2022 මැයි 22 වන ඉරිදා

මට අවුරුදු 08දී මගේ පියා මැරුවා: මගේ දරුවාට වයස 08දී මගේ ගේ ගිනි තිබ්බා

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 515

ඇතැම් මිනිසුන්ට අනුන්ගේ පව්වලට කරදීමට සිදුවන්නේ ඇයි? සැබැවින්ම එය පැහැදිලි කිරීමට අපහසුය. ඇතැම්විට එය දෛවයේ සරදමක් විය හැකිය. පසුගිය මැයි 9 වැනිදා ගෝල්ෆේස් පහරදීමෙන් ඉක්බිති ඇරඹුණු කෝලාහලයේදී එවන් වූ දෛවයේ සරදමට මුහුණදුන් මිනිස්සු වූහ. කෝලාහලය ගිනි නිවී ගිය පසු දෛවයේ සරදමට ලක් වූ ඒ මිනිසුන් පිළිබඳ පිරිස කතා කරන්නට වූහ.

මේ අතර අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාද කෝලාහලයේදී සිදුවූ සිය දේපළ විනාශය සම්බන්ධ සංවේදී කතාවක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය. එම කතාව පිළිබඳ තවදුරටත් ඔහුගෙන් අපි තතු විමසා සිටියෙමු. ලද එදා මේ ගැන ඔහු කළ පාර්ලිමේන්තු ප්‍රකාශයේ මෙසේ සඳහන්විය.

''මට වයස අවුරුදු අටේදී තමයි මගේ ඉස්සරහ මගේ තාත්තට වෙඩි තියලා මරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම මගේ දරුවට වයස අවුරුදු අටේදී, මුළු ජීවිත කාලය පුරා මගේ දෙමවුපියන් සහ මම එකතුකරපු ගොඩනගාපු සියලු දේවල් විනාශ කරලා දැමුවා ජනතා විමුක්ති පෙරමුණ.''

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා ආරම්භයේදීම චෝදනා එල්ලකරන පාර්ශ්වය වරදකරුවන්ද යන්න අපි විනිශ්චය නොකරමු. අප උපුටා දක්වන්නේ ඔහුගේ ප්‍රකාශයයි. යුක්තිය පසිඳලිය යුත්තේ නීතිය විසිනි. එසේ නමුත් මෙරට දේශපාලන භාවිතයේ භයානක අඳුරු පැතිකඩක් ඔහුගේ ළමාවිය සහ ඔහුගේ දරුවන්ගේ ළමාවිය අතර යාවී ඇතැයි අපට කිව හැකිය. දශක ගණනක් ගත වුවද තවදුරටත් සිදුවෙමින් ඇත්තේ මිනිස් දේපල ජීවිත බිලිගන්නා එකම ඛේදවාචකයකි.

''මම පාර්ලිමේන්තුවට එන්න කලින් ගෙයක් හදන්න පටන් ගත්තේ 2008දී. මම 2011දී ඒ ගෙදරට ස්ලැබ් එක දාගත්තා. ඒක ලොකු ගෙයක් නෙවෙයි වර්ග අඩි 650යි තියෙන්නේ. ඊටපස්සේ මම 2014දී ගෙදර වහල හදාගන්නවා.'' දේශපාලනඥයකු වුවත් තමන්ගේ නිවෙස ගොඩනගා ගැනීමට ගතකළ කාලය පිළිබඳව ඔහු පැහැදිලි කරයි. සිය මව සිදුකළ එක්තරා ප්‍රකාශයක්ද වීරසිංහ මහතා මෙහිදී සිහි කැඳවයි.

''මගේ අම්මා දවසක් ඇහැව්වා. පුතේ මම මැරුණම කවද හරි මගේ මිනිය තියාගන්න තැනක් උඹට හදාගන්න බැරිවුණා නේද කියලා. ඒක නිසා මම මේ පාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපිට ලබාදෙන ලක්ෂ 50ක බැංකු ණය ලබාගත්තා. ගෙදර අලුත්වැඩියා කටයුතු සිදුකරගෙන කාමරයක්, සාලයක්, ඔෆීස් කාමරයක් හදාගත්තා.''

එම බැංකු ණය ලබාගෙන එහි වාරික 12ක් පමණක් ගෙවා තිබියදී මේ විනාශය සිදු වූ බව වීරසිංහ මහතා සඳහන් කරයි. දැන් ඔහුගේ නිවස දැවී අළු වී ගොස්ය. තවත් රුපියල් ලක්ෂ තිස් අටක් ඔහුට ගෙවීමට ඇති බවද ඔහු කියා සිටියි. එසේම මෙම ගිනි තැබීමත් සමඟ තම බිරිඳ දරුවන් සහ මව දැඩි කම්පනයකට පත්ව ඇති බවද ඔහු පැහැදිලි කළේය.

''මගේ අම්මා ඒ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා තවමත් එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. මගේ දරුවෝ රෑට නින්දෙන් කෑගහලා කියනවා අම්මේ ගිනි තියනවා, අපේ ගේ ගිනි තියන්න දෙන්න එපා කියලා.''

නිවෙසට ප්‍රහාර එල්ල වීමට පැය තුනකට පමණ පෙර ඒ පිළිබඳව තමා දැනුවත් වූ බවත් පොලීසියද දැනුවත් කළ බවත් හෙතෙම පවසයි. ඒ අනුව පොලීසිය 40ක ආසන්න පිරිසක් එම ස්ථානයට පැමිණ ඇත. එසේම සිය ගමේ හිතවතුන්ද නිවෙස ගිනි තැබීම වළකා ගැනීමේ අරමුණින් එම ස්ථානයට පැමිණි ඇති බව වීරසිංහ මහතා පවසයි. එහෙත් පොලීසිය විසින් එම පිරිස වළක්වා සාමය කඩවිය හැකි බව පවසා ඔවුන් පිටත් කර හැර තිබේ. කෙසේ වෙතත් නිවෙස ගිනි තබන විට පොලීසිය එය වළක්වා ගැනීමට කිසිදු උත්සාහයක් නොදැරෑ බවද ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි.

''මගේ ගෙදර තියෙන වාහනේ ගෙනියන්න හදනකොට පොලීසිය ඒකට අවසර දුන්නේ නෑ. මගේ ගමේ තරුණයකු බලෙන් වාහනය අරගෙන ගිහිල්ලා ඒක බේරගත්තා. ඒ වගේම ගෙදර තිබ්බම විදුලි පහන් ටික පොලීසියෙන් නිව්වා. ගෙවල් ළඟ ලයිට් කණුවලත් විදුලි පහන් පොලීසියෙන් නිව්වා.'' පොලීසිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය දැඩි අප්‍රසාදය පළකරයි. නිවසේ තිබූ මේස විදුලි පංකාව, රූපවාහිනිය ඇතුළු විවිධ භාණ්ඩ පොලීසිය ඉදිරිපිටම කොල්ල කෑ පිරිස් රැගෙන ගොස් ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

''මට නැතිවෙන්න දෙයක් නෑ. දැන් මම මහපාරට වැටිලා ඉවරයි. මගේ දරුවෝ දෙන්නත්, මගේ බිරිඳත්, මගේ අම්මත් මහපාරට වැටිලා ඉවරයි. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳන් අද වෙනකන් මගේ අම්මා කතා කරන්නේ නෑ. මම දන්නෙ නෑ අම්මා ගෙන් සමාව ලැබේවිද කියලා මරණයෙන් පස්සෙවත්.''

ඔහු පිළිබඳ පැහැදිලි අවබෝධයක් රට තුළ නොමැති බව කිවයුතුය. ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි. කෙසේ වෙතත් දේශපාලනයට පැමිණ තමා වරදක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා සඳහන් කරයි.

''මම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා තියෙනවා. පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට ඉඳලා තියෙනවා. ඊටපස්සේ මම පාර්ලිමේන්තුවට ආවා. මම ඉතාම ප්‍රසිද්ධියේ කියන්නේ මට කොහේ හරි වැලි පර්මිට් එකක් තියෙනවා නම්, ගල් කොරියක් තියෙනවා නම්, කොහේ හරි පස් පර්මිට් එකක් තියෙනවා නම්, බාර් එකක් තියෙනවා නම්, මම කොහේ හරි කොන්ත්‍රාත් කරලා තියෙනවා නම් මම ලෑස්තියි අද මෙතැනින් අයින් වෙලා යන්න.''

තමා දේශපාලන තුළ යහපත් චරිතයක් යැයි කීමට උත්සාහ දරන සෙයකි. ඒ පිළිබඳ සත්‍යය සහ යථාර්ථය දන්නේ ඔහු සහ එම ප්‍රදේශයේ ජනතාවය. අප ඔබ හමුවේ තබනුයේ මහජන නියෝජිතයෙක්ට සිදුවූ විපතක් පිළිබඳ කතාවකි. කවර තත්ත්වයක් යටතේ වුව කිසිවකුට තවකෙක්ගේ දේපළ ජීවිත විනාශ කිරීමට අයිතියක් නොමැත. එය මනුෂ්‍යත්වයේ ඇදහීමයි.

''මම හේන් කොටලා, කුඹුරු කොටලා මුළු ජීවිත කාලෙම ගොඩනගාගත්ත දේවල් නැතිවෙලා ගියාම මට දරාගන්න බෑ. මම ඉදිරියේදී තීරණය කරනවා මේ රටේ තවදුරටත් දේශපාලනය කරනවාද නැද්ද කියලා. නැත්නම් මගේ අම්මටත් බිරිඳටත් දරුවො දෙන්නටත් සාධාරණයක් කරලා මෙතැනින් අයින් වෙලා යනවද කියලා.''

 චමිඳු නිසල් ද සිල්වා