන්ධන ඇතුළු නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ට මොවුහු මුහුණ දුන්හ. ආර්ථික අර්බුද බොහෝමයකට මුහුණ දෙන අතර ලැබුණු හයර් එකෙන් බස් හිමියන් සතුටට පත්වන්නට ඇත. විශේෂයෙන් දුර බැහැර පළාත්වල සිට කොළඹට යාමට ලැබුණු මෙම අවස්ථාව බාරගත් ඔවුහු පැය ගණන් දිගු පෝලිම්වල හිඳ බස් රථයට අවශ්‍ය ඉන්ධන ලබා ගත්හ. නිදිමරමින් පැය ගණන් පෝලිමේ හිඳ ලබාගත් ඉන්ධනවලින් තමන්ගේ බස් රථ ගිනි ඇවිලේවි යැයි ඔවුන් නිකමටවත් සිතන්නට නැත. නිවෙසේ කුසගින්න නිවන්නට කොළඹට පැමිණි ඒ බස් රථ අවසානයේදී ගිනි තබනු ලැබීය.

මේ රුස්වීමට පැමිණි ඇතැම් බස් රථවලට ඉන්ධන ලබා දී තිබුණේ දකුණු පළාතේ ඩිපෝවකින් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. ඒ කිහිපයක් සඳහා පමණි. මොවුන්ගෙන් දෙදෙනෙක් පොදු පෙරමුණු පාක්ෂිකයෝ වෙති. අධිවේගී මාර්ගයේ ධාවනය වන එම බස් රථ මේ ගමනට සහභාගි කරවාගෙන තිබුණේ නැත. තමන්ගේ බස් රථ එයට සම්බන්ධ නොකොට ඔවුන් දන්නා කියන බස් හිමියන්ගේ බස් රථ මෙයට යොදාගෙන තිබුණි.

මේ අතර මෙම රුස්වීමට සහභාගි නොවුණු බස් රථ කිහිපයක් ද මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබිණි. තමන්ගේ සුපුරුදු ධාවන මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථවලට මෙන්ම වෙනත් ගමන් සඳහා කුලියට ලබා දුන් බස් රථ කිහිපයකට ද මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු විය. එවැනි බස් රථ කිහිපයක්ම ගිනිබත් වූ අතර තවත් බස් රථ කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබිණි.

මගේ බස් රථය ධාවනය වන්නේ 163 බස් මාර්ගයෙයි. (බත්තරමුල්ල - දෙහිවල). මැයි මාසේ නව වැනිදා අපේ බස් රථයට හයර් එකක් තිබුණා. ඒ පාදුක්ක හෝටලයකටයි. හැම වසරකදිම ගල්කිස්ස එක්තරා හෝටලයක සේවය කරන පිරිසකට වෙනත් හෝටලයක සාදයක් පවත්වනවා. හැම අවුරුද්දෙම ඒ සේවක පිරිස රුගෙන යන්නේ අපියි. මැයි මාසේ නව වැනිදාත් අපේ බස් රථ දෙක ඒ හයර් එකට ගියා. එහෙම නැතිව අපි මේ බස් රථය අරලියගහ මැදුරේ රුස්වීමට අරගෙන ගියේ නැහැ.* අලාභ හානි වූ බස් රථය හිමි සුනිල් කරුණාරත්න මහතා පැවසීය.

උදෑසනම ගල්කිස්ස සේවක පිරිස රුගෙන බස් රථ දෙකක් පාදුක්කට පිටත් විය. ඒ අතරතුර ඔවුන්ට කොළඹ සිදුවෙමින් පවතින සිදුවීම ද සැල විය. රූ බෝ වී නැවත ගල්කිස්සට පැමිණීම නවතා ඔවුහු තම සාදය වේලාසනින්ම අවසන් කොට නැවත ගල්කිස්ස බලා පැමිණෙමින් සිටියහ. පළමුව සේවිකාවන් පැමිණි බස් රථය පැමිණෙමින් තිබිණි. එයට කිසිදු ගැටලුවක් සිදුවී නැත. දෙවනුව පැමිණි 163 බස් මාර්ගයේ ධාවනය වුණු සුනිල්ගේ බස් රථය පිළියන්දල ප්‍රදේශයේදී පිරිසක් විසින් නවතා තිබිණි. එය නැවැත්වූ පිරිස කිසිදු වග විභාගයක් නොකොට බස් රථයට පහර දුන්හ. ජනෙල් වීදුරු කුඩු කළහ. ටයර්වලට දැඩි අලාභ හානි කළහ. 2017 දී මිලදී ගත් සුනිල්ගේ බස් රථය ඉතා සුළු මොහොතකින් සුන්බුන් බවට පත් විය. ලීසිං පහසුකම් යටතේ මිලදී ගත් බස් රථයේ ණය වාරිකය ද තවමත් ගෙවා අවසන් නොමැත. අදාළ රක්ෂණ සංස්ථාව මගින් බස් රථය පරීක්ෂා කළ ද තවම ගෙවීම් පිළිබඳව තීරණයක් ගෙන නොමැත. කිසිදු වරදක් නොකොට තමන්ට ලැබුණු කුලී ගමන ගිය බස් රථය අද සුන්බුන් ගොඩක් වී තිබේ. වෙනදාට නිවෙස ඉදිරියේ අලංකාරව දිස්වෙන බස් රථය පවුලේ කිසිවකුට දැන් දකින්නට නැත. වීදුරු සියල්ලම සුන්බුන් වී දැඩි ලෙස අලාභ හානි වුණු බස් රථය අද සුනිල්ගේ නිවෙස ඉදිරියේ නවතා තිබේ.

කෑගල්ල - කොළඹ බස් මාර්ගයේ ධාවනය වුණු චන්දිමාලි රණසිංහගේ බස් රථයට ද සිදුවූයේ කිසිදා බලාපොරොත්තු නොවුණු සිදුවීමකි. සුපුරුදු පරිදි මැයි මස නව වැනිදා ද චන්දිමාලිගේ බස් රථය කොළඹ බලා කෑගල්ලෙන් ධාවනය ඇරඹීය. සෑම දිනකම පිටකොටුවේ බැස්ටියන් මාවතෙන් මෙම බස් රථය ආපසු කෑගල්ලට ධාවනය කිරීම ආරම්භ කරයි. එදින ද සුපුරුදු වේලාවට බස් රථය බැස්ටියන් මාවතෙන් ගමන අරඹා තිබිණි. ඒ වන විටත් කොළඹ නගරයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ආරම්භ වී තිබිණි. චන්දිමාල්ගේ බස් රථයේ රියැදුරු මහතා ඉතා ප්‍රවේශමෙන් බස් රථය ධාවනය කළේය. පෑලියගොඩ තොරණ හන්දිය පසුවනවාත් සමඟ ඔවුන්ගේ බස් රථයද යම් පිරිසක් විසින් නතර කෙරිණි. ඒ වනවිට බස් රථයේ එතරම් මගීන් පිරිසක් සිට නැත. මගීන් දහයක් පහළොවක් පමණ පිරිසක් බස් රථයේ සිටි බව කියති.

ඒ වෙලාවේ මුළු බස් එකම මිනිස්සු වට කරලා තියෙනවා. ඒ අතරින් බස් රථයට පැමිණි මනුස්සයෙක් ඇතුළේ හිටපු කිහිප දෙනකුට සහ රියැදුරුට කොන්දොස්තරට පහර දීලා තියෙනවා. එහෙම ඇතුළේ පහර දෙන බව දැකපු පිටතින් ඉන්න අය බස් රථයට ගහන්න පටන් අරගෙන තියෙනවා. මුළු බස් රථයේම වීදුරු කඩලා. බස් රථයේ පිටත උලකින් හැමතැනම හිල් කරල තිබුණා. ඒ අතරේදි ටයර් හතරකට කොටලා තියෙනවා. ඒවා ආයෙත් පාවිච්චියට ගන්න බැහැ.* යැයි බස් රථයේ හිමිකාරිය චන්දිමාලි රණසිංහ දේශයට පැවසුවාය.

එතනින් නොනැවතුණු ඔවුහු එන්ජිමට වීදුරු කැබලි දැමූහ. ඩීසල් ටැංකිය සිදුරු කොට එයින් ඩීසල් ගෙන ටැංකියට වැලි පිරවූහ. බස් රථයේ පිටුපසට වන්නට සවිකර තිබූ වටිනා විදුලි බල්බ කට්ටලය කිසියම් පිරිසක් විසින් ගලවා රුගෙන ගොස් තිබුණි. බස් රථයේ සවිකර තිබුණු රෑපවාහිනිය, කැසට් රේඩියෝව ඇතුළු සියල්ල ගලවා රුගෙන ගොස් තිබුණි. බස් රථයට පහර දීමෙන් පසුව රූ මැදියමේදී කිසියම් පිරිසක් විසින් මේවා සොරා ගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම පැවසිය නොහැකි වුවද අවසානයේදී සිදුවූයේ දැඩි ලෙස බස් රථයට අලාභ හානි සිදු වීමය. බස් රථයට පහර දී සුළු මොහොතකින් බස් රථයේ සේවකයෙක් චන්දිමාලිට දුරකථන ඇමතුමක් දී සිද්ධිය ගැන දැනුම් දී තිබිණි. ඇයට එය දරාගත නොහැකි විය. තමන්ගේ පවුලේ රුකවලා වූ, දරුවකු ලෙස ආදරයෙන් බලාගත් බස් රථයට සිදුවුණු සිදුවීම ගැන ඇයට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි. කිසිදු වරදක් නොකොට වෙනදා මෙන් සුපුරුදු පරිදි මාර්ගයේ ධාවනය වුණු බස් රථය අද ගරාජයක ගාල් කොට ඇත. එයට සිදුවූ අලාභ හානිය සම්බන්ධයෙන් තවම නිශ්චිතව තීරණය කොට නැත.

&මේක මගේ තාත්තාගේ ව්‍යාපාරයක්. තාත්තා බස් රථයක් මුලින් අරගෙන තියෙන්නේ 1982 දී. දැන් මේ ව්‍යාපාරයට අවුරුදු හතළිස් දෙකක් වෙනවා. තාත්තා 2019 දී මිය ගියා. ඒ නිසා දැන් මම තමයි අපේ ව්‍යාපාරය බලාගන්නේ. අපිට බස් රථ හතරක් තියෙනවා. ඒ කිසිම බස් රථයක් අපි මේ රුස්වීමට දුන්නේ නැහැ. අලාභ හානියට පත්වුණු මේ බස් රථය අපි 2017 – 2018 වසරවලදී මිලදී ගත්තු බස් රථයක්. අපි රක්ෂණය කරල තියෙන්නේ. නමුත් තවම නිශ්චිත මිල සම්බන්ධයෙන් තීරණයක් කරල නැහැ. කිසිම වරදක් නොකරපු අපේ බස් රථයට ලොකු අලාභ හානියක් වුණා. ලොකු පාඩුවක් වුණා.* යැයි චන්දිමාලි රණසිංහ දේශයට ප්‍රකාශ කළාය.

දිශානි ජයමාලි කරුණාරත්න

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05