2022 මැයි 22 වන ඉරිදා

මයිනාගෝගමින් පත්තුවුණු ගින්න!

 2022 මැයි 22 වන ඉරිදා, ප.ව. 10:00 57

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම හා ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගම අරගලකරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරය නිසා කුපිත වූ ඇතැම් පුද්ගල කණ්ඩායම් විසින් හිටපු අගමැති ප්‍රධාන මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ළඟම ඥාතීන්ගේත් ආධාරකරුවන්ගේත් නිවාස හා දේපළ රුසකට හානි කරන්නට වූහ. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් රට පුරාම දකින්නට ලැබිණ. ප්‍රහාරවලින් පසුව මැති ඇමැති බහුතරයකට උන්හිටිතැන් අහිමිව තිබුණි. අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් සොයා විමර්ශන අරඹා තිබියදී මැති ඇමැති නිවාස හා දේ‍පොළවලට හානි කළ පුද්ගලයන් සෙවීමේ පොලිස් විමර්ශන කඩිනම් කොට තිබේ. 

පසුගිය 9 වැනිදා සිට 14 වැනිදා දක්වා දිනවලදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මෙහෙයවීම මත විශේෂ විමර්ශන ආරම්භ කොට ඇත. මයිනාගෝගම හා ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගම අරගල භූමියේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන ක්‍රියාත්මක අතර නිට්ටඹුව නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඝාතනය වීම සම්බන්ධයෙන් ද එම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරයි. ඊට අමතරව දිවයින පුරා සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පොලිස් කොට්ඨාස මට්ටමින් ඒ ඒ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන යටතේ සිදු කෙරේ. එම කොට්ඨාස යටතේ පවතින විශේෂ අපරාධ විමර්ශන අංශ හරහා ද විමර්ශන සිදු කෙරේ.
පොලිසිය වාර්තා කරන නවතම සංඛ්‍යාලේඛන අනුව ප්‍රචණ්ඩකාරීන් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් 74 දෙනකුගේ නිවාස, වාහන ඇතුළු දේපළ රුසකට බරපතළ හානි සිදුව ඇත. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව පසුගිය සිකුරාදා වන විට ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 1059 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. මේ පිරිස මනුෂ්‍ය ඝාතනය, බරපතළ තුවාල සිදුකිරීම, නිවාස වාහන හා ව්‍යාපාරික ස්ථානවලට පහරදීම, ගිනි තැබීම හා දේපොළ කොල්ලකෑම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ප්‍රචණ්ඩකාරීන් විසින් දේපොළ විනාශ කරනු ලැබූ දේශපාලනඥයන් අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, නාගරික මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන් හා ළඟම ඥාතීහු ද වෙති.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා වන විට පුද්ගලයන් (702) හත්සිය දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. විවිධ තරාතිරමේ දේශපාලනඥයන්ගේ නිවාස හා දේපොළවලට ගිනි තැබීම හා හානි කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 473 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ. ඉන් පුද්ගලයන් 452 දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබූහ. මොවුන් අතුරින් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

අරලියගහ මැදුර හා ගාලුමුවදොර අසල අරගලකරුවන්ට පහරදීමේ චෝදනාව මත සැකකරුවන් 13 දෙනකු ඉකුත් බ්‍රහස්පතින්දා වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වාර්තා කළේය. එම 13 දෙනාම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මෙසේ බන්ධනාගාර ගත කළ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙනෙක් වෙති. ඔවුන් අතර සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරු ද වෙති. පසුගිය 9 වැනිදා අරගලයේ නිරත නිර්පාක්ෂිකයන්ට පහරදීම සම්බන්ධයෙන් පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇගේ ස්වාමියා වන සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ අතර මාර්තු 31 රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේදී බස් රථයකට ගිනි තැබූ පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය.

9 වැනිදා සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කළේය. මේ අතර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නියෝජිත දෙපළකගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් හතර දෙනෙක් 18 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය 9 වැනිදා සිට 14 වැනිදා දක්වා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි 883 ක් ලැබී ඇති බවත් ඒ සියල්ල පිළිබඳව විමර්ශන කඩිනමින් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම සිදුවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් කටයුතු කර තිබෙන බව හඳුනාගෙන ඇති අතර එවැනි අය සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇත. ඒ අනුව දැනටමත් එවැනි පිරිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.

මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිබත් කරන අවස්ථාවේ ඇතැම් පුද්ගලයන් එම නිවෙස්වල තිබූ වටිනා භාණ්ඩ සොරාගෙන ඇති බවද අනාවරණය වී ඇත. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් අනුව ගෝඨාගෝගම සාමකාමී උද්ඝෝෂණ භූමියට පහරදීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ දෙසතියකට වරක් කතානායකවරයා වෙත වාර්තා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 74 දෙනකුගේ නිවාස, වාහන හා දේපොළවලට බරපතළ හානි සිදුව තිබෙන බවට පවසන පොලීසිය එවැනි හානියට පත් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කොට ඇත. මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය නිවෙසට හානිකර මව්පිය කෞතුකාගාරයට ගිනි තබා පියාගේ පිළිරුව විනාශ කර තිබුණි. මීට අමතරව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක, මොහාන් ප්‍රියදර්ශන, විදුර වික්‍රමනායක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, කංචන විජේසේකර, තේනුක විදානගමගේ, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, නසීර් අහමඩ්, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, ඩී.ටී. චානක, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, සීතා අරඹේපොල, රෝහණ දිසානායක, ශාන්ත බණ්ඩාර, පියල් නිශාන්ත, ගීතා කුමාරසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රොෂාන් රණසිංහ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අලි සබ්‍රි, චන්දිම වීරක්කොඩි, නිමල් ලංසා ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් රුසකගේ නිවාස හා දේපොළ රැසක් විනාශ කර ඇති බව පොලීසිය වාර්තා කරයි. 

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් යන අයගේ නිවාස වෙත ද ප්‍රචණ්ඩකාරීන් අලාභ හානි සිදු කර තිබිණ. 9 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සීතාවකපුර ප්‍රදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග, බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන අය ද අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් හඳුනාගනිමින් සිටිනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

පසුගිය 9 සිට 14 දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් රුසක් වාර්තා වුණා. අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර අසල සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. නිට්ටඹුවේදී අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරනවා. අනෙකුත් විමර්ශන පොලිස් කොට්ඨාස මට්ටමින් ඒ ඒ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන සහ විශේෂ විමර්ශන කොට්ඨාස මගින් සිදු කරනවා. දැනට සැකකරැවන් 1059 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධි 883කට අදාළ පැමිණිලි ලැබී තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට පිරිස පෙළඹවූ බවට හඳුනාගත් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. එවැනි පුද්ගලයන් තුන් දෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටිනවා.

ගාලුමුවදොර සිදුවීමට අදාළව සැකකරැවන් 15 දෙනකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් රිමාන්ඩ් භාරයේ සිටිනවා. විමර්ශනවලදී වීඩියෝ, ඡායාරෑප, දුරකථන දත්ත, ඇසින් දුටු සාක්ෂි, තාක්ෂණික හා විද්‍යාත්මක සාක්ෂි ද උපයෝගී කර ගන්නවා. අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගන්නවා. ගෝල්ෆේස් සිදුවීම සම්බන්ධව නීතිපතිවරයා ඍජුව අධීක්ෂණය කරනවා. පොලීසිය විදිහට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රචණ්ඩත්වයට යොමුවන්න එපා කියලා. පවතින නීතිය තුළ විරෝධතා පැවැත්වූවාට වරදක් නෑ. පසුගිය සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් පිළිබඳවම විමර්ශන කඩිනම්ව සිදු කිරීමට පොලිස් මූලස්ථානය විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා.*

 

 සමන්ත ප්‍රදීප් විල්තෙර