සිහිනය අත් නොහැර දුෂ්කර මාවතක් ඔස්සේ ජීවිතයේ සුභාර්ථයන් දකිනු වස් යන මේ ගමනේදී විඳින්නට වෙන අනේක වේදනාවන් ඔබ තුළ වරෙක දැඩි මානසික පීඩන, කලකිරීම්, කඩාවැටීම්, හිස් හැඟීම්, අසුබවාදී පෙළඹවීම් ඇතිකළ හැකිය. ජීවිතය ගැන ස්ව දර්ශනයක් අවබෝධයක් සහ අසීමිත දරාගැනීමේ ශක්තියක් ඇති පෞරුෂයක් හිමි කෙනෙකුට හැරෙන්නට මෙවැනි පසුබිමකදී පුද්ගලයෙකුට තවකෙකුගේ මඟපෙන්වීමක් උපකාරයක් අවැසිමය. එහෙත් ජීවන අරගලය තුළ ජීවිත නොයෙක් අර්බුද තුළ මිරිකෙන මොහොතක මනෝ උපදේශකවරයෙකු වෙත යාම පවා අසීරුය. එහෙයින් ඔබ යම් මානසික පීඩනයක, ආතතියක, කවර හෝ මානසික හෙම්බත්වීමක මේ මොහොතේ පසුවේ නම් එයින් මිදීම උදෙසා අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව අද ඔබත් සමඟ කතා කිරීම මගේ අදහසයි.
ආතතිය බොහෝ ආකාරවලින් අපගේ ජීවිතවලට පැමිණෙන්නට පුළුවන. චිත්තවේගීය, මානසික හෝ කායික වශයෙන් අප ආතතියට පත්වෙන්නට පුළුවන. මනෝ වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ආකාරයට වරින් වර ඇතිවන ආතතිය අපගේ සෞඛ්‍යයට හානිකර වෙන්නෙ නැත. ආතතිය නිදන්ගත වූ විට, එය දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන. වැදගත් ඉලක්ක කරා යොමුවීමට අපව පෙළඹවීමට හෝ නරක තත්ත්වයකින් අපව වළක්වා ගැනීමට ආතතිකාරක භාවිත කරන්නට පුඵවන. ධන ආතතිය ඇතිවනවිට ධනාත්මක ජයග්‍රහණ ලබන්නට පුළුවන්. සෘණ ආතතිය අපගේ සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් බලපායි.
වර්තමානයේ මිනිසුන්ට ඇතිවන ආතතිය සම්බන්ධයෙන් විමසා බලන විට ආර්ථිකය නිසා ඇතිවන ආතතිය, රුකියා ආතතිය, වැඩ ආතතිය ලැයිස්තුවේ ඉහළින්ම පවතියි. වර්තමානයේ ලංකාවේ කම්කරුවන්ගෙන් බහුතරයක් ආතතිය අත්විඳින බව පවසන්නට පුළුවන.
මානසික ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන. ආතතියේ වඩාත් පොදු රෝග ලක්ෂණ කිහිපයක් ගතහොත් රුධිර පීඩනය වැඩිවීම, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, මාංශ පේශි තදවීම යනාදිය පෙන්වා දෙන්නට පුළුවන. ආතතිය දිගටම පවතින විට, අමතර රෝග ලක්ෂණ ඉස්මතු වෙයි. හිසරදය, ඔක්කාරය, වණ, බර වැඩිවීම, නින්ද නැතිවීම, කුරුලෑ, මාංශ පේශි කැක්කුම සහ වේදනාව, කැක්කුම, ආහාර ජීර්ණ ගැටලු, හිසකෙස් නැතිවීම, දහඩිය දැමීම, පිටුපස හෝ පපුවේ වේදනාව, ලිංගික අප්‍රාණිකත්වය සහ ලිබිඩෝ නැතිවීම, ක්ලාන්ත වීම, හදවත් රෝග, අධි රුධිර පීඩනය, රෝගවලට එරෙහිව අඩු ප්‍රතිශක්තිය, ස්නායු කැළඹීම්, දියවැඩියාව, නින්ද නොයාම වැනි දෑ උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන.
ආතතිය සමඟ සමහර චිත්තවේගීය ප්රතික්රියාද ඇතිවෙන්නට පුළුවන. කෝපය, කාංසාව, දැවීම, මානසික අවපීඩනය, තෙහෙට්ටුව, අනාරක්ෂිත හැඟීම්, අමතක වීම, නුරුස්නා බව, නියපොතු සපා කෑම, අවිවේකී බව, දුක එවිට දැකගන්නට පුළුවන.
ආතතියට සම්බන්ධ චර්යාවලට පහත අංශ ඇතුළත් කරන්නට පුළුවන. ආහාර රුචිය අඩුවීම සහ අධික ආහාරය ගැනීම, හදිසි කෝපාවිෂ්ඨ පිපිරීම්, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, ඉහළ දුම්කොළ පරිභෝජනය, නිතර හැඬීම, සබඳතා ගැටලු යනාදියයි.
ඉහත ලැයිස්තුගත කර ඇති රෝග ලක්ෂණ නිදන්ගතව, දිගු කාලීනව ඔබ අත්විඳින්නේ නම්, මනෝ වෛද්‍යවරයෙකු හමුවීම අතිශය වැදගත්ය. එවිට මනෝ වෛද්‍යවරයාට ඔබගේ නිදන්ගත ආතතිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නට පුළුවන.
අඩු ආතතියක් ඇතිකර ගැනීම සඳහා ඔබේ සිතුවිලි කොටස් කර ගන්නේ කෙසේද? යන කරුණ කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුයි. කොටස් කිරීම යනු ඔබ එක් චින්තන ක්ෂේත්රයකින් තවත් ප්‍රදේශයක් වෙන් කිරීමයි. කොටස්කරණය කිරීමේ එක් ක්‍රමයක් නම්, ඔබ ඔබේ මිතුරන් සමඟ ගැවසෙන විට රුකියාවේදී ඇතිවන ඕනෑම ආතතියක් අත්හැරීමයි. නිදන්ගත ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට, දෛනික වගකීම් සමඟ කටයුතු කිරීම, අවධානය යොමු කිරීම හෝ පැහැදිලිව, නිරවුල්ව සිතීම දුෂ්කරයි.
මානසික සෞඛ්‍යය සහ සතුට පවත්වා ගැනීම සඳහා, පුද්ගලයන් තම ආතති ප්‍රදේශ වෙන් කිරීමට උත්සාහ කළ යුතු බවත්, කොටස්කරණය කිරීමේ මෙවලම භාවිත කරන ආකාරය ඉගෙන ගත යුතු බවත් මනෝ චිකිත්සකයන්ගේ සහ මනෝ වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහසයි. ඔබේ ආතති මට්ටම් අවම කිරීම සඳහා සියල්ල වෙන් කර එය ඵලදායී ලෙස කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔබේ මනෝ චිකිත්සකයාට ඔබට මඟපෙන්විය හැකියි. කොටස් කිරීමට ඉගෙනීම සඳහා භාවිත කරන ශිල්පීය ක්‍රම කිහිපයක් පහත පරිදි පෙන්වා දෙන්නට පුළුවන.
අවධානය යොමු කිරීම - නිදන්ගත ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතයේ ආතතිය ඇති කරන කොටස් පිළිබඳව දැනුවත් වීමට දිරිගන්වනු ලබයි. මනස පිරී ඉතිරී යාමෙන් සහ අවධානය නැතිවීමෙන් වළක්වා ගැනීම සඳහා, එක් ආතතිකාරකයක සිට තවත් ආතතියකට සිතුවිලි එහා මෙහා යාමට ඉඩ නොතැබිය යුතුයි. පුද්ගලයෙකුට තම සිතුවිලි පාලනය කිරීමට හැකි වූ විට, ඔවුන් ආතතියට පත් කරන සෑම දෙයකම බලපෑමෙන් තොරව තීරණ ගන්නට පුළුවන.
බර සැහැල්ලු කරන්න - බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ආතතියට හේතුව ඔවුන්ට කිරීමට බොහෝ දේ තිබීමයි. නැතහොත් කාර්යයන්ගේ බර වැඩි වීමයි. වර්තමාන සමාජය තුළ බොහෝ අය "සියල්ල කිරීමට" උත්සාහ කරන බවක් දකින්නට පුළුවන. ඔවුන් භාරගන්නා සියලුම කාර්යයන් දිගටම කරගෙන යාමට නොහැකි නම් ඔවුන් අසාර්ථක යැයි හැඟෙන්නට පුළුවන. ඔබ නිදන්ගතව ආතතියට පත්ව සිටී නම්, පියවරක් පසුපසට ගෙන ඔබට බර අඩු කරගත හැකි ඔබේ ජීවිතයේ ක්ෂේත්‍ර තක්සේරු කිරීම වැදගත් වෙයි.
බහු කාර්යයෙන් වළකින්න - බහු කාර්යයන් අප සිතන තරම් ඵලදායී නැහැ. බහු කාර්යයන් ආතතිය ඇති කරන අතර අඩු කාර්යක්ෂමතාවයක් ඇති කරයි. එකවර කාර්යයන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන්, අපට අවශ්‍ය ප්රතිලාභ අපට නොලැබෙන අතර අපගේ ජීවිතවලට වැඩි ආතතියක් ඇති කරන්නට පුළුවන.
සංක්‍රමණය - එක් කාර්යයක සිට තවත් කාර්යයකට සෙමින් මාරුවීමට කාලය ගත කිරීම මගින් ආතතියෙන් මිදී අපට යම් සහනයක් ලැබෙයි. සිතුවිලි සහ ක්‍රියාවන් එක් ක්‍රියාකාරකමකින් ඊළඟ ක්‍රියාකාරකම වෙත ගලා යාමට ඉඩ දීම වෙනුවට, ඔබ නව කාර්යයකට මාරුවීමට පෙර මොහොතක් ගත කිරීමට ප්‍රමුඛත්වය දීම වැදගත්ය. නිදන්ගත ආතතියෙන් පෙළෙන අය ඊළඟ කාර්යයට යාමට පෙර ඇවිදීම, භාවනා කිරීම හෝ තේ පානය කිරීම වැනි මනස පිරිසිදු කිරීම සඳහා සරල දෙයක් කිරීමෙන් ක්‍රියාකාරකම් අතර මනස පිරිසිදු කිරීමට දිරිමත් කෙරෙයි. ඉතා කාර්යබහුල වූ විට පවා විනාඩි කිහිපයක් හුදෙකලාව සිටීම ආතතිය අඩු කර ගැනීමට බෙහෙවින් ප්රයෝජනවත්ය.
සැලසුම් කරන්න - ආතතිය අඩු කර ගැනීම සඳහා, ආතතිය හෝ කනස්සල්ල ඇති කරන ඔබේ ජීවිතයේ එක් එක් කොටස් ලැයිස්තුගත කරන්න. නිදසුනක් වශයෙන්, යම් ව්‍යාපෘතියක් රුකියාවේදී ආතතිය ඇති කරන්නේ නම්, එය කුමක්ද සහ එය සාර්ථකව නිම කිරීමට ඔබ ගත යුතු පියවර ලියන්න.
ආතතිය සඳහා විකල්ප ප්‍රතිකාර කිහිපයක් පහත පරිදි පෙන්වා දෙන්නට පුළුවන.
මනෝ චිකිත්සාව - මනෝ චිකිත්සාව සායනික මනෝ විද්‍යාඥයෙකු, මනෝ චිකිත්සකයෙකු හෝ මනෝ උපදේශකවරයෙකු යටතේ සිදුවෙයි. මනෝ චිකිත්සාව තුළ, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ග ඉගෙන ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ ආතතියට යටින් පවතින හේතු සොයා ගැනීමට මිනිසුන් දිරිමත් කරනු ලබයි.
චර්යා චිකිත්සාව - චර්යාත්මක චිකිත්සාව වර්ග කිහිපයකි. ප්රජානන-චර්යා චිකිත්සාව (CBT) යනු ආතතිය සමඟ කටයුතු කිරීමට වඩාත් ප්‍රයෝජනවත් ක්රමයකි. CBT ක්‍රමය තුළ, මිනිසුන්ට සෘණාත්මක චින්තන රටා හඳුනා ගැනීමට සහ වෙනස් කිරීමට සහ ඔවුන්ගේ සෘණ-ස්වයං කතා වඩාත් ධනාත්මක වීමට වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට විවිධ ක්‍රියාකාරකම් භාවිත කිරීමට උගන්වනු ලබයි.
විකල්ප ප්‍රතිකාර - ආතති ප්‍රතිකාරයේ සාම්ප්‍රදායික ක්‍රමවලට අමතරව, පුද්ගලයෙකුට තම ආතතිය සමනය කිරීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් රාශියකි. ව්‍යායාම, යෝග, කටු චිකිත්සාව, සම්බාහනය, භාවනාව සහ සමාජ සහයෝගය වැනි ක්‍රියාකාරකම්, පුද්ගලයෙකුට දැඩි ආතතියක් හෝ පීඩනයක් ඇතිවුවහොත් භාවිත කිරීමට ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන.