2022 මැයි 22 වන ඉරිදා

අර්බුදයේ ගමන්මඟ

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 345

වර්තමාන සමාජයෙහි ආර්ථික, සමාජ සහ දේශපාලනික වශයෙන් ගැටලු රාශියක් පැන නැගී ඇති බවත්, ඒවා අතිශය අර්බුදකාරී සහ සමාජය අස්ථාවර ස්වරෑපයකට පත්කිරීමට ගමන් කරමින් ඇති බවත් පැහැදිලිය. මෙය සරල ලෙස සැලකිය නොයුතුය. ඊට හේතුව සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇති බැවිනි. මෙම සමාජ ආර්ථික සහ දේශපාලනික වශයෙන් ගොඩනැගී ඇති ගැටලු එකිනෙක හා සබැඳෙන බවත්, ගැටලු එකකටවත් තනිව ගොඩනැගීමේ හැකියාවක් නොමැති බවත්, ගැටලු විසඳීමේ ස්වරෑපද සරල නොවන බවත්, අප නිවැරදිව අවබෝධ කරගත යුතුය.

මෙම සමාජ ගැටලු නිර්මාණය කළේ ඉතිහාසයෙහි සිට මෙතෙක් පැවති ආර්ථික සහ දේශපාලන ස්වරෑප බවත්, එයිනුත් ආර්ථික ගැටලු නිර්මාණකරණයෙහි ප‍්‍රමුඛ සාධකය බවට පත්වන්නේ ඉතිහාසයෙහි සිට මෙතෙක් පැවති දේශපාලනික සහ පරිපාලන ස්වරෑප බවත් පැහැදිලිය. මෙම දේශපාලනික සහ ආර්ථික අර්බුදයේ ඉතිහාසය ශ‍්‍රී ලංකාවෙහි නිදහසේ අයිතිය හිමිකර ගත් දින දක්වා ගමන් කරනු ඇති බවත්, එතෙක් සිට මේ දක්වා මෙම ගැටලුවෙහි හිමිකාරත්වයෙන් කිසිවෙකුට නිදහස් විය නොහැකි බවත්, එතෙක් සිට මේ දක්වා සමාජ සංවර්ධනයට සහ සමාජ සංරක්ෂණයට අදාළ නිවැරදි සැලසුම්කරණ සහ ප‍්‍රතිපත්තීන් ගොඩ නැගී නොතිබුණ බවත්, යම් කාලවල සැලසුම් ගොඩනැගුවත් ඒවා ශ‍්‍රී ලාංකේය දේශපාලන ක‍්‍රමවේද තුළ අර්ථවත් කරගැනීමට නොහැකි වූ බවත් පැහැදිලිය. 

ඒ අනුව ඉතිහාසයට වඩා වර්තමානය වෙනස් බවත්, ඉතිහාසයෙහි භූ දේශපාලනික දැනුම පාදකව වර්තමාන ගෝලීය දේශපාලන, බල සහ ආර්ථික ක‍්‍රමවේද පිළිබඳ ප‍්‍රබල අවබෝධය ගැටලු විසඳීම සඳහා මෙන්ම සංවර්ධනය අරමුණු කරගත් ප‍්‍රතිපත්තීන් සහ සැලසුම් සැකසීමේදී අත්‍යවශ්‍ය බවත් අප පැහැදිලි කරගත යුතුය. මේ වනතෙක් ඉතිහාසයෙහි සිටම අපගේ ගැටලු විසඳාගැනීමට නොහැකි වන්නේද, මේ වනවිටත් ශ‍්‍රී ලංකාව ගෝලීය සමාජයෙහි ආර්ථික සහ දේශපාලනික සහ සංස්කෘතික ක‍්‍රමවේදයට අනුව හැඩගැසෙමින් ඇති බව අප තේරුම්ගැනීමට සූදානම්ද නොමැති වී ඇති බැවිනි. ඒ අනුව ශ‍්‍රී ලාංකේය සමාජයෙහි අර්බුදය ගෝලීය සමාජ කාරණා තුළින්ම අවබෝධ කර ගැනීමට සිදු වන්නේ මේ වනවිටත් ශ‍්‍රී ලංකාවේ ගැටලුවලට පිළිතුර ගෝලීය ක‍්‍රමවේදය හා සම්බන්ධ වන බැවින් පමණක් නොව අර්බුදයෙහි නිර්මාණයටද ගෝලීය ක‍්‍රමවේදය බලපා ඇති බැවිනි. මේ වනවිටත් දෙකෝටි විසිලක්ෂයකට අධික ශ‍්‍රී ලාංකේය ජනතාවට තම ජීවිතය ගොඩනංවීම සඳහා විදේශ නැව් එන තෙක් මුහුද දෙස බලා සිටීමට සිදුව තිබේ. 

මෙම අර්බුදයට පෙළඹවූ ඉතිහාසයෙහි ආරම්භය දශක දෙකක් පමණ දක්වා ඈතට දිව යන බවත් එය බටහිර ඩොලර්යෙහි ආධිපත්‍යයෙහි ආරම්භයට අවශ්‍ය ක‍්‍රමවේදය සැකසීමක් බවත් පැහැදිලිය. වර්තමානය වනවිට දේශීය මුදල වන රුපියලට වඩා දේශීය මිනිසුන් අවධානයට යොමුකොට ඇත්තේ බටහිර ඩොලරය පිළිබඳව බවත්, ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව බටහිර ඩොලරයෙහි ආධිපත්‍ය ලෝකයෙහි තවද බොහෝ රටවල නිර්මාණය කරමින් තිබෙන බවත්, එමගින් එම රටවල මුදලෙහි ස්වරූප සහ වටිනාකම් බිඳවැටෙමින් ඇති බවත් පැහැදිලිව දැකිය හැකිය. ඕනෑම රටක හෝ සමාජයක වටිනාකම් බිඳ වැට්ටවීමේ මූලික ක‍්‍රමවේදය ගොඩනැගෙන්නේ ආර්ථිකය කේන්ද්‍රීයව බවත්, ආර්ථිකය බිඳ වැටෙන සෑම තැනකම ඒ හා සබැඳෙන ජීවිතයෙහි සියලු කාරණා බිඳ වැටෙන බවත්, එයට බොහෝදුරට ආර්ථිකය මත ගොඩනගන බලය හේතුවන බවත් අප අවබෝධ කරගත යුතුය. ඩොලරයෙහි ආධිපත්‍යයට ශ‍්‍රී ලාංකේය සමාජය තුළ ගොඩනැගීම සඳහා එතරම් අපහසු නොවූයේ ඒ මත ගොඩනැගුණු පරිභෝජන ආර්ථික ක‍්‍රමවේදය බවත්, ණය නිෂ්පාදන ආර්ථික ක‍්‍රමවේදයකට අනුගත කිරීමකට වඩා  පරිභෝජන ක‍්‍රමවේදයකට නව ලිබරල් ආර්ථික සහ දේශපාලන දර්ශනය කේන්ද්‍රීයව අනුගත වීම බවත් තේරුම් ගැනීමට කාලය පැමිණ ඇති බැව් පැහැදිලිය. 

ඒ අනුව ඩොලරයෙහි ආධිපත්‍ය ගොඩනැගීමත්, රුපියලෙහි ආධිපත්‍යය බිඳ වැටීමත්, ණය මත පරිභෝජනය ක‍්‍රමවේදයක් නිර්මාණය වීමත්, නිෂ්පාදන ආර්ථිකයේ බිඳ වැටීමත් ශ‍්‍රී ලාංකේය සමාජය තුළින් දැකිය හැකි ප‍්‍රබල කරුණු වේ. එය බටහිර ඩොලරයෙහි මූල්‍ය ආධිපත්‍යයට අවබෝධයක් නොමැතිව මුහුණදීම නිසා ගොඩනගාගත් ගැටලුවක් බවත්, එම අනවබෝධය ඩොලරයෙහි මූල්‍ය ආධිපත්‍ය ජාතික රාජ්‍යයන්හි බලයට පමණක් නොව එහි ස්වෛරීත්වයටද ප‍්‍රබල ගැටලු මේ වනවිටත් නිර්මාණය කොට ඇති බවත්, ඩොලරය මත ගොඩනඟා ඇති ලෝක ආධිපත්‍යය තුළින් දැකිය හැකිය. ඩොලරයෙහි ආධිපත්‍ය ලෝකය මෙහෙයවන බවත්, ජාතික රාජ්‍යයන්හි නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ විශ්වාසය නොතබමින් ගෝලීය ණය ආර්ථිකයක් දක්වා ගමන් කරවීමත්, කෙටිකාලීනව පමණක් නොව දිගුකාලීනවත් ගැටලු මේ තුළ නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් පැහැදිලි කරගත යුතුය. එම ගැටලුවලට රටෙහි සමස්ත ප‍්‍රජාවම ගොදුරු කරවන බවත් ලාංකේය දේශපාලන ඉතිහාසයෙහි අත්දැකීම් මගින් මේ වනවිටත් අපට පෙන්වාදී තිබේ. 

විවෘත ආර්ථික ක‍්‍රමවේදය ප‍්‍රසංසනීය වුවත්, එය හැත්තෑව දශකයෙහි ශ‍්‍රී ලංකාවෙහි ආරම්භ වූ බවත්, එහි ඉතිහාසය ආසියානු සමාජය තුළ ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවස පමණ දක්වා ගමන් කරනු ලබන බවත්, එය ශ‍්‍රී ලාංකේය සමාජ සංස්කෘතිය තුළ ගැලපෙන අයුරින් භාවිතයට නොගැනීමේ ගැටලුව තුළ ප‍්‍රබල අර්බුද එයටද නිර්මාණය කළ හැකිව ඇති බවත්, මෙහිදී තවද සුවිශේෂී වේ. ලෝකයෙහි පරිභෝජන ක‍්‍රමවේදය සඳහා ප‍්‍රබල ඉඩක් විවර විය යුතු බවත්, එසේ නොවුවහොත් නිෂ්පාදන ආර්ථිකයට එය ප‍්‍රබලව බලපෑම් සිදුකරන බව මෑතකදී චීනය පවා ප‍්‍රකාශ කොට ඇති බවත් එම අධි පරිභෝජන රටාවන් නව නිදහස් ආනයනික රටාවන් ඔස්සේ රටවලට පැමිණීමත් දේශීය නිශ්පාදනයෙහි අර්බුදයට පමණක් නොව ණය පීඩනයෙන් නිදහස් නොවීමට අවශ්‍ය ක‍්‍රමවේදය හදන බවත් පැහැදිලිය.  ඕනෑම රටක නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීමත් සමගින් ගෝලීය ප‍්‍රබල රටවලට එම රට මෙහෙය වීමේ හැකියාව පවතින බවත් අප පැහැදිලි කොට ගත යුතුය. ඒ අනුව ඕනෑම රටක ජාතික වගකීම බවට පත්වන්නේ එම රටෙහි ජාතික නිෂ්පාදනයන්ට ප‍්‍රමුඛතා දීම සහ මූලික මානව අවශ්‍යතාවන්ගේ තෘප්තියට අදාළ ක‍්‍රමවේදය සැකසීමයි.

ඉතිරි කොටස ලබන සතියට....